සකුන්තලා විශ්වීය නිර්මාණයක්

2016-01-02 10:42:00       846
feature-top
භාරතීය මහා කවි කාලිදාස පිළිබඳවත් ඔහු ජීවත් වූ අවධිය පිළිබඳවත් කිසිවක් නියත වශයෙන් කිව නොහැකිය. කෙසේ වුව ද ඔහු ක්‍රි. ව. පස්වන හෝ හයවන ශතවර්ෂයේ පමණ ජීවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. කාලිදාස විසින් නාට්‍ය හා කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ම රචනා කොට ඇති නමුදු ඔහුගේ වඩාත් ම ඇගැයීමට ලක් වූ කෘතිය සකුන්තලා නාටකයයි. කාව්‍යයන් අතුරෙන් නාටකය රම්‍ය වේ. නාටකයන් අතුරෙනුදු ශාකුන්තලය රම්‍ය වේයන පශ්චාත්කාලීන භාරතීය විචාරකයෙකුගේ ප්‍රකාශයෙන් ද ඒ බව සනාථ වේ.

සකුන්තලා නාටකය 18 වන ශතවර්ෂයේ අග භාගයේ දී විලියම් ජෝන්ස් (William Jones, 1746-1794) නමැති ප්‍රාචින පඬිවරයා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරිණි. අනතුරුව 1791 දී මෙම ඉංග්‍රීසි පරිවර්තනයේ ජර්මන් අනුවාදයක් පළ විය. ඉන් පසුව ජර්මන් පරිවර්තන තුන හතරක්ම පළ විය. තව ද ඉංග්‍රීසි කෘතිය ඩේන් හා ඉතාලි යන භාෂාවලට ද පරිවර්තනය කෙරිණි.

භාරතය, චීනය හා ජපානය පෙරදිගට ආවේණික වූ ශෛලිගත නාට්‍ය කලාවන්ට හිමිකම් කියන රටවල් තුනකි. භාරතයේ සංස්කෘත නාට්‍ය කලාවත් චීනයේ පීකිං ඔපෙරා (Peking Opera) නාට්‍ය කලාවත් ජපානයේ නෝ (Noh), කබුකි (Kabuki) හා බුන්රකු (Bunraku) යන නාට්‍ය කලාවත් මීට දැක්විය හැකි නිදසුන් කිහිපයකි. ඒ සියලු ම නාට්‍ය කලා අතුරෙන් වඩාත් ම පැරැණි නාට්‍ය කලාව වනාහි සංස්කෘත නාට්‍ය කලාවයි. එමෙන්ම එකී නාට්‍ය කලා අතුරෙන් ප්‍රථම වරට යුරෝපීය භාෂා කිහිපයකටම පරිවර්තනය වූයේ ද කාලිදාස ගේ සකුන්තලා නාටකයයි. පුරාතන අවධියේ දී එබඳු විශිෂ්ට නාටකයක් වෙන කිසිදු පෙරදිග රටකට නොතිබුණි. 1792 දී ජර්මන් ජාතික කවියකු වන ගාටේ (Johann Wolfqang von Goeth, 1749 - 1832) විසින් සකුන්තලා නාටකය වර්ණනා කරමින් රචිත සුප්‍රසිද්ධ පද්‍යයෙන් ද එහි විශිෂ්ටත්වය සනාථ වේ. ස්වභාව සෞන්දර්යයෙන් ද නාට්‍ය රසයෙන් ද කාව්‍ය රසයෙන් ද අනූන සකුන්තලා නාටකය මඟින් මනුලොව හා සුරලොව ඒකාබද්ධ කොට පිළිබිඹු කෙරෙන බවක් ඉන් ප්‍රකාශිතයි.

සකුන්තලා නාටකයට වස්තු වූ කථා පුවත කවර සමාජයකට වුව ද කවර අවධියකට වුව ද අර්ථවත් වූවකි. ප්‍රේම සම්බන්ධතා අතරමඟ නතර කිරීම, විවාහ වීමට දුන් පොරොන්දු කඩකිරීම ආදිය නොයෙක් විට සිදු වේ. සකුන්තලා නාටකයට වස්තු වනුයේ ද මීට බෙහෙවින් සමාන වූ පුවතකි.

දුෂ්‍යන්ත රජු මුව දඩයම සඳහා හිමාලය කඳු පාමුල පිහිටි වනයට ගිය අතර ඉසිවරයකුගේ අසපුවක සිටි සකුන්තලා නමැති රූමත් කන්‍යාව මුණ ගැසෙයි. එතැන් සිට ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් හට ගනියි. අනතුරුව දෙදෙනා ගාන්ධර්ව විවාහ චාරිත්‍රයට අනුව එනම් දෙදෙනාගේ පමණක් කැමැත්තට අනුව විවාහ වෙති. ටික දිනකින් ඇය කැඳවාගෙන යෑමට එන බවට පොරොන්දු වී දුෂ්‍යන්ත රජ සිය මාලිගයට ආපසු යයි. පොරොන්දු වූ පරිදි තමා කැඳවාගෙන යෑමට රජු නොපැමිණීම නිසා දුකට පත් සකුන්තලා කල්පනාවෙහි නිරත වී සිටියි. ඊට ප්‍රධාන හේතුව නම් ටික දිනක් තුළ ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇය ගැබ් ගෙන සිටීමයි.

කන්ව ඉසිවරයා එනම් ඇය ඇති දැඩි කළ පියා ඇය හස්තිනාපුර නගරයෙහි පිහිටි දුෂ්‍යන්ත රජුගේ මාලිගයට පිරිවරත් සමඟ පිටත්කර යවයි. ඇය කැටුව ගිය පිරිස ඉසිවරයාගේ පහත සඳහන් පණිවිඩය රජුට දන්වා සිටියි. ඔබ තුමා මගේ මේ දියණිය විවාහ කර ගත්තා, අන්‍යොන්‍ය කැමැත්තෙන්. දෙන්නගේ විවාහය මම ප්‍රීතියෙන් අනුමත කළා. ..... ඒ නිසා ගැබ්ගෙන සිටින මෑ ධර්මපත්නිය වශයෙන් පිළිගත මැනැවි. මේ වන විට දුර්වාසස් ඉසිවරයාගේ සාපය නිසා එකී සම්බන්ධය රජුට සහමුලින් ම අමතක වී තිබුණි. එ බැවින් රජ එම පිරිසට මෙසේ පවසයි. පින්වත් තාපසවරුනි, කොයිතරම් කල්පනා කළත් මට නම් මතක් වෙන්නෙ නැහැ මෑ සමඟ එක් වුණු බවක්. ඒ නිසා ගැබ්ගෙන තිබෙන බවට ලකුණු හොඳට ම පෙනෙන්ඩ තිබෙන මෑ, නමින් පමණක් මම ඇගේ ස්වාමියායයි කිව යුතු තත්ත්වයක් තියෙද්දි කොහොම ද පාවා ගන්නෙ? ඇය කැටුව ආ පිරිස ඇය රජ මාලිගයෙහි නතර කොට මෙසේ කියා ආපසු යති. මෙන්න ඔබ පතිනිය - පිළිගන්න නැත හළ මැන.

තමා ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්වන සකුන්තලා රජුට දෝෂාරෝපණය කරයි. එවිට තමා කුමක් කළ යුතු දැයි උපදෙස් දෙන ලෙස රජ පුරෝහිතයාට දන්වා සිටියි. පුරෝහිතයා මෙසේ පිළිතුරු දෙයි. මේ පින්වතිය දරුවා ලැබෙන කල් මගෙ ගෙදර හිටපුවාවෙ. ..... ඒ තවුස් දුවගෙ පුතාට සක්විති රජ ලකුණු තිබුණොත් ඈව අන්තඃපුරයට පමුණුවා ගන්ඩ. එහෙම නැතුව වෙනසක් වුණොත් නොවරදවාම පියා ළඟට යවන්ඩ.

අනතුරුව සකුන්තලා ක්‍රියා කළ ආකාරය විස්තර කොට ඇත්තේ මෙසේ ය. කරමින් නිගා තරුණිය සිය ෙෙදවයට - වැලපෙන්නට වුණා අත් ඔසවා උඩට. සිය ඉරණමට සාප කරමින් ඈ වැලපෙන්නට වෙයි. එකල්හි දුරකින් ඉතිරියක් බඳු එළියක් එවිට - අවුදින් ගෙන ගියා ඇය අප්සර තොටට. මෙහිදී සිදුවූයේ කුමක් ද? කිසියම් ආලෝකයක් අභ්‍යවකාශයේ සිට ස්ත්‍රී වේශයෙන් පැමිණ සකුන්තලා දෙව් ලොවට කැඳවාගෙන යෑමයි. මෙය බෙහෙවින් අර්ථවත් සිද්ධියක් බව කිවමනා ය.

පුරෝහිතයා කියා සිටියේ ගැබ්ගෙන සිටින සකුන්තලා දරුවා ලැබෙන තුරු තම නිවසේ නැවතී සිටීම සුදුසු බවයි.

එවිට ඈත ආකාසයේ සිට ස්ත්‍රියකගේ වේශයෙන් පැමිණි කිසියම් ආලෝකයක් විසින් ඇය සුරලොවට කැඳවාගෙන යයි. මින් අදහස් කරනුයේ කුමක් ද? ගැබ්ගත් කාන්තාව නරලොවට නොව සුරලොවට යෝග්‍ය පූජනීය වස්තුවක් බවයි. ගැබ්ගත් තරුණිය කිසි විටකවත් නරලොව අතරමං නොකළ යුතු බවයි. ස්ත්‍රී වර්ගය කෙරෙහි මෙතරම් ගෞරවයක් දැක්වූ, ගැබ්ගත් තරුණිය මෙතරම් ඇගැයුමට ලක් වූ වෙනත් සාහිත්‍ය කෘතියක් ලෝක සාහිත්‍යයෙහි නොමැති තරම් ය. මහා කවි කාලිදාසගේ සකුන්තලා වූ කලි ස්ත්‍රිය විවිධ හිරිහැර වධහිංසා ආදියට භාජන වන වර්තමාන ලෝකයේ කවර සමාජයකට වුව ද බෙහෙවින් අර්ථවත් නාටකයකි. එය සර්වකාලීන වැදගත්කමකින් යුත් අගනා නිර්මාණයකි.

තමා සකුන්තලා විවාහ කරගත් බව දුෂ්‍යන්තට සිහිපත් නොවූයේ සාපයක් නිසා මිස ඔහුගේ වරදක් නිසා නොවේ. එසේ වුව ද හේමකූට පර්වතයෙහි පිහිටි කසුප් ඉසිවරයාගේ අසපුවේ දී සකුන්තලා මුණ ගැසුණු අවස්ථාවෙහි ඔහු ඇගේ දෙපාමුල වැටී ඊට සමාව අයද සිටියි. පුරාතන ලෝකයේ දුෂ්‍යන්ත වැනි ප්‍රතාපවත් රජ කෙනෙකු තමා අතින් නොදැනුවත්ව සිදු වූ වරදකට ස්ත්‍රියකගේ දෙපාමුල වැටී සමාව අයද සිටීම අතිශයින් අර්ථවත් සිද්ධියකි. ස්ත්‍රිය වනාහි බෙහෙවින් අගය කළ යුතු ගෞරවයට භාජන විය යුතු අගනා වස්තුවක් බව ඉන් ධ්වනිත කෙරේ.

කාලිදාස ගේ සකුන්තලා නාටකය හුදෙක් ස්ත්‍රිය ඇගැයීමට ලක්කිරීම සඳහා පමණක් රචනා වූවක් නොවේ. එය වෙනත් අරමුණුවලින් ද යුක්තයි. එහි තවත් අරමුණක් නම් මිනිසාගේ අවට පරිසරය හා ස්වාභාවික සෞන්දර්ය ඇගැයීමයි. ගස්කොළන් හා වන සතුන් කෙරෙහි සහෝදරත්වයක් දැක්වීමයි. පරිසරය මිනිසාට බෙහෙවින් හිතකර බව කියා පෑමයි. කන්ව ඉසිවරයාගේ අසපුවෙහි වාසය කරන කන්‍යාවන් තිදෙනා පැළවලට වතුර ඉහිමින් සිටින අවස්ථාවක අනසූයා මෙසේ පවසයි. සකුන්තලා, මගෙ නම් හිතේ ඔයාගෙ තාත්තා ඔයාට වඩා ආදරේ මේ ගස්වලට කියලයි. ඒකයි දෑ සමන් වැලක් වාගෙ බොහොම සියුමැලි ඔයාට මේ ගස්වලට වතුර වක්කරන්ඩ නියම කරලා තියෙන්නෙ. ඊට සකුන්තලා දෙන පිළිතුර මෙයයි. තාත්තගෙ නියමෙම නෙමෙයි.

මාත් මේ ගස්වලට සහෝදරයින්ට වාගෙ ආදරෙයි. තව ද සකුන්තලා මෙසේ ද පවසයි. මේ කේසර ගහ හුළඟට හෙළවෙන දලු නමැති ඇඟිලිවලින් මට අඬගහනවා වගෙයි. මම ඒකට ටිකක් සැලකිලි දක්වලා එන්නම්. එවිට ප්‍රියංවදා සකුන්තලා මෙසේ පවසයි. සකුන්තලා, ඔහොම ඉන්ඩ ටිකක්. කේසර ගහ ළඟ ඉන්න කොට ඔයා හරියට ඒ ගහ වැලඳගෙන ඉන්න වැලක් වගෙයි. අනසූයා ද සකුන්තලා ගෙන් මෙසේ ප්‍රශ්න කරයි. සකුන්තලා, මෙන්න මී අඹ ගහේ එතුණු, ඔයා වනජ්‍යොත්ස්නා කියලා නම තියාපු, සමන්වැල. ඒක අමතක වුණා නේ ද? ඊට සකුන්තලා දෙන පිළිතුර මෙයයි. එහෙම නම් මට මාවත් අමතක වෙයි. එවිට අනසූයා අමතන ප්‍රියංවදා මෙසේ පවසයි. අනසූයා ඔයා දන්නව ද සකුන්තලා ඕනෑවට වැඩිය වන ජ්‍යොත්ස්නා වැල දිහා බලාගෙන ඉන්නෙ මොකද කියලා?....ඔය වනජ්‍යොත්ස්නා වැලට වැලඳ ගන්ඩ සුදුසු ගහක් ලැබුණ වාගෙ මටත් ගැළපෙන ස්වාමියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

සකුන්තලා අසපුවෙන් වෙන්වී යෑමට දුකින් සිටියදී ප්‍රියංවදා ඇයට මෙසේ පවසයි. තපෝ වනයෙන් වෙන්වීම ගැන හිතේ අමාරුවෙන් ඉන්නෙ මිතුරිය පමණක් නෙමෙයි. ඔබෙන් වෙන් වෙන්ට යන තපෝ වනයටත් ඒ වගෙම අමාරු අවස්ථාවක් පැමිණිලා වාගෙයි මට පෙනෙන්නෙ.සකුන්තලා කසුප් ඉසිවරයා අමතා මෙසේ පවසයි. පියාණෙනි, මගේ ලිය සොහොයුරිය වූ වනජ්‍යොත්ස්නා වැලටත් ආයුබෝවන් කියන්ඩ ඕනෑ. එවිට කසුප් ඉසිවරයා මෙසේ පවසයි. මම දන්නවා සහෝදරියකට වාගෙ ඒකට තියෙන ආදරය. සකුන්තලා වැල ළඟට ගොස් එය වැලඳගෙන මෙසේ කියයි. වනජ්‍යොත්ස්නා, මී අඹ ගහක් වැලඳගෙන හිටියත් පිටතට විහිදුණු අතු නමැති ඔය අත්වලින් මාව වැලඳගන්ඩ. අද පටන් මට ඔයාගෙන් ඈත්වෙන්ඩ වෙනවා. හිමාලය කඳු පාමුල වනයක් මැද පිහිටි අසපුවක ඇති දැඩි වුණු මේ තරුණියන් තිදෙනා ගස්වැල්වලට සහෝදරත්වයෙන් සැලකූ අයුරු මින් අනාවරණය වේ.

ගස්වැල්වලට පමණක් නොව වන සතුන් කෙරෙහි ද ඔවුන් දැක්වූයේ ඉමහත් ළැදිකමකි. දුෂ්‍යන්ත විසින් සකුන්තලා හඳුන්වන ලද්දේ පෙම් රස ගැන කිසිත් නොදැන - මුව පොව්වන් සමඟ වැඩුණ කෙනකු ලෙසිනි. අසපුවෙන් පිටවී යාමට පෙරාතුව සකුන්තලා තමා ඇති දැඩි කළ පියාගෙන් මෙබඳු ඉල්ලීමක් කරයි. පියතුමනි, ගැබ්බරින් අමාරුවෙන් වගෙ ඉන්න, අසපුව අවට හැසිරෙන මේ මුවැත්තියට ආපදාවක් නැතුව පැටිය හම්බ වුණහම ඒ ප්‍රීතිදායක ආරංචිය කවුරුහරි අත මට දන්වලා එවන්ඩ.ඊට පිළිතුරු වශයෙන් කසුප් පියතුමා කියා සිටිනුයේ ඒක අපි අමතක කරන්නෙ නැහැ යනුවෙනි. මෙවිට මුවදෙන සකුන්තලා ගේ ගමන වැළැක්වීමට මෙන් ඇගේ ඇඳුමෙන් අදින්නට වෙයි. සකුන්තලා මුවදෙන අමතා මෙසේ කියයි. හෝ, කවුද මේ මගේ ඇඳුමෙන් අදිනවා වාගෙ දැනෙන්නෙ?.... උඹලා එක්ක ඉන්නෙ නැතුව දාලා යන මා පස්සෙ මොකට එනව ද දරුවා? ඉපදුණු හැටියෙම වාගෙ අම්මගෙන් වෙන්වුණු උඹ ව මම ඇති දැඩි කළා. දැනුත් මගෙන් වෙන් වෙන උඹ ව පියතුමා බලා - කියා ගනියි. නවතින්ඩ.

භාරතීය මහාකවි කාලිදාස ගේ ශාකුන්තලය පුරාතන ලෝකයේ රචිත අති විශිෂ්ට නාටකයකි. එය අපූරු චරිත නිරූපණයකින් ද සුවිශේෂ නාට්‍ය රසයකින් ද අනූනයි. ඊට අමතරව එය වෙනත් අරමුණුවලින් ද යුක්තයි. එනම් ස්ත්‍රිය ඉමහත් ගෞරවයකින් ද ගස්කොළන් හා වනසතුන් සහෝදරත්වයකින් ද සැලකීමේ අවශ්‍යතාවයි. කරුණු මෙසේ හෙයින් ස්ත්‍රිය විවිධ හිරිහැර වදහිංසාවලට භාජන වන වර්තමාන අවධියෙහි ස්ත්‍රිය ඉමහත් ගෞරවයෙන් සැලකීමේ වැදගත්කමත් පරිසර විනාසය බහුල ව සිදුවන වත්මන් අවධියෙහි ගස්කොළන් හා වනසතුන් සහෝදරත්වයෙන් සැලකීමේ වැදගත්කමත් කියාපාන සකුන්තලා නාටකය ලොව කවර රටකට වුව ද අතිශයින් අර්ථවත් අගනා සාහිත්‍ය කෘතියක් බව අපූරු නිර්මාණයක් බව අවසාන වශයෙන් කිව මනාය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »