සැතපුම් දහස් ගණන් ගෙවා රටින් රටට යන සමනල්ලු

2015-12-10 09:56:00       828
feature-top
මේ අප රටට සංචාරක කුරුල්ලන් පැමිණෙන කාලයයි. ඈත දේශ දීපංකරවල සිට පැමිණෙන කුරුල්ලන් අපගේ කලපු ආශ්‍රිත ප්‍රදේශයන්හි ලඳු කැලෑවල ගස් මුදුන්වල වසා සිටිද්දී බලන්නට ලස්සනය. අප මෙතෙක් අසා හෝ දැක ඇත්තේ කුරුල්ලන් රටකින් රටකට පියඹා යන විත්තියකි. එහෙත් සමනල්ලු? සමනලුන් ද එක් කාලයක දී රටකින් රටකට සංක්‍රමණය වන්නේ අහස පුරා විසිරී ඇති තරුකැට මෙනි.

අප කුඩා කල කහ සහ රතු පැහැති කුඩා සමනලුන් රංචු ගැසී පේළි සැදී එකම අතකට පියඹා යද්දී උන් සිරිපා කරුණාවේ යනවායැයි කියමින් අප උන් දෙස බලා සිටි අවදියක් විය. එහෙත් එලෙස සමනලුන් රෑන් සැදී පියඹා යෑමක් මෑත කාලයකදී දුටු බවක් මතකයේ නැති තරම්ය. එසේ වුවත්, මේ සමනලුන් විශේෂය වාර්ෂිකව දේශසීමා පසුකරමින් පියඹා යන්නේ සුළු දුරක් නොවේ. සැතපුම් ගණනාවකි.

සෑම වසරකම ශීත ඍතුවේදී මේ සමනලුන් විශේෂය කැනඩාවේ සහ ඇමෙරිකාවේ සිට මෙක්සිකෝව කරා පියඹා යති. මෙතරම් සැතපුම් ගණනාවක දුරක් මේ සමනලුන් පියඹා යන්නේ කෙසේ ද යන්න සැබැවින්ම පුදුමයකි.

ඇමෙරිකානු මහාද්වීපයේ ඉතා සුලබ සමනල් විශේෂයක් වන මේ සමනලුන් සාමාන්‍යයෙන් අප රටේ ද දක්නට ලැබෙන කළු සහ තැඹිලි පැහැති සමනලුන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලය. තටු විහිදාලූ පසු ප්‍රමාණයෙන් අඟල් හතරක් පමණ දිගැති මේ සමනලුන් උන්ගේ කළු සහ තැඹිලි වර්ණය නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. ශීත කාලගුණ කාලයේදී උණුසුම් පරිසර සොයා උන් කිලෝ මීටර් 4800ක් පමණ දුරක් පියඹා යතැයි වාර්තා වේ.

මේ සමනල් විශේෂය ඇමෙරිකාවෙන් පිට වෙනත් රටවල ද දක්නට ලැබුණත් මෙලෙස සෑම වසරකදීම වෙනත් රටක් කරා දිගු දුරක් සංක්‍රමණය වන්නේ උතුරු ඇමෙරිකාවේ සිටින විශේෂය පමණි. උන්ගේ ගමන සත්ත්ව විශේෂඥයන් විසින් හඳුන්වනුයේ ලොව ඉතාමත් ආකර්ෂණීය ස්වභාවික සංසිද්ධියක් ලෙසය.

සෑම වසරකම සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයේ ආරම්භ කෙරෙන මේ සමනල් ගමන මධ්‍යම මෙක්සිකෝවෙන් අවසන් වෙනුයේ නොවැම්බර් මැද භාගයේ දීය. එසේ එන සමනල්ලු උන්ගේ ආපසු ගමන මාර්තු මාසයේ පමණ අරඹා ජුලි මාසයේදී අවසන් කරති. මෙහි විශේෂත්වය වන්නේ කිසිම සමනලයකුට මේ මුළු ගමන සම්පූර්ණයෙන්ම නිම කළ නොහැකි වීමයි.

ගමන අතරමඟදී ගැහැනු සමනල්ලු බිත්තර දමමින් සිය වර්ගයා බිහි කරති. මාස ගණනක් සැතැපුම් ගණනාවක් පුරා සමනලුන් යන මේ ගමනේදී අවම වශයෙන් පරම්පරා පහක්වත් බිහිවීම සිදු වේ. ඉන් මුළු ගමනම අවසන් කිරීමට වරම් ලබනුයේ එලෙස බිහිවන පරම්පරා අතරින් අවසන් පරම්පරාවටය.

ලෝකයේ බටහිර දෙසින් සිටින සමනල්ලු රොකී කඳුවැටියේ බටහිර කලාපයෙන් ආරම්භ කරන ගමන කැලිෆෝර්නියානු වෙරළ තීරයෙන් අවසන් කරති. මෙතරම් දීර්ඝ නොවූවත් මේ ආකාරයේම එහෙත් කෙටි සංක්‍රමණික ගමනක් ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිටින මේ වර්ගයේ සමනල්ලු ද යති.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »