පිපුණු දාම පරවුණු මල් කැකුළ

2015-12-27 10:45:00       827
feature-top
ලෝකය හරිම සුන්දරයි කියලා හිතන අපට මේ ඉර හඳ යට සිදුවන අසුන්දර දේවල් ජීවිතවල ලියවෙන්නේ හරි පුදුමාකාර විදිහට. ඒ වගේමයි අමතක නොවන මතකයක් අපි හැමෝගෙම ජීවිතවල ඉතිරි වෙලා තියෙනවා. ඒ මතකය සුන්දර වෙන්න පුළුවන් ඒත් ඒ දේවල් අසුන්දර වෙන්න ගත වෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් තත්පර ගණනක්.

ලෝචනා කියන්නෙත් සුන්දරව ගෙවුණු ජීවිතයක අසුන්දර සිදුවීම් ගණනාවක් එක්ක ලියැවුණු චරිතයක්. ලෝචනා මට මුණගැහෙන්නේ ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් ළමා නිවාසයකින්. ඇය කවුරුන්ද? ඇය කොහේද? කියන දෙයට වඩා ඇය මේ තත්ත්වයට පත් වූයේ කෙසේද කියන කාරණය එක්ක මම ඇය සමඟ කථාකරන්න හිතුවා.


මා හට එකවරම ඇගේ ජීවිතයට එබිකම් කරන්නට අයිතියක් නැහැ. මන්ද ඇය ජීවත් වෙන්නේ යම් යම් හේතු කාරණා මත සමාජයෙන් කොන් වෙච්ච දරු පිරිසක් අතර ඉන්න එක් දරුවෙක් විදිහට. පුංචි දරුවො ඇයි මේ තරම් ළමා නිවාසවල. දරුවෝ මේ විදිහට සමාජයෙන් කොන් වෙන්නේ ඇයි? වරද කොතැනද වගකිව යුත්තෝ කවුරුන්ද කියන කාරණය අපට එක දවසකින්, පත්තර පිටුවක කොටුවෙලා කථා කරන්න බැහැ. එහෙත් මේ දරුවන් බහුතරයකගේ ජීවිත ගතහොත් ඒ දරුවන් මේ අගාධයට වැටෙන්නේ තමන්ගේ නිවසින්මයි. වගකිව යුත්තන් මව්පියන් කියන කාරණ පැහැදිලි වුණත් අවසානයේ මේ දරුවන්ට ඉතිරි වෙන්නේ බිත්ති හතරකට මැදි වෙලා තනියම අලූත් ජීවිතයක් සොයන්න සටන් කරන්න.


මේ හැම දරුවෙක් තුළම කාටවත් නොකිවූ කඳුළු කථාවක හැංගිච්ච රහසක් තියෙනවා. මේ කාරණාවත් එක්ක ලෝචනාගේ අවනඩුව අහන්න මම සූදානම් වුණා.


ලෝචනා කියන්නේ කළුතර ප‍්‍රදේශයේ ජීවත් වුණු මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය. ලෝචනාගේ පියා (සෙනෙවිරත්න) වෘත්තියෙන් වැවිලිකරුවෙක්. ලෝචනාගේ අම්මා පයාගල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවිකාවක විදිහට රැුකියාවේ නියැළෙමින් ජීවිතය ගැට ගසාගන්නට සෙනෙවිරත්නට ලොකු සවියක් දුන්නා. මේ පුංචි පවුලේ කුළුඳුල් දරුපැටියා විදිහට මෙලොව එළිය දුටු ලෝචනා මේ කැදැල්ලට ආලෝකයක් ගෙනාවා.
ජීවිත හරිම පුදුමාකාරයි. ලෝචනාගේ ඉපදීමත් එක්ක සෙනෙවිරත්න, ලෝචනාගේ මවත් සමඟ නිතර නිතර අඬදබර ඇතිවුණා. මව්පියන්ට දරුවෙක් කියන්නේ ජීවිතේ මිල කරන්න බැරි වටිනාම වස්තුවක්. ඒත් සෙනෙවිරත්න හැසිරුණේ පියෙකුගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.


මම දන්නේ නැහැ මම මේ කියන කථාවේ කොයිතරම් දුරට සත්‍යතාවක් තියෙනවද කියලා. මම ඉපදුණාට පස්සේ ගෙදර ගොඩක් කරදර ඇති වුණාලූ. අම්මටයි, තාත්තටයි දෙන්නට දෙන්නා රුස්සන්නේ නැතුව ගියාලූ. මට මතක ඇති කාලෙකවත් තාත්තා මාව වඩාගෙන හුරතල් කරලා නැහැ. පස්සේ පස්සේ ගෙදර ප‍්‍රශ්න නිසාම තාත්තා කොළඹ රැුකියාවකට ගියා. ගෙදර ජීවත් වුණේ අම්මයි මමයි විතරයි. මගේ අම්මා කියලා තියෙනවා විවිධ ජ්‍යොතිෂවේදින් කියලා තියෙනවලූ මගෙන් තාත්තට ගොඩක් අපලයි කියලා. ගෙදර රණ්ඩු ඇතිවෙන්න ප‍්‍රධාන හේතුව මම කියලා තමයි අම්මගේ විශ්වාසය වුණේ.


දෙවියනේ...! මොන අම්මටද, තාත්තටද පුළුවන් තමන්ගේ ලෙයින් ජාතක වුණ තමන්ගේ කුසින් වදාපු දරුවාගෙන් අපලයි කියන්න. මෙවැනි සිදුවීම් මේ සමාජයේ සිදුවෙනවා. මෙය ප‍්‍රථම සිදුවීමයි කියලා මම කියන්නේ නැහැ. මෙවැනි සිදුවීම් අපට අහන්නට දකින්නට ලැබෙන අවස්ථා අනන්තයි, අප‍්‍රමාණයි. එහෙත් මේ සිදුවීම්වල සත්‍යතාවයක් සමාජය ඉදිරියේ තබනවා හැරෙන්නට කළ යුක්තක් නැහැ. හැමදේම රඳා පවතින්නේ හිතේ විශ්වාසය මතම පමණක්ද කියන කාරණය සිතන්නට ඔබට බාරයි.


තාත්තා කොළඹ රැකියාවට ගියාට පස්සේ තාත්තා ගෙදර ආවේ මාසෙකට දවස් දෙකක් වගේ. අම්මත් ගාමන්ට් එකේ වැඩට ගියා. මේ නිසා ආර්ථික අතින් ලොකු ගැටලූ තිබුණේ නැහැ. ඔය අතරතුරෙදි අම්මට නංගි ලැබෙන්න හිටියා. එතකොට මම හය වසරේ ඉගෙන ගත්තේ. හය වසරේ අන්තිම හරියෙදි මම වැඩිවියට පත්වුණා. මම ඒ දේවල් ගැන කිසිම දෙයක් ගැන දැනන් හිටියේ නැහැ. අම්මා උදේට වැඩට ගියාහම ගෙදර එන්නේ හවසට. ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් මම තනියම තමයි හිටියේ. මම වැඩිවියට පත් වෙලා දන්නේ නැතුව දවස් දෙකකට පස්සේ තමයි අම්මා දැනගත්තේ. එතකොට අම්මට නංගියව හම්බවෙන්න දින කිට්ටුව හිටියේ. ඒත් මම වෙනුවෙන් පුංචි උත්සවයක් ගත්තා. අපේ ගෙදර සම්පූර්ණයෙන්ම හදපු ගෙයක් නෙමෙයි.

ජනෙල්වලට ඉටිකොළ ගහලා තමයි තිබුණේ එදා උත්සවයේ දවසේ ? මාගේ පාටියට ගොඩක් කට්ටිය ආවා. තාත්තාගේ යාළුවෝ එහෙම හොඳටම බීලා හිටියේ. මට ඇෙඟ් මහන්සියට තාත්තගේ ඇඳේ නින්ද ගියා. එදා ? බීලා හිටපු තාත්තාගේ යාළුවෙක් මම ඉඳපු කාමරේට ඇවිල්ලා මට කරදර කළා.
ලෝචනා වැඩිවියට පත්වෙන්නේ නියම වයසට වඩා ගොඩක් අඩු වයසකින්. අවුරුදු දහයක් තරම් පුංචි වයසක ලෝචනා හිටියේ. එම ක‍්‍රියාවලිය තේරුම් කර ගැනීමට තරම් මුහුකුරා ගිය වයසක නෙවෙයි. මේ නිසාම වැඩිවියට පත්වුවත් මවට එය දැනුම් දීමට තරම් ඇයට දැනුමක් තිබුණේ නැහැ. ඒ වෙනකොට ලෝචනාගේ අම්මා දෙවැනි දරු ප‍්‍රසූතියට දින ගනිමිනුයි සිටියේ. හරි අඩක් නිමකර ඇති නිවසේ පුංචි එකීට හොඳ ආරක්‍ෂාවක් මේ නිවස තුළින් ලැබෙනවාද කියන දේ පිළිබඳ ලෝචනාගේ මව එතරම් තැකීමක් කළේ නැහැ. මන්ද සිය මව නොමැති බොහෝ අවස්ථාවල ඇය නිවස තුළ තනිව ගත කරන කාලය සුලබ නිසා. ඒත්...... අවාසනාවක මහත ඇයගේ වැඩිවියට පත්වීමේ උත්සව දිනයේ රාත‍්‍රියේදීම පියාගේ මිතුරෙකු අතින් ඇය අතවරයට පත් වෙන්නේ මව්පියන් නිවස තුළ සිටියදීමයි. ඇෙඟ් තෙහෙට්ටුවට පුංචි ඇස් දෙක පියවුණේ ඉබේටම. මදුවිතින් මත් වෙච්ච සෙනෙවිරත්නගේ හොඳම මිතුරා සුමිත් කාමරේට සේන්දු වුණේ නිවසට යාමට තරම් සිහියක් පතක් නොතිබුණු නිසා. රෝස පාට මල් ගවුමෙන් සැරසිච්ච පුංචි ලෝචනාව දැකපු සුමිත් තිරිසන් ආශාවන් සංසිඳුවා ගන්න තරම් නරුමයෙක් වුණා. තද නින්දේ ඉඳපු ලෝචනාට මේ සිදුවන්නේ කුමක්ද යන්න දැනුම් තේරුමක් තිබුණේ නැහැ. සුමිත් ලෝචනාව බිය වද්දලා තිරිසන් ආශාවන් ඉෂ්ට කරගත්තා. එම සිදුවීම්වල අවසානයක් තිබුණේ නැහැ. ඇය බියට සියල්ල සැමගෙන්ම සඟවන්න උත්සාහ කළා. ලෝචනා වැඩිවියට පත්වෙලා හරියටම ගතවුණේ සති කිහිපයයි. ලෝචනාගේ අම්මා දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගතවෙද්දි ලෝචනාව සෙනෙවිරත්නට බාර කරලා ඇය රෝහල් ගතවුණා. ලෝචනාට අවුරුදු දහයක් වුණත් ඇය දැන් වැඩිවියට පත්වුණ දැරියක් කියන දේ ලෝචනාගේ මවට විශේෂයක් වුණේ නැහැ. කොටින්ම ලෝචනාගේ ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා ඇය සිතුවා නම් අද ලෝචනා මේ බිත්ති හතරට කොටුවෙලා ගින්දර ගොඩක් මැද්දේ ජීවත් වෙන්නේ නැහැ.


ලෝචනාගේ මව දරු ප‍්‍රසූතියට රෝහල් ගත වුණ දිනයේ රාත‍්‍රියේ සෙනෙවිරත්න සුමිත් ඇතුළු කිහිප දෙනෙකු සමඟ පුංචි සාදයක් දැම්මේ අලූත උපන් බිලිඳිය ගැන සෙනෙවිරත්නගේ සිතේ උපන් උතුරා ගිය සතුටත් සමඟ. පිය පදවිය සෙනෙවිරත්න වැනි අයට සුදුසුද කියන කාරණය සිතන්න ඔබට බාරයි. ඒ රාත‍්‍රියේදිත් ලෝචනාට සුමිත්ගේ දරදඬු දෑතට සිර වෙන්න සිදු වුණා. පුංචි ඇස්වලින් කඩා හැළෙන කඳුළු කැට බිමට ඇද වැටුණේ මුළු මහපොළවටම සාප කරමින්. දින ගණනාවක්ම මේ අයුරින් ලෝචනා ලිංගික අතවරයට ලක් වුණා. ග‍්‍රහණයට යොමු කරගන්නා සෑම දිනකම සුමිත් ලෝචනාට මරණ තර්ජනය කරමින් බිය වැද්දුවා. මරණ බියටම ඇය කිසිවක් කිසිවෙකුටත් පැවසීමට බිය වුණා. තවද සුමිත් ලෝචනා ග‍්‍රහණයට හසුකරගන්නා බොහෝ අවස්ථාවලදී චොක්ලට්, රස කැවිලි දී සැලසුම් සහගතව ඇයව පොළඹවා ගැනීමට සුමිත් සමත් වුණා.


පුංචි ලෝචනා මේ විදිහට වරින්වර ලිංගික අතවරයට ලක් වුණේ ඇගේ නිවස තුළදිමයි. මාස ගණනාවක් මේ සිදුවීමට ලක්වුණ ලෝචනා පාසලේ ලිංගික අධ්‍යාපන පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනදී පැවසූ බොහෝ දේවල් සමඟ පාසලේ ගුරුවරියට ඇය සියල්ල හෙළි කරනවා.


කතාව එතැනින් ඉවර නැහැ. එදා ලෝචනා ඒ දැනුම්වත් වීම තුළින් ගුරුවරියට නොපැවසුවානම් ඇය තවමත් ඒ සියල්ල සඟවාගෙන පීඩනයෙන් ජීවත් වෙනවා. වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු කළ ලෝචනා ළමා හා කාන්තා කාර්යාංශයට භාර කෙරුණේ වැඩිදුර පරීක්‍ෂණවලට. සුමිත් පොලිස් භාරයට ගැනෙද්දි ලෝචනා පරිවාස භාරයට පත්වෙනවා. ලෝචනාගේ මව සහ පියා දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ මීට වඩා සිතුවානම් මේ පුංචි මල් කැකුළ තවමත් සුන්දරයි.


ඇය දැන් අසුන්දරයි කියනවා නොවෙයි. තවමත් ඒ අහිංසක මුහුණ සුන්දරයි. එහෙත් ජීවිතේ ගැන සිතද්දි ඔබට මට නොහැෙඟන නොදැනෙන මහා කළු ගලක් ඒ හිතේ සිරවෙලා. කළු වළාවකින් ඇගේ ජීවිතය වැසිලා ගිහිල්ලා. 


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »