හිතේ දුක මකාලූ ළෙන්ගතු හිතවතා

2015-12-28 09:15:00       829
feature-top
 උදාර නිවසට ඇතුළු වූයේ කලබලයෙනි. ආකර්ෂා... ආකර්ෂා... උදාරගේ හඬ සාලය පුරා පැතිර ගියේ දෝංකාර නංවමිනි. කාමරයේ යහන මත ඇලවී සිටි ආකර්ෂා පොරවාගෙන සිටි පොරෝනය පසෙකට දමා හනිහනිකට නැගිට්ටාය. ඇය කාමරයේ සිට සාලය වෙත ගමන් කරන විට උදාර සෝෆාවේ වාඩි වී සිටියේ ගෙලට සිරවී තිබූ ටයිපටිය ලිහිල් කරමිනි. එවිට දැඩි සුසුමක් හෙළු ඔහු මොහොතක් කල්පනාබරිත වූවේය.

 

 
ඇයි ඔයාට මොකක් හරි ප‍්‍රශ්නයක්ද?


හ්ම්.... පොඩි ප‍්‍රශ්නයක්.


මොකද්ද ඔය තරමට තියෙන ප‍්‍රශ්න?


ආකර්ෂා උදාරගෙන් ඇසුවේ කුතුහලයකින් යුතුවය.


මට හදිසියෙම රට යන්න වෙලා. අද තමයි දැන්වුවෙ.


ඔහුගේ මෙම හදිසි විදෙස් ගමන ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූවකි.


ඉතින් ඔයා ඒ ගැන කලින් කිව්වා නේද?


ඔව්... කලින් යන්න තිබුණු ගමන කැන්සල් වුණානේ. දැන් ප්‍රොජෙක්ට් කීපයකටම යන්න වෙලා තියෙන්නෙ.


උදාර සිටින්නේ දෙලොවක් අතර බව ආකර්ෂාට වැටහී ගියේ ඔහු ඒ ගැන වැඩිපුර කල්පනා කරන්නට වූ නිසාය. ඇය ඔහුව සනසවන්නට උත්සාහ දරන්නට වූයේ එබැවිනි.


කොච්චර කාලයක් ඉන්න වෙයිද කියලා දන්නෙ නෑ.  ඕවගෙ ගියාම වැඩත් වැඩියිනෙ. උදාර එසේ පැවසුවේ ආකර්ෂා දෙස බලමින්ය.


ඔයා ඒ ගැන හිතන්න එපා. මට අපේ අම්මත් එක්ක ඉන්න පුළුවන්නෙ.


ආකර්ෂා එසේ කියමින් උදාර අසලට විත් වාඩිවූවාය. ඇය දෙස මොහොතක් බැලූ උදාර ඇගේ බඳවටා අතක් යවමින් තුරුලූ කරගත්තේ දැඩි සෙනෙහසකිනි.
ආකර්ෂා උදාරට කැමති වූයේ ඔහුගේ කඩවසම් බව නිසාය. ඔවුන්ගේ විවාහය සිදුවූයේ පෙම් සබඳතාවකිනි. ඒ පේ‍්‍රමයේ ආරම්භය සිදුවූයේ සරසවි අවධියේය. ඔහු ආකර්ෂා සමඟ පෙම් කරන්නට පෙර විශ්වවිද්‍යාලයේම සිටි වෙනත් යුවතියකට පෙම් කරන්නට පටන්ගෙන තිබිණි. එහෙත් ඇයගේ ගතිගුණ නොරිස්සූ හෙයින් ඇගේ මිතුරිය වන ආකර්ෂාට පෙම් බැන්දේ ඉන් පසුවය. උදාර ආකර්ෂා සමඟ ළෙංගතු වූයේ ඔහුගේ පෙර තිබූ පේ‍්‍රමයට ආකර්ෂා බෙහෙවින්ම උදව් කළ නිසාය. ඒ පෙම් කරන අතරතුරදීද ඔහු ආකර්ෂා දෙස බැලූවේ දැඩි ළෙංගතුකමකිනි. ඔහු සැබෑවටම ගතකළේ සෙල්ලක්කාර ජීවිතයකි.


දුඹුරු පැහැ ගත් ආකර්ෂාගේ ආකර්ෂණීය නෙත් සඟලටත් ඇගේ සිහින් සිරුරටත් උදාර වඩාත් ඇළුම් කරන්නට විය. ඊට අමතරවද ඔහුට සරසවියේ පේ‍්‍රම සබඳතා කිහිපයක්ම තිබිණි. ඒ මිහිරි හැඟුම් පිළිබඳ මතකයන් උදාරගේ සිතට ගලා එන්නට වූයේ ඒ මොහොතේය.


ඔයා ගිහින් වොෂ් එකක් දාගන්න. මම තේ එකක් හදාගෙන එන්නම්.


ආකර්ෂාගේ හඬ සාලයේ පැතිරෙන්නට වූයේ ඒ මොහොතේ දැඩි නිශ්ශබ්දතාවක් තිබූ හෙයිනි. පසුවදා කාර්යාලයට ගිය උදාර සිය පුටුව මත වාඩිවී කල්පනාවේ නිමග්න වූවේය.


සර්.... ඇයි මේ දුකින්?


අමායා පැමිණ එලෙස පැවසීමෙන් පසු ඔහුගේ කල්පනා ලෝකය බිඳ වැටෙන්නට විය. උදාර එවිට අමායා දෙසට නෙත් හෙළීය. තම අතෙහි තිබූ ලිපිගොනු තොගය උදාරගේ මේසය මත තැබූ අමායා ඔහුගේ ආසනයට ඉදිරියෙන් තිබූ ආසනයක වාඩිවූයේ ඔහු හා දොඩමළු වීමේ අදිටනිනි. උදාර කිසිවක් නොපවසාම සිටින විට අමායාට ඇතිවූයේ කනගාටුවකි.


ඇය ඔහු ළඟටම වී උදව් උපකාර කිරීම ඔහුට ගෙනදුන්නේ මහත් අස්වැසිල්ලකි. අමායා සේවය කළේ උදාරගේ පෞද්ගලික ලේකම් වශයෙනි. ඔවුන් දෙදෙනා අතර ආදර සබඳතාවක් හටගත්තේ අමායා කාර්යාලයට පැමිණ මසක් පමණ ගතවීමෙන් පසුය. ඔවුන්ගේ මෙම සමීප සබඳතාව බොහෝ දෙනෙක් දැන සිටියහ. ඔවුන් කාර්යාල වේලාවේදීද ආදරය කළේ හැංඟි හොරා හෝටල්කාමරවල ලැඟුම් ගනිමිනි.


එහෙත් උදාර ආකර්ෂාට කිසිදු දෙයකින් අඩු පාඩුවක් කළේ නැත. ඈට අවශ්‍ය සියලූ දේම ඉටුකර දුන්නේ නොපැකිළවය. ඇයට තිබූ ආදරයේද බිඳුවක හෝ අඩුවක් නොතිබිණි. උදාර විදෙස්ගත වන දිනයද උදාවූයේ ඔවුන්ටත් නොදැනීමය. ඒ වන විට ආකර්ෂාගේ මවද නිවසට පැමිණ සිටියේ ඇගේ තනි නොතනියටය.


පුතා.... ගෙනියන්න  ඕන බඩු ටික ලෑස්ති කරගත්තද?


ආකර්ෂාගේ මව එසේ පැවසූ විට උදාර සිටියේ හැඳ සිටි කමිසයේ බොත්තම් දමමිනි.


ගෙනියන්න කියලා විශේෂ දෙයක් නෑ අම්මෙ. ඇඳුම් ටිකක් තමයි ගෙනියන්නෙ. දැන් මට හොස්පිට්ල් එකට යන්න  ඕන. මගෙ යාළුවෙක් අසනීප වෙලා...
ඔහු මවට පැවසූවේ මුසාවකි. එදා උදේ උදාර ගියේ මිතුරකු බැලීමට නොව අමායා සමඟ හෝටල් කාමරයක තනිවී පෙම් සුව විඳීමටය. ඔහු එනතුරු ඇය මඟබලා සිටියාය. ඇයව වාහනයට නංවාගත් ඔහු පවනට බදු වේගයෙන් ගියේ ඔවුන් නිතරම යන එන හෝටලයටය. උදාර ටික කලකට විදෙස් ගත වීම අමායාට ගෙනදුන්නේ මහත් වේදනාවකි. ඇගේ නෙතඟ බැල්මෙන් ඔද වැඩුණු උදාර ඇගේ අතින් අල්ලා ගත්තේය. ඇයත් ඔහුගේ අත තදකොට අල්ලා ගත්තේ පපුවට තුරුලූ වෙමිනි. උදාර එදින පිටරට යාම සඳහා පිටත්වූයේ රාත‍්‍රී 12ට පමණය. ඔහුගේ මිතුරකු වූ සහන් සිය මෝටර් රථයෙන් තම මිත‍්‍රයා ඇරලීමට පැමිණ සිටියේය.


ඔහු විදෙස්ගත වූවාට පසු ආකර්ෂාට දැනුණේ තනිකමකි. පාළුවකි. තම සැමියාගෙන් වෙන්ව සිටීම ඇයට අපහසුය. ඔහු ගියදිනට පසුවදා සිට ඇය හා දුරකථනයෙන් සහ අන්තර්ජාලයෙන් වේලාවක් ලැබුණු විගස කතාබහ කළ නිසා ඇගේ දුක කෙමෙන් පහව ගොස් තිබිණි. උදාර ආකර්ෂා සමඟ විවාහ වී අවුරුදු 4ක් පමණ ගතවූවද ඔවුන්ට දරු පල නොතිබිණි. ඒ වෙනුවෙන් ඔවුන් ප‍්‍රසිද්ධ පූජනීය ස්ථානවලට ගොස් බාර හාර යාතිකා කළද පලක් නොවුණි. උදාර අමායාට සමීපවීමට ඒ හේතුවද දැඩිව බලපාන්න ඇතැයි උදාර සිතන්නට විය. ආකර්ෂාට වඩා දැඩි සමීප බවක් අමායා තුළ තිබිණි. ඔහු ඇය හා කතා බහ කළේ ඉතා ආශාවෙනි.


උදාර විවාහකයෙකු බව අමායා දනී. එහෙත් ඇය ඔහුට ආදරය කරන්නට වූවාය. උදාර කඩවසම්ය. මිල මුදල්වලින් ආඪ්‍යය. අමායාට එතරම් මිල මුදල් නොමැත. ඒ නිසා ඈ ඔහුට වඩ වඩාත් පෙම් කරන්නට වූයේ ඒ නිසාය. උදාර ඇයට අත දිගහැර වියදම් කළේය. ඇය හා රිසි සේ විනෝද වූවේය. ආකර්ෂා අමායා පිළිබඳ කිසිවක්ම දැන සිටියේ නැත. උදාර නැවතත් දිවයිනට පැමිණියේ අවුරුදු එකහමාරකට පමණ පසුය. කලකට පසු තම සැමියා දුටු ආකර්ෂාට ඇති වූයේ නිම්හිමි නැති සතුටකි. ඇය වහා ගොස් ඔහුව වැලඳගත්තේ ඉහවහා ගිය සතුට දෙගුණ තෙගුණ වූ නිසාය.


ඔයා නැතිව කොයිතරම් දුකකින්ද මම හිටියෙ.


ආකර්ෂා කීවේ ඔහුට තුරුලූ වෙමිනි. එහෙත් ඔහු වෙනදාමෙන් ඇයට ළෙන්ගතුකම් පෑවේ නැත.


ඊට දින කිහිපයකට පසුව තම සැමියා කාර්යාලයේ ගැහැනු ළමයෙකු සමඟ හෝටලයකට නිතරම යන එන බව ආකර්ෂාගේ ළඟම මිතුරකු වන රුවන්ග දැක තිබිණි. ඔහු ඒ පිළිබඳ ඇයට දන්වා සිටියේ තව දුරටත් ඒ පිළිබඳ සඟවා තැබීම නුසුදුසු නිසාය. රුවන්ගගේ කීම් ඇය මුලදී බැහැර කළද පසුව විශ්වාස කරන්නට වූයේ සාක්ෂිත් සමඟම සියල්ල දුටු පසුවය. එය දුටු විට ආකර්ෂා මොහොතකට ගල් ගැසුණේ අදහාගත නොහැකිවය. ජීවිතේ සියලූම බලාපොරොත්තු සුන් වූවා සේ දැනෙන්නට විය. එමඟින් දැඩි කම්පනයට පත් වූ ඇයගේ වේගයෙන් ගැහෙන හදවතට අත තබාගෙන ඇය සෝ සුසුම් හෙළන්නට වූවාය.


රුවන්ග ඇයව සනසවන්නට මහත් උත්සාහයක් දැරීය. එහෙත් පලක් නොවුණි. ඇය රුවන්ගගේ පපුවෙහි හිස හොවා විඳි වේදනාවන් පහව යනතෙක් හඬන්නට වූයේ සිදු වූ සියල්ල දරාගත නොහැකිවය. සිදුවූ සියල්ල සැබෑවක් බව පිළිගන්නට අකමැති වූවත් සැබෑව එය විය. ඔහු මෙවැනි දෙයක් කරතියි ඇය කිසිසේත්ම නොසිතුවාය. කටුක සත්‍යය දැනෙන්නට පටන්ගත්තේ එවිටය. සියලූ වැරදි සිදුව තිබුණේ නිවැරදි කළ නොහැකි අයුරිනි. සිතේ දුක පහව යනතෙක් ඔහුට බැණ වදින්නට තරම් ආවේගයක් ආකර්ෂාගේ සිතට දැනිණි. එහෙත් එය පලක් නොවන බව අවබෝධ වන්නට වූයේ සිතෙහි වූ කේන්තිය ටිකෙන් ටික පහව යද්දීය.


තහනම් ගහේ ගෙඩි කෑම වරදක් බව හැඟුණද උදාර එය නොතැකුවේ අමායා අමතක කිරීමට නොහැකි නිසාය. අමායාගේ ස්පර්ශයෙන් ඔහුගේ සිත මුසපත් වී තිබිණි. ඔහු සුවඳ වහනය වන මලකට ඇදී යන බඹරෙක් මෙන් ඇය පසුපස හඹා යන්නට විය.


ආකර්ෂාට මේ සියලූම දේ ආරංචි වීමත් සමඟ උදාර සිටියේ දැඩි සිත් පීඩාවකිනි. ටික දිනකට ඔහු නිවසට ගියේද නැත. ඉන් ටික දිනකට පසුවම ඔහු නැවතත් විදෙස්ගත විය. ඒ ගියේ අමායාත් සමඟමය. ඒ ගොස් සති දෙකකට පමණ පසුව උදාර වෙත මරුවා පැමිණ සිටියේ සිතන්නටවත් නොහැකි ලෙසටය.


එහිදී ඔවුන් ගමන් කළ වාහනය වෙනත් වාහනයක ගැටිණි. අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ උදාර සහ අමායා රෝහල් ගත කෙරුණත් උදාරට ජීවත්වීමට වරම් ලැබුණේ නැත. අමායා තදබල ලෙස තුවාල ලැබුවද ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබිණි.


තම සැමියා හදිසියේ මිය ගිය බව ඇසූ විට ආකර්ෂාගේ හද ශෝකයෙන් ගිනිගෙන දැවෙන්නට විය. එහෙත් ඔහු අමායා සමඟ එහි ගිය බව දැනගත් පසු ඒ දුක ටිකක් හෝ පහව ගියද හදවත වෙනදාට වඩා ස්පන්දනය වනවා මෙන් දැනිණි. උදාරගේ නිසල දේහය ලංකාවට එවා තිබුණි. ආකර්ෂාගේ පවුලේ උදවිය උදාරගේ අවමංගල්‍ය කටයුතු ඉටු කළේ කිසිදු අඩුපාඩුවකින් තොරවය.


ඒ සියලූදේටම ආකර්ෂා ළඟම සිටිමින් උදව් උපකාර කළේ රුවන්ගය. ඇයට වුණු විපත පිළිබඳව රුවන්ගට ඇතිවූයේ දැඩි කනගාටුවකි. දිගු ජීවත ගමනේ කෙටි කාලයකට ආලෝකය දුන් පහන්සිලක් මෙන් සිටින රුවන්ගගේ සමීප වීම ඇයට මහමෙරක් තරම් විය. ඇයගේ ඉදිරි ජීවන යාත‍්‍රාව පදවන්නට ඒ එළිය මහත් අස්වැසිල්ලක් විය. කාලය එලෙසට ගතවීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ සමීප වීම ආදරයක් බවට පත්විය. අනතුරුව ඔවුන් දෙදෙනාට දෙදෙනා නැතිව බැරි තරමට ළංවූයේ ඔවුන්ටත් නොදැනීමය.


ආකර්ෂාගේ සිතෙහි පැලපදියම් වූ වේදනාවෙන් ගැලවෙන්නට නම් එකම පිහිට රුවන්ග යැයි ඇයට සිතුණේ උදාරගේ සමුගැනීමෙන් පසුය. උදාර නැති ජීවිතයක් පිළිබඳ සිතන්නටවත් නොහැකිව සිටි ඇය රුවන්ගට ළංවූයේ ජීවිතයේ අසරණ බවක් දැනුණු බැවිනි.


උදාර ජීවත්ව සිටි කාලයේදී ආකර්ෂාට කොයි තරම් දුක් ගින්නක් ලබා දුන්නත් ඇය ඒ සියල්ල ඉවසා සිටියේ ඔහුට තිබූ අවංක ආදරය නිසාය. ඔහු හැර අන්කිසි කෙනෙකු පිළිබඳව සිතන්නට ඇය කිසිවිටෙක උත්සාහ දැරුවේ නැත. ඇයගේ මුළු ලෝකයම වූයේ උදාරය. ඔහු නොමැතිව ගෙවන ජීවිතයක් පිළිබඳ සිතන්නටවත් ඇයට නොහැකි විය.


එහෙත් නෙත් රිදෙනතුරු බලා සිටියද ඒ රුව යළි නෙත ගැටෙන්නේ නැත. හඬ ඇසෙන්නේද නැත. ඇය ඔහුට කෙතරම් ආදරය කළද ඔහු ඇයව රවටා අමායාට ආදරය කළා යැයි සිතෙන විට ඇය රුවන්ගට ආදරය කිරීම වරදක් යැයි සිතුවේ නැත.


ඇයට අවැසි වූයේ අතීතය අමතක කොට ජීවිතය අලූතින් ආරම්භ කිරීමය. එහෙත් ආකර්ෂා රුවන්ග නීත්‍යානුකූලව විවාහ කර ගත්තේ නැත. ඇය උදාරගේ මාසික වැටුප සහ ඔහුගේ සියලූ වරප‍්‍රසාද ලබාගනිමින් රුවන්ග සමඟ තිබූ සම්බන්ධතාවද පවත්වාගෙන යමින් ලොවට හොරා අඹුxසැමියන් සේ ජීවත් වූවාය.


යම් හෝ අපරාධයක් කළ අයෙකු නීතියෙන් දඬුවම් නොලැබුවද තම සිත ඉදිරියේ සදාකාලිවම දඬුවම් ලබන්නේ ස්වභාව ධර්මයේ නියමයක් ලෙසිනි. කාගෙන් ගැලවුණද හෘදය සාක්ෂියෙන් ගැලවීමට බැරි බව නියතයක් වන නිසා අපරාධකරුවකු සදාකාලිකවම සිතෙන් විඳවීම වැළැක්විය නොහැකිය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »