පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 68කින් සමන්විත විල්පත්තු වන උයන

2016-01-11 09:19:00       832
feature-top
විල්පත්තුව ජාතික වනෝද්‍යානය අද වන විට මානව ක්‍රියාකාරකම් හමුවේ මුහුණ පා සිටින තත්ත්වය ආන්දෝලනාත්මක ය. පසුගිය කාලයේ දීත් එය වරින් වර මතු විණි. යටපත් විණි. පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට විල්පත්තුව පාරිසරික වශයෙන් ව්‍යසනයට පත් වෙමින් ඇත්තේ සිද්ධි එකක් දෙකක් නිසා නොව ව්‍යාපෘති වශයෙන් සිදු වන්නා වූ මානව ක්‍රියාකාරකම් රැසක් නිසාය. මේ පාරිසරික අපරාධ ඉක්මනින්ම නැවැත්විය යුතු ය. ඒ සඳහා සුදුසු ඍජු ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය ය.

පසුගිය කාලයේ දී වනෝද්‍යානයේ සිට වෙරළ තීරය ඔස්සේ මන්නාරම සිට පුත්තලම දක්වා සම්බන්ධතාව ඇති කරමින් ඉදිකළ මාර්ගය මේ වන විට අත්හැර දමා තිබේ. ඒත් ඒ නිසා වූ විනාශය අදටත් දැකිය හැකි වේ. මුල සිට ම සැලසුම් කොට තිබූ ආකාරයට අදාළ මාර්ගය සහ වෙරළ තීරය අතර කලාපය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමටය. එමෙන් ම විල්පත්තු වෙරළ සීමාවේ පිහිටි පලුගහතුරෙයි, පුක්කුලම් හා කරුවලකුඩා යන ප්‍රදේශවල ධීවර ජනාවාස ව්‍යාපෘතියක් ඇති කිරීමට ද තැත් කෙරිණි. කෙසේ වෙතත් ප්‍රධාන පෙළේ ජාතික වනෝද්‍යානයකට බලපෑම් කෙරෙන ආකාරයේ ඒ ක්‍රියාකාරකම් අත්හිටුවා ගැනීමට පරිසරවේදීන් එක්සත් ව නැඟු හඬට එදා හැකි වුණි.

කෙසේ වුව මේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ජාතික වනෝද්‍යානයට අයත් වෙරළ තීරයේ වැලි, කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත විසල් බිම් පෙදෙස් ද සිත් පිත් නැති අයුරින් ඩෝසර්කරණය කොට ඇති ආකාරය පැහැදිලිවම දැකගත හැකි ය. එසේ විනාශයට පත් වූ පුරා විදු බිම් අතර විජය කුමරු මෙරටට ගොඩ බැස්සා යැයි සැලකෙන තම්බපණ්ණිය මෙන් ම මහා ශිලා යුගයට අයත් යැයි හඳුනා ගෙන ඇති පුරා විද්‍යා බිම් ද තිබේ. පරිසර සංවිධාන එකමුතුව පෙන්වා දෙන අන්දමට ඔවුන් මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කොට තිබේ.

විල්පත්තු භූමිය ඒ නම ලබන්නේ වන ප්‍රදේශ පුරා සුලබව හමුවන විල්ලු නිසා ය යන්න අමුතු කරුණක් නොවේ. නමුත් යට කී මානව ක්‍රියාකාරකම් විසින් ම සිදු කරන්නට යෙදුණු අවිධිමත් ලෙසින් පස් කැණීම්, පිරවීම් හේතු කොට ගෙන, විශේෂයෙන් ම වර්ෂා කාලයේ දී ඒවා සේදී ගොස් විල්ලු සහිත තෙත් බිම් ගොඩ වීම අදටත් නො සිදු වන්නක් නොවේ. මේ ආකාරයෙන් වනාන්තරය තුළ ඉදි කෙරුණු මාර්ග හේතු කොටගෙන අද වන විට විල්පත්තුව යනු කැබලි වී ගිය වනාන්තරයක් ය යන කරුණ ද මෙහි දී අමතක නොකළ යුතු ය.

එහි තේරුම වන ජිවි වාසස්ථාන ද කුට්ටිකරණය වීමක් මේ වන විට ජාතික වනෝද්‍යානය තුළ සිදුව ඇති බවයි. ඉන් ජෛව විවිධත්වයට සිදු ව ඇති හානිය සුළුපටු නොවන බවයි. උදාහරණයක් ලෙස කොටින්ගේ ගොදුරු බිම් කැබලි වී ආහාර අහේනිය ඔවුන් හමුවට ම පැමිණෙමින් තිබේ. එමෙන් ම පොදුවේ වනෝද්‍යානය තුළ සත්ත්ව ගහන ඝනත්වයට ද මේ නිසා බලපෑම් එල්ල වී ඇතැයි ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් පෙන්වා දෙයි. එමෙන් ම රථ වාහනවලට අසු වී මියගිය මුවන්, වලසුන් මෙන් ම වල් ඌරන්ගේ මළකුණු විල්පත්තුවට අද අමුතු දසුනක් නොවේ.

පලු ශාකය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී අප නිතර දකින ශාක විශේෂයක් වේ. පලු ගස්වල ඵල හටගන්නා කාලයට ඉදිකළ මාර්ගය ඔස්සේ ලොරි වැනි වාහනවල පැමිණෙන්නවුන් ඵලබර පලු ගස්වල අතුවලට කඹ දමා ගැට ගසා ඒවායෙ අනිත් කෙළවර වාහනවලට බැඳ ඉදිරියට ගමන් කරන්නට සැලැස්වීමෙන් අතු බිඳින ආකාරය දැක ගැනීමට නම් ඔබ විල්පත්තුවට යා යුතු ය. එවැනි අවස්ථාවලදී එම ගස්වල විශාල අතු පවා බිඳී යන කනගාටුදායක දර්ශනය ද එවිට දැකගත හැකි වනු ඇත. ඒ විතරක් නොවේ, එසේ කඩා දමා තැන තැන දමා ගොස් ඇති අතුවල මෙරට වියළි කලාපයේ දී හමුවන වර්ණ ප්‍රභේද රැසකින් යුත් උඩවැඩියා විශේෂයක් වන රාස්සන (vanda tessellata) බහුලව දැකිය හැකි බව නිරීක්ෂණය කොට තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මේ ආකාරයෙන් මාර්ග ඉදි කිරීම හේතු කොටගෙන දඩ මස් ප්‍රවාහනය ද සිදු වන බවත් එසේ ප්‍රවාහනය කළායැයි සැක කළ හැකි දඩ මස් කොන්ඩච්චි ප්‍රදේශයේ වෙළෙඳ සලකින් සොයා ගෙන ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර පවසයි. ඒත් සමඟම ආගන්තුක ආක්‍රමණික ශාක ද අද වන විට වනෝද්‍යානයට බරපතළ තර්ජනයක් එල්ල කරමින් පවතී. ගිනි තණ, ගඳපාන වැනි දරුණු ආක්‍රමණික ශාක දුර්ලභ වනාන්තර ප්‍රදේශයට විනාශය ලබා දෙන අයුරු පැහැදිලිවම දැක ගැනීමට පුළුවන්කම තිබේ.

විශේෂයෙන් ම වනය දෙබෑ කළ මංපෙත් හරහා ගමන් කරන වාහනවල රෝදවල තැවරී ඒවායේ බීජ ව්‍යාප්තිය සිදුවන බවට ද හඳුනාගෙන ඇත. මේ තත්ත්වය දිගින් දිගට ම සිදු වුණහොත් කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම් ගඳපාන නම් ආක්‍රමණික ශාකයේ බලපෑමටත්, විල්ලු පරිසරය ගිනිතණ ආක්‍රමණයටත් ගොදුරු වීම නොවැළැක්විය හැකි බවට ද හඳුනාගෙන තිබේ. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ අලි ඇතුන් මුල් කොටගත් ශාක භක්ෂකයින්ට බරපතළ ආහාර අහේනියකට මුහුණ පාන්නට සිදු වීම යි.

වනෝද්‍යානයේ දකුණු මායිම විශේෂයෙන් ම පුත්තලම සිට එළුවන්කුලම දක්වා ඇති වෙරළ ආශ්‍රිත පරිසරය ද කලපු අන්දර නම් ආක්‍රමණික ශාකයේ ග්‍රහණයට හසු ව තිබේ. පරිසරවේදීන් නිරීක්ෂණය කොට ඇති ආකාරයට මේ තත්ත්වය සෙසු වෙරළබඩ ප්‍රදේශවලටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී. ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීමක් වනාන්තරයක දී දැකගන්නට ලැබුණොත් ඒ නිසා හට ගත හැකි බිහිසුණු ප්‍රතිඵල දෙකක් ගැන මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ. ඉන් එකක් නම් වනයේ ශාක ප්‍රජාවේ ව්‍යාප්තිය අවම කිරීමට හෝ සීමා කිරීමට අර ආක්‍රමණික ශාක දක්වන හැකියාව යි. දෙවැන්න ජෛව ප්‍රජාවගේ නිවස සහ ආහාර බිම් සහ ආහාර මූලාශ්‍රය බරපතළ ආකාරයෙන් සීමා වීම යි. ඉනික්බිතිව වනාන්තරයක් තුළ අපට දැකිය හැකි වනුයේ දැඩි ආහාර හිඟයකි. කුසගින්නෙන් පෙළෙන සත්ත්ව ප්‍රජාවකි.

විල්පත්තුව වනාන්තරයක් වශයෙන් ගත් කල පරිසර පද්ධති විවිධත්වයක් පෙන්වයි. එක් පැත්තකින් වියළි කටු පඳුරු සහිත ලඳු කැලෑත්, තවත් පසෙකින් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරත් එහි දී දැකිය හැකි ය. ඒත් සමඟම ගංගාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලු සහිත තණබිම්, වියළි පතන තණ බිම් පිටාර තැනි හා වගුරු බිම් ඔබට එහි දී හමු වේ. ඒ සියල්ල අතරේ වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර කලාප ද හමු වීම විල්පත්තුවට ම අනන්‍ය වූ තත්ත්වයක් වේ. මේ පරිසර විවිධත්වය අතරේ මල් පිපෙන ශාක විශේෂ 623ක් දැකගත හැකි බවත් ඉන් විශේෂ 27ක් ලංකාවට ආවේණික බවටත් හඳුනාගෙන තිබේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල ලංකාව පුරා වාර්තා වන සමස්ත සපුෂ්ප ශාක විශේෂ එකතුවෙන් සියයට 17ක් විල්පත්තුවේ දී දැකගත හැකිය.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයක් වශයෙන් ගත් කල වන ජීවින්ට නිවාස භූමියක් ගංගාවන්ට ජල පෝෂණය ලබා දෙන බිමක් පමණක් යැයි සිතන්නෙකු වේ නම් එතැන ඔහුගේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. මන්ද යත් ඒ සියලු පාරිසරික වටිනාකම්වලට අමතරව එහි ඉතිහාසයීය පුරාවිද්‍යා භූමියක වටිනාකම් ද ඇති හෙයිනි. ඒ ද නිකම්ම නිකම් ඉතිහාසයක් නොව ජාතියේ නූතන යුගය හා බැඳුණු ආරම්භය ගැන පවසන ඉතිහාසයක් වේ. මුල් සංස්කෘතියේ අවසාන නායිකාව වන කුවේණිය ගේ නටබුන් වූ මාලිගය ඇත්තේ ද මේ වනෝද්‍යාන භූමියේ ය. ඊටත් එහා ගිය ප්‍රාග් ඓතිහාසික මිනිසා සිය ජනප්‍රිය ආහාරය වූ බෙල්ලන් ද පොදි ගසාගෙන රට මැදට සංක්‍රමණය වී ඇත්තේ ද විල්පත්තු බිම හරහා යැයි කියැවේ. මේ අනුව අදාළ වනපෙත තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇත.

ඒ අතර පොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික නටබුන්, පුරාණ සොහොන් බිම්, මෙගෝලිතික යුගයට අයත් ගල් ආයුධ ඇති ස්ථාන මේ වනපෙත අභ්‍යන්තරයේ දැකිය හැකි වේ. විශේෂයෙන් ම පොම්පරිප්පු ප්‍රදේශයේ දී මේ වන විටත් හමු වී ඇති මහා ශිලා යුගයේ සොහොන් බිම් ගැන අප අවධානය යොමු කළ තරම ප්‍රමාණවත් නැත. අඩි 3 1/2ක් පමණ උස් විශාල මැටි වළං සේ ගත හැකි ඇසුරුම් බඳුන්වල බහාලූ මානව ශරීර ශේෂ සහිත බඳුන් හමු වී තිබේ. මේ බිම්, මධ්‍ය ශිලා යුගයේ බළන්ගොඩ මානවයාටත් වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක් ගැන තොරතුරු පවසන බව සනාථ කොට ගෙන තිබේ.

එසේ බලන කල විනාශ වෙමින් පවතින්නේ දැවැන්ත වනාන්තර සීමාවක් පමණක් නොවේ. ප්‍රාග් ඓතිහාසික මතු නොව නූතන ඉතිහාසයේ ද කඩඉම් සටහන් වූ වංශ කතාවක් බඳු භූමියක් ද අර කී විනාශය තුළ ම ගිලී යමින් පවතී.

අද දවසේ අයුතු ජනාවාසකරණයක් පිළිබඳ ප්‍රශ්නයක් හමුවේ නීතියට හමුවට පවා ගොස් ඇති විල්පත්තු ප්‍රශ්නයේ අතීතය ඉහතින් පෙන්වා දුන් ආකාරයට කාලයක සිටම පවතින්නකි. වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළුවීම ද බරපතළ කරුණක් වී තිබේ. නීති විරෝධි ලෙස මාර්ග සහ ස්ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් කැපීම නිසා විශාල වළවල් ඇති වීම යන ආකාරයේ බරපතළ විනාශකාරී තත්ත්වයක් මේ ජාතික වනෝද්‍යානය හමුවේ තිබේ. පවත්නා නීතියට අනුව ජාතික වනෝද්‍යානයකට පිවිසිය හැක්කේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මඟ පෙන්වන්නෙකු ද සමඟය. විල්පත්තුවට අදාළව එවැනි ප්‍රවේශ දොරටුවක් විලච්චියේ ඇත.

එහෙත් නීති විරෝධි ලෙසින් පසුගිය කාලයක් තිස්සේ ඉදිවුණු මාර්ග නිසා ඒ කිසිත් නැතිව කලා ඔයෙන් හා මෝදරගම් ආරු ප්‍රදේශයෙන් මේ ජාතික වනෝද්‍යානයට පිවිසීමට පුළුවන්කම තිබේ. එසේ ඇතුළු වී තමන් කැමැති දෙයක් කිරීමට ද හැකි ආකාරයේ විවෘත භූමියක් බවට ද විල්පත්තුව පත් වී තිබේ. පරිසර වේදීන් පෙන්වා දෙන අන්දමට මේ තත්ත්වය දිගින් දිගට ම පැවතුණහොත් එය සමස්ත ජෛව පැවැත්මේ ඉදිරි අනාගතය තීරණය කරනු ඇත.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ලම මේ වන විටත් විල්පත්තුවට අදාළව උල්ලංඝනය වී අවසන් යැයි ද එය නවත්වා ගැනීමට කටයුතු නොකළොත් විල්පත්තුව වැනි ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත වනෝද්‍යානයක පැවැත්ම ඉදිරි නොව නුදුරු අනාගතයේ දීම විනාශයකින් නොව ඛේදවාචයකින් ම අවසන් වීම නියතියක් විය හැකි යැයි ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »