හදාගන්න අමාරුයි කියල මාව අතරමං කළේ ඇයි අම්මේ?

2016-01-04 10:47:00       829
feature-top
වැලේ ගෙඩි වැලට බර නෑ කියලා අපි අහලා තියෙනවා. ඒක කියමනක්ම විතරක්  නෙවෙයි කියලා ඔප්පු කරපු අම්මලා අපිට ඉතිහාසයෙන් වගේම වර්තමානයෙනුත් හමුවෙනවා. අද පවුලක දරුවන් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් තමයි උපරිම ලෙස සිටින්නේ. නමුත් මීට අවුරුදු තිහ හතළිහකට කලින් පවුලක දරුවෝ දහයක් පහළොවක් සමහර විට ඊටත් වැඩිය හිටියා. ඒ සිටියදී සමහර විට තවත් දරුවෙක් අරන් හදාගත්තා. ඒ කාලය ගැන කතා කළොත් වැලේ ගෙඩි වැලට බරවු බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්. අද එක දරුවෙක් හදාගන්නෙත් ඉතාමත් අපහසුවෙනි. ඒ දරුවාගේ බලාකියා ගැනීමේ වැඩි වගකීම පැවරී තිබෙන්නේද බොහෝ විට ආච්චි අම්මලාටයි.

 

sdfh
ඉතිං අපේ ඒ පැරණි අම්මලා දැන් අම්මලාට දොස් පවරන්නේ අපි ඒ කාලේ දරුවෝ දහයක් පහළොවක් හැදුවා කිසි කරදරයක් තිබුණේ නෑ. දැන් උඹලට එක දරුවෙක් හදාගන්නත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ කියලයි. බැලූ බැල්මට ඒ දොස් පැවරීමේ වරදක් නැහැ. නමුත්  ඕනෑම දෙයක් හරිද වැරදිද කියලා බලන්න වෙන්නේ ඒ ඒ කාල වකවානුවේ පැවති හෝ පවතින සමාජ, ආර්ථික වටපිටාව හා දේශපාලන වටපිටාවට සාපේක්ෂවයි.


අද අපි නිතරම අහන දකින දෙයක් තමයි අම්මලා දරුවොත් එක්ක සිය දිවි නසා ගැනීම. නැත්නම් දරුවා උපන් හැටියේ මරලා කොහේ හරි විසිකිරීම. එහෙමත් නැත්නම් උපන් හැටියේ දරුවා කාට හෝ ලැබුණොත් හදා ගනීවි කියන අදහසින් ගෙයක් දොරක් ළඟ දාලා යාම. තවත් සමහර විටක අවුරුදු දෙකේ තුනේ දරුවා ළමා නිවාසයක්, නැත්නම් ලොකු මන්දිරයක් වැනි නිවසක් අසල දමා යාම. මේ අම්මලාට අපි කොයි තරම් නම් දොස් කියලා ඇතිද? ඒත් ඒ අයට එහෙම කරන්න වෙන්නේ ඇයි කියලා අපි කවුරුවත් එක තත්පරයකට හිතුවාද? සමහර විට ඒ දරුවා හදාගන්න වත්කමක් නැති නිසා එහෙම කරනවා වෙන්න පුළුවන්. සමහර විට අනියම් පේ‍්‍රමයකින් හැදුන දරුවෙක් නිසා ඒ දරුවත් එක්ක පවුලට මුහුණ දෙන්න බැරිකම නිසා එහෙම කරනවා වෙන්න පුළුවන්. තවත් විටෙක දරුවා තමන්ගේ නෙවෙයි කියන සැකයක් මත සැමියා රණ්ඩු කරන නිසා කරන්න දෙයක් නැති කමට කරන දෙයක් වෙන්නත් පුළුවන්. තවත් සමහර විට මිථ්‍යා විශ්වාසවල එළැඹ ගන්න දෙමාපියන් මේ දරුවා නිවසේ තබා ගැනීම අනෙක් අයට අපලයැයි කියන නක්ෂත‍්‍රකරුවෙකුගේ  බහකට අනුව මෙවැනි දෙයක් කරනවා වන්නටද හැකියි. මේ කිසිම දෙයක් නිසා දරුවකු අත්ඇරීම සාධාරණයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් සමාජයක් එක්ව ගල්ගසද්දී ගැහැනියකට ගන්න තියෙන එකම පිළිතුර මෙවායින් එකක් විය හැකියි. එසේ නම් වරද තිබෙන්නේ එවැන්නක් කරන ගැහැනියක වෙතද? නැත්නම් එවැනි පිළියමක් සොයන්නට පොළඹවන ආර්ථීක ක‍්‍රමයේ හෝ තමන් සුදනන් වී අනෙකාට ගරහන සමාජයේද?


උදිතාගේ ජීවිත කතාවත් ඒ වගේ කතාවකින් ආරම්භ වුණ තවත් අඳුරු දුඃඛිත කතාවක්. ඇය අපට හමුවුණේ මහරගම මෙත්සෙවන නිවර්තන නිවාසයෙන් වුණත් ඇය අධිකරණයකින් මෙම ස්ථානයට යොමු කර තිබුණේ ඇය විසින් කරන ලද කිසිම වරදක් නිසා නම් නොවේ. ඇය තවමත් තමන්ගේ දෙමාපියන් එනතුරු බලා සිටිනවා. අනේ අම්මේ මාව එක්ක යන්න ඇයි එන්නේ නැත්තේ? ඇය හඬමින් විමසා සිටිනවා. ඇගේ ඉල්ලීම මවගේ හදවතේද දෝංකාර දෙනවා විය හැකියි. එහෙත් ඇගේ මවට ඇය සිය නිවසට ගෙන යා නොහැකි බව පෙනේ. එයට හේතුව කුමක්දැයි උදිතා දන්නේ නැහැ. ඒ නිසාම අපිත් තවම හේතුවක් දන්නේ නැහැ. මොකක් වුණත් ඒ හේතුව අපි මුලින් කතා කළ හේතුවලින් එකක් වනවාට නම් සැකයක් නැහැ.


උදිතා අනුරාධපුර ප‍්‍රදේශයේ උපන් සුන්දර අහිසංක දියණියක්. පුංචිම කාලේ අම්මා සමග සිටියා මතකයක් ඇයට යන්තමට තිබෙනවා. එහෙත් ඇයගේ මතකයේ වැඩිපුරම සිටින්නේ ආච්චි අම්මා. ආච්චි අම්මා ඇය අවුරුදු හතක් පමණ වනතුරු රැුකබලාගත්තා. නමුත් පාසල් යන්න පටන් ගත්තාට පස්සේ ආච්චි අම්මාට මේ දරුවා රැුකබලා ගන්නවාට අමතරව පාසල් යවන්නත් වියදමක් දරන්න සිදුවෙනවා. ඉතිං ඇයට කොයින්ද එහෙම වත්කමක්. ඒ නිසා ආච්චි අම්මා ඇයව හදාගන්න අමාරුයි කියලා පොලිසියේ ලියා පිළිසරණක් පැතුවා. පොලිසිය අධිකරණයක් මගින් පරිවාසය භාරයට පත්කර ඇයව ළමා නිවාසයකට භාර දුන්නා.


ළමා නිවාසයේ ළමයින් සමග සෙල්ලම් කරමින් දවල් දවස ගතකරද්දී පුංචි උදිතාට කිසිම පාළුවක් දැනුණේ නැහැ. නමුත් ? වෙලා නින්දට යන්න ගියාම මෙතෙක් කාලයක් ආච්චි අම්මා සමග කතන්දර අසමින් නින්දට ගිය හැටි අමතක කරන්න ඇයට නොහැකි වුණා. ඉතිං කාලයක් යනකම් උදිතා හිටියේ හැඬූ කඳුළෙන්. ටික දවසකින් මේ තත්ත්වය වෙනස් කරගන්න ළමා නිවාසයේ පාලිකාවන් සමත් වුණා. ඊට පස්සේ ඇයව පාසලකට ඇතුළත් කළා. ළමා නිවාසයේ පාලිකාවක් ඇගේ අම්මා විදිහට පාසලේදී පෙනී සිටියා. ඇයට හොඳට සින්දු කියන්න, නටන්න පුළුවන්. ඒ නිසා කාගෙත් අවධානය දිනාගත් සුරතල් දැරියක් විදිහට ඇය පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.


කාලය ගෙවී යන්නේ බොහොම වේගයෙන් කියලා අපිට දැනුණත් උදිතාට එහෙම වුණේ නැහැ. ඇයට ගෙවෙන හැම තත්පරයක්ම කල්පයක් වගේ දැනුණා. ඒ ඇය නිතරම මව එනතුරු බලාසිටින්නට පුරුදු වී සිටිය නිසයි. මේ සිතිවිල්ල හිතේ හිරකරගෙන වුණත් ඇය පාසල් ගියා. නමුත් කඩා වැටුණ හිතක් සහිත උදිතාට ඉගෙනීමට හිත යොමුකරන්න අපහසු වුණා. ඒ නිසා ඇය ඉගෙනීමට එතරම් දක්ෂතාවක් පෙන්නුවේ නැහැ. නමුත් පුංචි කාලේ වගේම තවමත් ඇය නැටුමට දක්ෂයි. ඒ නිසා පාසලේ විවිධ ප‍්‍රසංගයක් උදිතාගේ නැටුමක් නැතිව කෙරුණේ නැති තරම්. පුංචි උදිතා පාසලේ අට වසරට පමණ යද්දී කනින් කොනින් පැතිරුණ කතාවක් ඇයගේ ජීවන ගමනේ හරහට හිටියා. ඒ තමයි ඇය පාසල් එන්නේ ළමා නිවාසයක ඉඳලා කියන කතාව. පුංචි දරුවන්ට මනෝ විද්‍යාවක් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය උදිතාට විහිළු කරන්න පටන් ගත්තා. සමහරු අනවශ්‍ය විදිහට අනුකම්පා කරන්න පටන් ගත්තා. මේ දෙකම උදිතාට දරාගන්න බැරි වුණා. ඒ නිසා උදිතා නවයේ පන්තියේදි පාසල් යාම අත්ඇරියා. තවත් කොයි තරම් වෙහෙසී ඇයව පාසල් යවන්නට උත්සාහ කළත් ඒ උත්සාහයන් සාර්ථක වුණේ නැහැ. ඉතිං ඇය ළමා නිවාසයේ පාලිකාවන්ගෙන් යම් යම් දේවල් ඉගෙන ගත්තා මිසක ඉන් පසු අධ්‍යාපනයක් ලැබුවේ නැහැ.


උදිතාට අවුරුදු විසි දෙකක් වනතුරු ළමා නිවාසයේ සිටින්නට හැකිවුණා. ඒත් ඇය තවදුරටත් දැරියක් නෙවෙයි. දැන් ඇය සුන්දර තරුණියක්. ඇයව විවාහ කරදීමයි දැන් ළමා නිවාසයේ වගකීම. ඒත් උදිතාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඇයට අවශ්‍ය වුණේ ළමා නිවාසයේ කොටු පවුරු අතරින් නිදහස් වීමටයි. ඒ නිසා තමන්ට ළමා නිවාසයේ ඉන්න බෑ කියලා උදිතා කියන්න වුණා. ඊට පස්සේ ළමා නිවාසයේ භාරකරුවන් පරිවාස දෙපාර්තමේන්තුව මගින් නැවත උදිතා අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී අධිකරණය ඇයව නිවර්තන නිවාසයට භාර දීමට තිරණය කළා. උදිතා අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගන්නා කාන්තාවන් පුනරුත්ථාපනයට යොමු කරන මෙත්සෙවණ නිවර්තන නිවාසයට ආවේ ඒ විදිහටයි.


මේ නිවාසයේ ඇය මේ වන විට අවුරුදු දෙකක් ගතකර තිබෙනවා. මේ කාලය තුළ ඇය බොහෝ අත්කම් ඉගෙන ගත්තා. දැන් ඇයට මහන්නට, ගොතන්නට පුළුවන්. ඒ වගේම බතික් කර්මාන්තයත් ඇය හොඳින් ප‍්‍රගුණකර තිබෙනවා. නිවර්තන නිවාසයේ බලධාරින්ටද අවශ්‍ය ඇයව විවාහකර දීමටයි. එහෙත් උදිතාට අවශ්‍ය වන්නේ විවාහයක් නොවේ. අම්මා පැමිණ ඇය රැුගෙන යාමයි. අම්මාගේ උණුසුම එකම එක වතාවක් හෝ විඳගන්නටයි. ඒ නිසා පුංචිම පුංචි කාලේ වගේම උදිතා අදත් අම්මා ගැන කියන්නේ හැඬූ කඳුළෙනි.


මට අක්කා කෙනෙක් ඉන්නවා. මල්ලී කෙනෙක් ඉන්නවා. ඒ හැමෝම අම්මයි තාත්තයි එක්ක එකට ජීවත් වෙනවා. ඇයි මාව විතරක් එයාලට බරක් වුණේ? ඇයි මාව විතරක් ආච්චි අම්මා ගාව දාලා ගියේ? මම මෙහාට ආවාට පස්සේ එකම වතාවක් අම්මා ඇවිත් අක්කත් එක්ක මා බලලා ගියා. ඒත් මාව එක්ක යන්න බැහැ කියනවා. දැන් නම් අම්මා රට ගිහින් කියලයි කියන්නේ. ඒක බොරුවක්. අම්මා තවමත් ගෙදර ඉන්නවා. තාත්තත් ඉන්නවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මට මේ වගේ දුකක් දුන්නේ කියලයි. මම හැම අම්මා කෙනෙකුගෙන්ම ඉල්ලන්නේ මේ වගේ දුකක් නම් දරුවෙකුට දෙන්න එපා කියලයි.


ඒ උදිතාගේ හඬයි. ඉතිං ඇය බලාපොරොත්තු වනදේ ඉටු කරන්න බැරි වුණත් ඇයව මේ කොටු පවුරෙන් එළියට ගන්න ඔබට පුළුවන් වේවි. ඒ ඇයගේ දක්ෂතාවන් අනුව රැකියාවක් දීලා. නැත්නම් ඇය ඔබේ ඥාතියෙකුට විවාහ කරදීලා. මේ කොයි විදිහකින් හෝ ඇයට පිහිටක් වෙන්න පුළුවන් නම් ඇයගේ ජීවිතයේ ඉතිරි අඩ හෝ සතුටින් ගෙවන්න ඇයට හැකිවේවි. ඒ නිසා මේ කතාව කියවලා ඇගේ අම්මාට දොස් පවරමින් නොසිට ඔබට කළ හැකි දේ කරන්න. එය මහත් උදාර කාර්යයක් වනවාට සැකයක් නැහැ.


තොරතුරු සපයා ගැනීමේදී සහය දුන් බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂිකා බී.එච්.සී. ශිරෝමාලී මහත්මියටත්


මෙත්සෙවන නිවර්තන නිවාසයේ අධිකාරී ජේ. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තුතිය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »