අකුසලයක් වුණු කුසල්ගේ ආදරය

2016-01-03 10:42:00       829
feature-top
නිසොල්මනේම කැරකෙන තත්පර කටුව අපටත් නොදැනීම ජීවිතේ ඈතට අරගෙන යනවා. තත්පරෙන් තත්පරය, පැයෙන් පැය දවසින් දවස ගෙවන ජීවිතේ අරමුණු බලාපොරොත්තු නම් කොයිතරම්ද?


ඒත් ජීවිතේ සුන්දර වුණත් අසුන්දර වුණත් ජීවිතේ දිගහැරෙන සමහර දේවල් හරිම පුදුමාකාරයි. වැටෙන පිනිබිඳුවකට ගැස්සිලා ඇහැරෙන රෝස පොහොට්ටුව හරිම සුන්දරයි. ඒත් රෝස කටු හරිම සැරයි. හරියට අපේ ජීවිතේ වගේ.... ඒ ඇනෙන කටුත් එක්ක වැටෙන පිනිබිඳු අපි හිතන තරම් සුවදායක නැහැ.


සඳුනිකාට සඳදිය දෝතක් වගේ කුළුඳුල් ආදරේ ජීවිතයට බැල්ම හෙළුවේ අවුරුදු දොළහෙදි...


අනේ මන්දා, කුසල් අයියගේ ආදරේ මට ගොඩාක් දැනුණා. කුසල් අයියා එක්ක යාළුවෙනකොට මම වැඩිවියට පත් වෙලා නැහැ. එදා ඒ දැනුණු ආදරේ අපි දෙන්නට නොදැනීම ගොඩාක් දුර ගියා. අපි විවිධ දේවල් කථා කළා. ගොඩාක් හීන මැව්වා. කුසල් අයියට ළං වෙලා ඉන්න හැම තත්පරයක්ම මට දැනුනේ මහා කල්පයක් වගේ. මම මගේ පණටත් වඩා කුසල් අයියට ආදරේ කළා. ඒත් අපේ බලාපොරොත්තු හීන බොඳ වෙලා යන්න ගතවෙන්නේ තත්පර ගාණයි. ජීවිතේ ආපස්සට හැරුණෙත් වළදාපු අසුන්දරම කථාවක් මටත් තියෙනවා


සඳුනිකාගේ මේ අවනඩුව ඔබ කුමන ආකාරයට භාර ගත්තත් ඇය තවමත් වයස අවුරුදු දහඅටට අඩු බාල වයස්කාර දැරියක්. සමාජයේ විවිධ ඇස් ඇය වෙත යොමු වෙනවා. විවිධාකාර කෝණවලින් ඇය දෙස බලනවා. මන්ද ඇය ඇයටත් නොදැනීම අභිසරුලියක් වන නිසාම. නොතේරෙයි ඇයට ජීවිතය ඇද වැටී ඇති අගාධය. මන්ද ඇගේ කථාව ඇසූ මාද වචන අතර සිර වුණේ ගල්ගැසුණාක් මෙනි. මා හටද නොතේරෙයි ඇගේ අවනඩුව කෙසේ කියන්නද සිතා....
මොනරාගල දිස්ත‍්‍රික්කයේ සුන්දර ගමක මධ්‍යම පාන්තික පවුලක උපන් සඳුනිකා පවුලේ වැඩිමහල්ම දරුවා. සඳුනිකාගේ පියා කවුද කියන්න සඳුනිකා දැනන් සිටියේ නැහැ. මීට වසර දහසයකට ඉහතදී ප‍්‍රසූතිකාගාරයේ හඬන කිරි කැටියාගේ උණුසුම විඳින්න ඒ ප‍්‍රසූතිකාගාරය ඉදිරිපිට තාත්තාකෙනෙක් සිටියේ නැහැ.


එදා උප්පැන්නේ පුංචි සඳුනිකාගේ භාරකාරයා විදිහට ඉදිරිපත් වෙන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. සඳුනිකාගේ තාත්තා සඳුනිකාගේ අම්මා අතහැර දාලා යනකොට සඳුනිකාගේ අම්මගේ කුසට මාස ගණනක් පමණයි. ඒ අම්මා එදා පුංචි කිරි කැටියවත් රෙදි කඩක ඔතාගෙන ජීවත් වෙන්න මහපොළව එක්ක ඔට්ටු වුණේ ජීවත් වෙන්න මඟක් සොයන්න. දරුවෙක් එක්ක තනිපංගලමේ ගෑනියෙකුට ජීවත් වෙන්න අමාරුයි. තනිකම මකන්න, දුක අහන්න නම් පිරිමි  ඕන තරම්, ඒත් දැන දැනම ? වැටුණ වළේම දවල් වැටෙන්න සඳුනිකාගේ අම්මා බය වුණා. ඒත් ගෑනියෙකුට පිරිමියෙකුගේ හයිය  ඕනෙමයි. සඳුනිකාගේ අම්මා ඒ අසල ගමක ජීවත්වුණු සුගත් එක්ක දීග කන්න පටන් ගත්තේ ඔය අතරතුර. ඒ වෙනකොට සඳුනිකා අවුරුදු දෙකක දරු පැටියෙක්. සුගත්ගේ ලෙයින් නොවැඩුණත් උතුරා ගිය පිය සෙනෙහසක් සඳුනිකාට උරුම වුණා.


සඳුනිකාගේ ජීවිතයේ ඛේදනීය ඉරණම ලිය වුණේ ඔය විදිහට. සුගත් බාප්පා වුණත් සුගත්ගේ දරු සෙනෙහස ලියවුණේ පිය සෙනෙහසට එහා ගිය ආදරයක් විදිහට. එතනින් එහාට සඳුනිකාගේ ඒ අනුවේදනීය කථාව ඇගෙන්ම අහන්න හිතුවා.


සුගත් බාප්පා මගේ තාත්තා නෙමෙයි කියලා දැන ගත්තේ ගොඩාක් පස්සේ. මගේ අම්මට ඔක්කොම දරුවෝ හතර දෙනෙක්. නංගියි, මල්ලිලා දෙන්නගෙයි තාත්තා සුගත් බාප්පා. සුගත් බාප්පා අපට හොඳට සැලකුවා. එයාගෙම දරුවන් වගේ මට ගොඩක් ආදරේ කළා. සුගත් බාප්පට ස්ථිර රැුකියාවක් තිබුණේ නැහැ. අපි ජීවත් වුණේ හේන් ගොවිතැනින්. ඔහොම ඉන්නකොට ගමේ මහත්තයෙක් ඇවිල්ලා සුගත් බාප්පට කොළඹ ගොඩනැගිලි හදන තැනක රැුකියාවකට කථා කළා. මහ පොළව එක්ක ඔට්ටු වෙලා විඳවන දුකත් එක්ක කොළඹ ගිහින් රස්සාවක් කරන එක හොඳයි කියලා සුගත් බාප්පා කැමති වුණා. සුගත් බාප්පා කොළඹ ගියාට පස්සේ අපට ගොඩක් සරු වුණා. අපට ඉගෙන ගන්න, අඳින්න, කන්න බොන්න කිසිම අඩුවක් තිබුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න ආස කළේ නැහැ. පුංචි දවස්වල ඉඳලම මට වැඩ බැහැ කියලා ටීචර්ලා මට හරියට ගැහුවා. ඒ නිසාම මට ඉස්කෝලේ එපා වුණා. ඒත් අම්මගේ පෙරැුත්තයමත මම ඉස්කෝලේ ගියා. ඔය අතරතුර මගේ පේ‍්‍රම සම්බන්ධයක් ඇති වුණා. එයා කුසල්. එතකොට මම හත වසරේ කුසල් අයියා අපේ ගෙවල් ලඟ ගඩොල් වැඩපළක වැඩ කරපු කෙනෙක්. පුංචි කාලේ ඉඳලම වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් මට තිබුණා. කුසල් අයියා මගෙන් කැමතිද කියලා අහනකොට මම වැඩිවියටවත් පත් වෙලා නැහැ.


කුසල් කියන්නේ සඳුනිකාගේ නිවස අසල ජීවත් වුණ කෙනෙක් වුණාට ඒ වාසස්ථානය කුසල්ට හිමි වුණේ තාවකාලිකව. මන්ද එම ගඩොල් වැඩපළේ සේවය කරන නිසාවෙන්. ඇත්තටම කුසල් කියන්නේ කවුද? කුසල් කියන්නේ කොහේ කෙනෙක්ද? මේ සියල්ලම ආදරේට යට වුණා. එතරම් දුර සිතන්නට තරම් පුංචි සඳුනිකාගේ මනස මෝරලා තිබුණේ නැහැ. ඔහු ගැන නොදත් ඇය තමන් සතු සියලූ දේ හෝරා කිහිපයකදී කුසල්ට පවසන්න තරම් ඇගේ ආදරය බොළඳ වුණා. එයා සිටිය වයස් සීමාවත් එක්ක ආදරය කියන්නේ මොකද්ද කියලාවත් දැනුම් තේරුමක් සඳුනිකාට තිබුණේ නැහැ.


මට නිදහසේ ටිකක් ඔයත් එක්ක කථා කරන්න  ඕන සඳුනිකා. මම කථා කරන  ඕනම තැනකට ඔයා යන්න එනවද?
මෙය කුසල් සඳුනිකාට කළ පළමු ඇරියුම විය. සඳලි දෙවරක් නොසිතාම එක හෙළා හිස නැමුවේ ඇය මේ කුරිරු සමාජය ගැන බරක් පතළක් නොදන්නා නිසාය. කුසල් අවුරුදු 24ක අවිවාහක තරුණයෙකු වූ අතර මොනරාගල ප‍්‍රදේශයේ ඥාති නිවසක සිට ගඩොල් කර්මාන්තයේ රැුකියාවක නියැලී ආර්ථිකය සරිකර ගත් තරුණයෙකි.


කුසල් අයියා ගමේ හිටපු කාලේ මට ගොඩක් ආදරේ කළා. සුගත් බාප්පා ගෙදර ආවේ මාසෙකට වතාවක් වගේ. ඒ නිසා ගමේදි කුසල් අයියා මුණ ගැහෙන්න බය හිතුණේ නැහැ. මම ඉගෙන ගන්න ආස නැති වුණාට මම නවය පන්තියට වෙනකම් ඉස්කෝලෙත් ගියා. ඔහොම ඉන්න කොට කුසල් අයියාට මාව මුණ ගැහෙන්න  ඕන කියලා මට නිතරම කරදර කළා. අම්මා ගොඩක් වෙලාවට නංගිලා මල්ලිලා ඉස්කෝලේ ගියහම හේනට යනවා. ගෙදර දවල් දවස ගෙව්වේ මම තනියම. අම්මා මාව කවදාවත් මොනම හේතුවක් නිසාවත් සැක කළේ නැහැ. ඒ නිසා මට කුසල් අයියා මුණ ගැහෙන්න ලොකු බයක් දැනුණේ නැහැ. අම්මා හේනට යන සමහර දවස්වලට කුසල් අයියා අපේ ගෙදර ආවා.


සඳුනිකා ඇගේ ජීවිතේ විනාශ කර ගත්තේ ඇගේ නොදැනුම්වත්කමින්මයි. ඈට හොඳ නරක කියලා දෙන්න තරම් සඳුනිකාගේ අම්මටත් ඒ හැටි සමාජ දැනුමක් තිබුණේ නැහැ. සුගත් නිවසේ නොමැති වීම සඳුනිකා දැක්කේ සුභවාදී විදිහට. මේ අනාරක්‍ෂිත බවේ ඉරණම ඇයට දැනුණේ නැහැ. සෙල්ලක්කාර වයසට ඇය කුසල්ගේ ආදරේ ඇතුළේ මත් වෙලා සිටියේ.


මව නොමැති බොහෝ අවස්ථාවල කුසල් සඳුනිකාගේ නිවසට ආවේ පෙම්බස් දොඩන්නම නෙමෙයි. කුසල්ගේ රාගික ආශාවන් සංසිඳුවා ගන්න. ඇය මුළු ලෝකෙට හොරා ගැහැනියෙක් වෙද්දි සඳුනිකාගේ අම්මා මහපොළව එක්ක ඔට්ටු වුණා. සුගත් මේ දරුවන්ගේ ඇහැ පාදන්න කොන්ක‍්‍රීට් නගරයේ වැලි ගඩොල් එක්ක හැප්පුණා. අපි දෙන්නට දෙන්නා ගොඩාක් ආදරේ කළා. කුසල් අයියා මට බොරුවක් කරාවි කියලා කවදාවත් හිතුවෙ නැහැ. එයා මට ආදරේ කරපු විදිහට මාව දාලා යාවි කියලා හිතන්නවත් පුළුවන් මානසිකත්වයක නෙවෙයි මම හිටියේ


හිතන තරම් ආදරය සුන්දර නැහැ.... දිවට දිව ගාගෙන හිටියත් සිත් කියන දේ වෙනස් වෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ. කොච්චර ආදරේ කළත්, කොයි තරම් ළගින් හිටියත්, හිත් ඇතුළේ තියෙන අරමුණු, අදහස් තේරුම් ගන්න හරිම අමාරුයි. ආදරේ කියන්නේ තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ආදරේට තමන්ගේ ගරුත්වය පූජා කරන්න එපා. කොච්චර කිව්වත් ඔය වයසට ඒ ආදරේට මුළා වෙනවා. ආදරය කරන්න  ඕන, ඒත් ආදරේට මුල් තැන දීලා සමාජය ඉදිරියේ අවලංගු කාසියක් වෙන්න හදන්න එපා. අද සඳුනිකාට සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේම තමයි.


ඔහොම ඉන්නකොට බාප්පා කොළඹ වැඩ කරපු වැඩ පළේදි හදිසි අනතුරකට ලක් වෙලා එක තැන් වුණා. ජීවිතේ කප්පරක් බලාපොරොත්තු තියාගෙන හීන දැකපු මගේ අම්මා අන්ත අසරණ වුණා. බාප්පා එක්තැන් වුණාට පස්සේ අපිට කන්න බොන්න, අඳින්න දුන්නේ ගමේ අය. කුසල් අයියත් මට විටින් විට මුදල් දුන්නා. බාප්පා එකතැන් වුණාට පස්සේ මගේ පාසල් ගමන සම්පූර්ණයෙන්ම නතර වුණා. මාසෙකට බාප්පගේ බෙහෙත්වලටම විශාල මුදලක් දරන්න සිද්ධ වුණා. නංගිලා මල්ලිලාට උගන්වන්න ගෙදර වියදම් අම්මට දරා ගන්න බැරි වුණා. අම්මා මේ දේවල් දරා ගන්න බැරුව අපි ඔක්කොම එකට වස ටිකක් බීලා මැරෙමු කියලා කියපු අවස්ථා අනන්තයි.


මට අම්මා දුක් විඳිනවා බලා ඉන්න බැරි කමටම මම කුසල් අයියට කිව්වා කොළඹ රස්සාවකට එක්ක යන්න කියලා. මට වයස නැති නිසා එක පාරම රැුකියාවක් හොයාගන්න අමාරුයි කියලා, කොළඹ අඳුරන නෑ ගෙදරක මාව නතර කරන්න අම්මටත් කියලා මාව කොළඹ එක්කගෙන ගියා. අපි වැටිලා හිටපු තත්ත්වෙත් එක්ක කුසල් අයියා ඒ වෙලාවේ අපිට ශක්තියක් වුණා. ඒ වෙලාවේ මම අපේ සම්බන්ධෙ අම්මට කිව්වා.


ඒ කියන්නේ එතනින් පස්සේ සඳුනිකා කොළඹ එනවා.


ඔව්. කුසල් අයියා තමයි මාව ගාමන්ට් එකකට දානවා කියලා කොළඹ එක්කගෙන ආවේ.


එතනින් පස්සේ මොකද වුණේ?


කුසල් අයියා මාව නතර කළේ එයාගේ නෑ ගෙදරක කියලා දෙහිවල පැත්තේ ගෙදරක. ඒ ගෙදර දවස් දෙක තුනක් ඉන්න කොට අමුතු අමුතු දේවල් සිද්ධ වුණා. ඒ ගෙදර ගෑනු එක්කෙනා මාව එක්කගෙන ගිහින් අලූත් ඇඳුම් අරන් දුන්නා. මම වගේම තවත් ගෑනු ළමයි ඉන්න තැනකට එක්කගෙන ගිහින් මාව අඳුන්නලා දුන්නා. මගෙන් ඇහුවා ගොඩක් සල්ලි හම්බ කරන්න කැමතිද කියලා. බල්ලෝ මරලා හරි මට ඒ වෙලාවේ වුවමනා කරලා තිබුණේ සල්ලි. මම කන බත් කටක් ගානේ මට මතක් වුණේ මගේ නංගිලා, මල්ලිලා, අම්මා, බාප්පා... මිනිස්සු අසරණ වුණාම ජීවත් වෙන්න මොන තරම් දේවල් කරනවද? සඳුනිකාගේ කථාව සත්‍යම කථාවක්. කුසල් ඇයව කොළඹ ගෙනත් දැම්මේ ගණිකා වෘත්තියට. කුසල් ඇයට ආදරය කළේ නැහැ. කුසල්ට  ඕන වුණේ අනවශ්‍යය විදිහට ප‍්‍රයෝජන ගන්න. කුසල්ට මේ ගණිකා වෘත්තියේ සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ කොළඹ වැඩ කරපු කුසල්ගෙම මිතුරෙකුගෙන්. සඳුනිකා විකිණෙන හැම අවස්ථාවකම ඉන් කොමිස් මුදලක් කුසල්ටත් හිමි වුණා. ඒත් ඒ කිසිවක් සඳුනිකා දැනන් හිටියේ නැහැ.


මම ඒ රස්සාව අකමැත්තෙන් වුණත් කළේ නංගිලා මල්ලිලාට උගන්නන්න.. අම්මට මම කිව්වෙ මම ගාමන්ට් එකක වැඩ කරනවා කියලා. මම ගෙදරට සල්ලි යැව්වා මිසක් කොළඹ ආවට පස්සේ ගමේ ගියේම නැහැ. දවසක් මම හිටපු මැඩම්ලගේ ගෙදරට පොලිසියෙන් පැන්නා. ඒ වෙලාවේ අනිත් අය නිදහස් වෙද්දි මම බාලවයස්කාරයි කියලා ඔප්පු වුණා. මම වෙනුවෙන් පෙනී සිටින්න, මගේ අම්මා එනවට මම කැමති වුණේ නැහැ. ඒත් මගේ අම්මා උසාවි භූමියේ පොළවේ හැපි හැපී ඇඬුවත්, මම පරිවාසභාරයට පත් වුණා. මාව බේරගන්න කාටවත් පුළුවන් වුණේ නැහැ.


මේ ඉරහඳ යට අපි නොසිතන අසුන්දර දේවල් කොයි තරම් නම් තියෙනවද? ඇගේ කථාව අහලා ඔබට විවිධ දෝෂාරෝපණ එල්ල කරන්න පුළුවන්. එය ඔබේ අයිතියක්. ඒත් ඒ දරුවෝ ඒ තත්ත්වයට පත් වෙන්නේ කොතැනින්ද? ඒ දරුවන්ගේ ආරක්‍ෂාව කොතැනද? කියන කාරණය පිළිබඳ ඊට එහාට යමක් සිතන්නට ඔබට පුළුවන්නම් එයයි සමාජ වගකීම.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »