මිනිසාගේ උදාසීනත්වය - අකාර්යක්ෂමතාව ලෝක දේශගුණ විපර්යාසයේ ප්‍රතිඵලයක්

2016-01-07 09:36:00       829
feature-top
වර්ෂාව කිසි කලෙක නො වසී. නමුත් එය පතනය වේ. විශේෂයෙන් ම මෝසම් සමයෙහි ලංකාවට ගොඩ බසින විදේශිකයෙකුගේ හැඟීම් ප්‍රකාශ කිරිම සඳහා මෙයට වඩා උචිත කියමනක් යෙදිය හැකි නොවේ. මේ නිසා ඔහුට මෝසම් වැස්ස ලංකාවේ දේශගුණය මූර්තිමත් කර පෙන්වයි. ඔහුගේ රටට ආපසු පැමිණි විට සමහර විට ලංකාව පිළිබඳ නොමැකෙන මතකයක් වශයෙන් මෝසම් සහ ඒ සමඟ ඇතිවන මහ ගංවතුරු සිහියට නැ‍ඟෙයි.

සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකුට වුවත් මෝසම් යන්න ඒ සමඟ ඇතිවන වර්ෂාවට සමානකමක් දක්වයි. එහෙත් කාලගුණ විද්‍යාත්මකව එය සුළඟක් පමණි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ දේශගුණයෙහි වඩා ක්‍රියාකාරී වනුයේ අන් හැම සිද්ධියකටම වඩා වර්ෂාපතනයයි. (ලංකාවේ වර්ෂාපතනය - ආචාර්ය ජෝර්ජ් තම්බයියාපිල්ලේ)

ශ්‍රී ලංකාවේ මෝසම් වර්ෂාපතනය පිළිබඳව ඉහත ප්‍රකාශය සිදු කෙරෙන්නේ අද ඊයේ නොව 60 දශකයේ දීය. නමුත් අද අප සිටින්නේ ඊට දශක 4කටත් වඩා ඉදිරියෙනි. ඒ අනුව එදා ඒ ආකාරයෙන් නිරීක්ෂණය කළ කාලගුණ වාර්තාව කොයි ආකාරයෙන්වත් මෙකලට නොගැළපෙන බව නොදන්නා අයෙකු ඇතැයි සිතිය නො හැකිය. එදා ඒ දශකයට සාපේක්ෂව අද අප මුහුණ පා සිටින පාරිසරික සහ දේශගුණික අර්බුද ඉමහත් ය. පසුගිය කාලය පුරාත්, අද වනතුරුත් ඇද හැලෙමින් පවතින නො නවතින වර්ෂාව අප සාම්ප්‍රදායිකව හඳුනාගන්නා මෝසම් වර්ෂා කාලගුණය සමඟ කෙසේ ගළපා ගන්නේ ද යන්න කාලගුණ විද්‍යාඥයින්ටත් ගැටලුවක් වන තැනට කරුණු යෙදී තිබේ. අනික් අතට ඒ නිසා සිදු වී ඇති ආපදා තත්ත්ව ඉතා පැහැදිලිවම අවිධිමත් මානව ක්‍රියාකාරකම් හේතුකොටගෙන සිදුව ඇතැයි යන්න ද අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

වනාන්තර හෙළි කිරීම ජල චක්‍රයට සිදු කරන්නා වූ බලපෑම් ඍජු එකකි. ඒ අනුව ගත් කල ස්වාභාවික වන ආවරණය සහිත භූමියක භූමියෙන් සහ ශාකවලින් ජලය වාෂ්ප වීම ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට 40ක් යැයි ගණනය කොට තිබේ. එවැනි භූමියක ජලය භූගත වීම සියයට 25ක් වේ. නොගැඹුරු පාංශු පරිසරයකදීත් අර කී සියයට 25 වෙනස් නොවේ. එවැනි පසුබිමක් තුළ පො‍ළොව මත ජලය ගලා යන්නේ සියයට දහයක් තරම් අවමයකි. නමුත් අද පවතින තත්ත්වයට අනුව භූමියෙන් සියයට 75කවත් වන වැස්මක් ඉවත්ව ඇතැයි අනාවරණය කොට ගෙන තිබේ. ඒ අනුව ශාකවලින් සහ භූමියෙන් ජලය ඉවත් වීම සියයට 30ක අගයක් දක්වා පසුබැස තිබේ. ජලය භූගත වීම සියයට 5ක් දක්වා අඩු වී තිබේ. නො ගැඹුරු පාංශු පරිසරයක දී ජලය උරා ගැනීම සියයට 10ක් වෙද්දී පොළොව මත ජලය ගලා යාම සියයට 55ක් තරම් ඉහළ ප්‍රතිශත අගයක් දක්වා වර්ධනය වී ඇත. මේ අනුව වර්තමානයේ සිදු වෙමින් පවතින විශේෂයෙන්ම නාය යෑමේ ආපදාව කළමනාකරණය පවා ගැටලු සහගත තත්ත්වයක් වී තිබේ.

කෙසේ වෙතත් ලෝක දේශගුණික විපර්යාස නම් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වන්නේ යට කී සේ ආකාරයේ පාරිසරික ව්‍යුහයක් තුළින් පමණක් නොවේ. එය මානව පැවැත්ම හරහා ද ප්‍රකාශයට පත් වන්නේ ය යන්න බොහෝ විට මිනිසුන් පවා නො දන්නා කරුණක් වේ. පර්යේෂණ දත්තවලට අනුව නිරන්තර උදාසීන බව, කාර්යක්ෂමතාව හීන වීම, වැඩි වැඩියෙන් වෙහෙස දැනීම වැනි උද්‍යෝගිමත් නොවන ගති දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵල වීම වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව ජීවත්වීමට අදාළව මිනිසුන් තුළ පවත්නා දරා ගැනීමේ හැකියාව (ධාරිතාව) අඩු වූ තත්ත්වයක් ද නිරීක්ෂණය කොට තිබේ. ඉනුත් මිනිස් සිරුරේ ඇති ප්‍රතිශක්ති ගුණය හීන වීම කැපී පෙනෙන මෙන් ම බරපතළම කරුණක් ලෙසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අතීතයට සාපේක්ෂව බෝවන වසංගත රෝග ඉක්මණින් පැතිර යාමක් මෙන් ම නිතර නිතර රෝග වංසගතවලට ගොදුරු වීම රෝග කාරකයන් සුලබ වීම මිනිසා විසින් ම ඇතිකර ගත් දේශගුණික විපර්යාස නම් ව්‍යසනයේ ප්‍රතිඵලයක් වේ. ඇදුම රෝගය සහ හෘදය ස්පන්දනය වේගවත් වීම ද මීට අදාළ වේ.

උභය ජීවින් දෙස අප හෙළන බැල්ම සෙසු සතුන්ට සාපේක්ෂව වෙනසක් නැති වුණ ද පවත්නා දේශගුණ විපර්යාසය හමුවේ ඊට සැබෑ ලෙසින් සංවේදී සත්ත්ව කොටසක් වශයෙන් සත්ත්ව විද්‍යාඥයින් විසින් උභය ජීවින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව වාතයේ ආර්ද්‍රතාවට පවා ඔව්හු සංවේදී වෙති. ඒ නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නම් සංසිද්ධිය ඉතා හොඳින් හඳුනාගෙන සිටින්නේ ඔවුන් ය. ඒ හැරුණු කල පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට කොඳු ඇට රහිත සතුන්, කෘමි විශේෂ, මත්ස්‍ය විශේෂ පමණක් නොව ක්ෂිරපායින්ට පවා අද වන විට මේ වෙනස ඉතා හොඳින් දැනෙන්නට පටන්ගෙන තිබේ. ඒ අතරට පැළෑටි ද අයත් ය. ඕසොන් ස්තරය විනාශ වීම පිළිබඳව සිදු කෙරෙන්නා වූ පර්යේෂණ ප්‍රතිඵලය පෙන්වා දී ඇති අන්දමට සූර්යයාගේ පාර ජම්බුල කිරණ ඍජුවම ඇසුරු කිරීම තුළ අරටුවක් රහිත ශාක ප්‍රජාවේ පැවැත්ම බරපතළ අවදානමකට ගොදුරු වීමට නියමිතය. අරටුවක් රහිත ශාක අතර මිනිසාගේ ආහාර බෝග බහුල වශයෙන් ම පවතී. මේ අනුව මිහිතල උණුසුම සාමාන්‍ය අගයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක දෙකකින් තවදුරටත් ඉහළ යෑම වළක්වා ගැනීම පොදුවේ සමස්ත පෘථිවියේ ම පැවැත්ම තීරණය කරන්නක් බවට පත්ව ඇතැයි යන්න අතිශයෝක්තියක් නම් නොවේ.

පවත්නා පාරිසරික ව්‍යසනය හමුවේ විශේෂයෙන් ම තුන්වැනි ලෝකයේ රටවලට පාරිසරික අරමුදල් ලබා ගැනීමේ අවස්ථා ගැන ද මේ දිනවල නැවතත් ජනමාධ්‍ය හරහා කතාබහක් ඇති වෙමින් පවතී. නමුත් මෙය අතීතයක් ඇති කතාවක් බව කිව යුතුය. ඒ නිසාම ඒ ගැන කතා කළ යුතුය.

සංවර්ධිත රටවල් ගෝලීය උණුසුම වෙනුවෙන් දක්වන මැදිහත් වීම නිසා සෙසු රටවලට සිදුවන අසාධාරණය (විශේෂයෙන්ම මේ හඬ නඟන්නට ඉදිරිපත් වූයේ තුන්වැනි ලෝකයේ රටවල් ය) ගැන 1988 සිට ම ලොව පුරා සාකච්ඡා ඇති වුණි. දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ 14 වැනි සමුළුව පෝලන්තයේ පැවැත්වුණේ 2008 නොවැම්බරයේ දීය. රටවල් 190කින් නියෝජිතයන් 8000ක් සහභාගි වූ මේ සමුළුවේ දී රටවල් කණ්ඩායම් පහකට බෙදා වෙන් කෙරුණි. එයින් ලංකාව අයත් වුණේ ජී 77 කණ්ඩායමටය. umbrella කණ්ඩායම යුරෝපීය රටවල් වලින් සැදුණි. කිසිදු ආකාරයකින් මේ ප්‍රශ්නයට සාධාරණ ප්‍රවේශයක් ලබා නොදුන් ඇමෙරිකාව, නෝර්වේ, ජපානය, ඔස්ට්‍රේලියාව යන රටවල් ද ඒ අතර විය. සෙසු කණ්ඩායම් දෙක වූයේ දූපත් රාජ්‍ය එකතුව සහ ඌන සංවර්ධිත රටවල් එකමුතුව යි.

අද දවසේ සාකච්ඡාවට ලක් වෙමින් තිබෙන තමන්ට සිදු ව ඇති පාරිසරික අසාධාරණය වෙනුවෙන් ණය (එය අනුවර්තන අරමුදලක් වශයෙන් ගැනීම වඩාත් නිවැරැදි යැයි සිතමි.) ගෙවීමක් වෙනුවෙන් හඬ නැඟීම ආරම්භ වුණේ, අවසානයට කී දූපත් රාජ්‍ය කණ්ඩායම හා ඌණ සංවර්ධිත රටවල එකමුතුව වෙතිනි. ඒ අනුව ඔවුන් පෙන්වා දුන්නේ කාබන් විමෝචනය අවම කරගැනීමට වඩා අද සිදුවිය යුතුව ඇත්තේ පවත්නා දේශගුණික වෙනස්වීම් වෙනුවෙන් එහි ලා කර්තෘකයන් වන සංවර්ධිත රටවලින් තමන්ට පාරිසරික ණයක් මුදලින් හිමිවීමක් ය කියාය. ඒ තමන්ට වූ අසාධාරණය වෙනුවෙනි. කෙසේ වුව එතැන දී අපේ රට ද අයත් වූ ජි 77 කණ්ඩායම පෙනී සිටියේ කාබන් භාවිත කිරීම සම්බන්ධයෙන් තමන්ටත් අයිතියක් ඇතැයි යන කරුණ වෙනුවෙනි.

ඒ අනුව ධනවත් රටවල් තමන්ට භාවිත කරන්නට ඇති ඉඩ අවසරත් උදුරා ගෙන කාබන් විමෝචනය සිදු කරන්නේ යැයි ජී 77 කණ්ඩායම චෝදනා ඉදිරිපත් කොට තිබේ. මෙහි දී සංවර්ධනය වූ රටවල් (umbrella කණ්ඩායම) ඉදිරිපත් කළේ හරිම අපූරු යෝජනාවකි. ඒ අනුව ඔවුන් කාබන් අඩුවෙන් භාවිත කරන රටවලින් ඉල්ලා සිටියේ ඔවුන් භාවිතයට නොගෙන ඉතිරිව ඇති ඉඩකඩත් තමන්ට කාබන් විවෝචනය සඳහා ලබා දෙන ලෙසයි. ඒ වෙනුවෙන් මුදලක් ද ගෙවිය හැකි බවට ද පවසා තිබේ. මේ කුමන පරිසර සංරක්ෂණ කතාබහක් දැයි මෙහි දී ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ලෝකයේ පරිසර සංරක්ෂණයට අදාළ ජාත්‍යන්තර හැසිරීම පවතින්නේ මෙවැනි තැනක ය යන්න මේ අනුව ඔබ වටහා ගත යුතුව තිබේ.

පෘථිවිය යනු ග්‍රහ ලෝකයක් වශයෙන් ගත් කල ජීවින්ට හිතකර පැවැත්මක් නිර්මාණය වී ඇති අදටත් අප දන්නා එකම ග්‍රහ වස්තුව යි. ඒ ආකාරයට ජෛව හිතවාදී පරිසරයක් නිර්මාණය වූයේ ම වායු ගෝලයේ පැවැති කාබන් පොළෝ ගර්භයේ තැන්පත් වීමෙනි. එය එසේ වන්නේ ද කාබන් එසේ වායුගෝලයේ පැවැතීම ජෛව පැවැත්මට හිතකර නොවන නිසා ය. එහෙත් පසුව පෘථිවිය මත සිය අධිපති බව තහවුරු කරගත් මිනිසා එසේ තැන්පත් වූ කාබන්, පොසිල ඉන්ධන දහනය නමින් අද අප හඳුනාගන්නා සංසිද්ධිය යටතේ එම නැවතත් වායු ගෝලයට මුදා හැරීමට කටයුතු කොට තිබේ. ඒ හේතු කොටගෙන මිහිතලය උණුසුම් වීම නම් ව්‍යසනය හඳුනා ගැනීමටත්, ඊට මුහුණ පෑමටත් ලෝකයට සිදු වී තිබේ.

මිහිතලය උණුසුම් වීම පිළිබඳව ජගත් අවධානය යොමු වන්නේ මීට වසර 27කට පෙර ය. ඒ ගැන පළමු හෙළිදරව්ව සිදු කළේ දේශගුණික විපර්යාස පිළිබඳව අන්තර් රාජ්‍ය කමිටුවේ විද්‍යාඥයින්ගේ වාර්තාවයි. අයි. පී. සී. පී. යනුවෙන් හැඳින්වෙන එකී වාර්තාව ඉදිරියේ දී ලෝකය මුහුණපාන කනගාටුදායක ඉරණම ගැන විද්‍යා දත්ත ඇසුරු කරමින් පෙන්වා දුන්න ද ලෝක බලවතුන් දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කළ බව ද අමතක නොකළ යුතුය. පසුගිය වසර 155ක් තරම් කාලයක් තුළ ලෝක ජනගහනය ඉහළ ගොස් ඇත්තේ ද පවතින තත්ත්වයට සාපේක්ෂව පස් ගුණයකිනි. මේ සියලු අවිධිමත් සාධක හමුවේ දිනෙන් දින ම විනාශයට පත් වෙන පාරිසරික පැවැත්ම ඒ විපතින් වළක්වා ගැනීමට අදාළව බොහෝ සෙයින් කරුණු කාරණා ඉදිරිපත් වුණත් එයට විසඳුම් සපයන පිළිගත හැකි ක්‍රියාකාරීත්වයක් නම් පැහැදිලිවම දැකගත හැකි නොවේ.

අසමතුලිත පාරිසරික පැවැත්මක් තුළ එක් කලාපයක් දිගින් දිගටම නියං සායෙන් පීඩා විඳිද්දී තවත් කලාපයක් නො නවතින වැසි නිසා බරපතළ අයුරින් ආපදාවන්ට ලක් වීම නො වැළැක්විය හැකි සංසිද්ධියක් බවට පත් ව ඇත්තේ ද මේ නිසා ය. ඒ අනුව මුලින් ම පැවැසුණු වැස්ස නො වසී. එය පතනය වේ වැනි ස්වාභාවික හඳුනා ගැනීම් සුන්දර කවි කල්පිත වශයෙන් පමණක් කියවන්නට ඉදිරි පරපුරට සිදු වනු ඇත.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »