ඉස්සර කඩ කෑම හා අද කඩ කෑම

2015-11-11 09:37:00       832
feature-top
හෝටල් - රෙස්ටුරන්ට්

ටේක් අවේ - කෑම කඩ

අද දවසේ කෑම කඩ බොහෝය. චීන - ජපන් - කොරියන් පමණක් නොව, ඉන්දීය කෑම කඩ ද අපමණය, නැත්තේ අපේ කෑමයි! ශ්‍රී ලාංකේය සිංහල කෑම කඩ - එළවුළු පමණක් කෑම කඩ අතරින් පතර වෙයි!

ඉතින් ඉල්ලුමට සැපයුම! හැබැයි සැපයුම තරමට ගුණාත්මක බව කොතරම් දැයි කීම අසීරුය. වෙ‍ෙළඳ පොළේ වස - විෂ කෑම - කැවීම - නහුතයකට සිදුවන බව පසුගියදා කළ වැටලීම් වාර්තාවලින් පැහැදිලිය! ඉතින් ඒ මේ රටේ ජනතාවගේ ලැබීමයි. සල්ලිත් ගෙවා එලෙස කර ගැනීමයි. දැන් කාලයේ කෑමවල වස - විෂ බව, කල් ඉකුත් වූ කෑම විකුණන බව වගේ ම, කවන බව ද දැන් දැන් පළ වන පුවත්පත් හා විද්යුත් මාධ්‍යවලින් එක පිට හෙළි වෙයි! ඉතින් කඩ කෑම කනවා කියන්නේ නිකම් ම කෑමක් නොවේ; සල්ලිත් කෑමකි.

ඉස්සර - 1965 බත් බාගයක මිල සත හැටකි. මාළු වුණත්, එළවුළු වුණත් ‍එහෙමය! ඒ අවුරුදු පනහකට පමණ පෙරය. අප විශ්වවිද්‍යාලයේ පළමු වසරේ (1965) කැන්ටිමෙන් (විශ්වවිද්‍යාල ආපන ශාලාවෙන්) මාළු පාන් ගෙඩියක් කෑවේ සත පහළොවටය; කිරි නැති කහට ‍තේ (ප්ලේන් ටී) කෝප්පයක් බීවේ සත දහයකටය. ඒ කාලයේ තිබුණේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවයි. එවකත් බඩු මිල ගැන විවිධ උද්ඝෝෂණ විය.

එවක විද්‍යාලංකාර (දැන් කැලණි) විශ්වවිද්‍යාලයට අප විටෙක ගියේ නුගේගොඩින් - බොරැල්ලට ගිහිල්ලාය. බොරැල්ලේ මැලිබන් හෝටලයෙන් විටෙක අප ඉඳි ආප්පත් - අල හොදි දීසියකුත් කෑවේ ඉතා අවම මිලකටය. මැලිබන් හෝටලය පිරිසුදු වගේ ම, ආවතේවයට හිටි වේටර් (උපස්ථායක) ජනයා ද ඉතා පිරිසුදු සුදු ඇඳුමින් සැරසී සිටියාත් මතකය. ඉතින් මැලිබන් හෝටලයේ අගය කීවාම, අපේ නුගේගොඩ ගමේ හොටල් වරුණ ද නොකියා නොබැරිය! නාවල පාරට හැරෙන තැනම වූයේ තම්බි මුදලාලිගේ හෝටලයයි. හවස් යාමයට කොල්ලෝ එතැනින් කැපූ ගෝදම්බ රොටි සමඟ මාළු බොකු හොද්ද රස නහර පිනවීය.

මේ හෝටලය 1958 ජාතිවාදී කෝලාහල කාලයේ හෝටලය උදේ විවෘත කරන්නට පෙර, අසූචි බාල්දි හලා වර්චස් කර තිබුණේ නුගේගොඩ සිංහල ජාතික ප්‍රේමීන් විසිනි. ඒත් හවස සියල්ල සෝදා පිරිසුදු කර, හෝටල් සේවාව අරඹා තිබිණ.

ඊළඟට නාවල පාරේ ටිකක් ඇතුළට වෙන්නට කොච්චි කඩේ පිහිටා තිබිණ. රොසලින් අක්කා නමැති කාන්තාවට අයිතිය තිබූ ‍ෙකාච්චි කඩේ ආපන ශාලාවේ කෑම බීම මිල වත්මන් පරපුරේ දැන ගැනීමට කිව යුතුය.

පාන් රාත්තලක් සත.25

ඉඳි ආප්පයක් සත.02

පරිප්පු දීසියක් සත.10

මාළු හොදි දීසියක් සත.15

බනිස් ගෙඩියක් සත.10

එහිම සිල්ලර කඩයේ - භූමිතෙල් බෝතලය සත. 25, සාමාන්‍ය පොල් ගෙඩියක් අවමය සත. 15, නාරම් බික් ලොසින්ජරයක් - සතයයි. කට දන සුදු ඉරි ලොසින්ජරයක් - සත දෙකයි. කේරළයේ සිට පැමිණි අයියලා - මල්ලිලා තුන්දෙනෙක් කොච්චි කඩේ පවත්වාගෙන ගියේ ඉතා පිරිසුදුවටය. සවසට කඩය ඉස්සරහ පඩි පේළිය සෝදා - කහ දියර ඉසිනු ලැබිණ. ඊට එහා පැත්තේ වූයේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකුගේ දවල් ආප්ප කඩය නම් ආපන ශාලාවයි. ඒ තේ පැන් හල උදේ ප්‍රමාද වී විවෘත කැරෙන නිසා ඒ නාමය යෙදිණ. ගම්මු ඒ බව කීහ.

එතැනින් - නුගේගොඩ - කෝට්ටේ පාරට හැරුණාම ඇති ජේමිස් අයියලා‍ගේ හෝටලය පවත්වාගෙන ගියේ ජේමිස් සහ ඒබරන් අයියා නමින් දන්නා සිංහල - බෞද්ධ සහෝදරයන් දෙන්නාය. එතැන විශේෂයෙන් කැවුම් - කොකිස් - ආස්මි වැනි දේශීය ඌරුවේ කෑමද තිබූ බව මතකයි.

නුගේගොඩ - කෝට්ටේ පාරේ තම ටිකක් දුර ගියාම සිංහලයකුගේ තවත් ‍හෝටලයක් තිබිණ. එතැනට යන්නට ජනයා අදි මදි කළේ අයිතිකරුවාට කකුලේ බරවා රෝගය තිබූ නිසයි! (ඉතින් දැන් ඒ ඇත්තන් මිය පරලොව ගිහින් නිසා මේ තොරතුරු ලීවාට පාපයක් නැතැයි සිතමි.) ඊට එහා පැත්තේ කෝනා පීනාගේ තේ කඩය විය. එය මුස්ලිම් ජාතික ඉන්දියන් ජාතිකයකුගේය. එතැනින් වැඩියෙන් කෑවේ - බිව්වේ පාගොඩ පාරේ තිබූ තණ‍කොටුවල සේවය කළ කම්කරු ජනයා වගේම, පාර අතු ගෑම - වැසිකිළි බාල්දි ඉවත් කර සෝදා පිරිසුදු කළ ඉන්දීය ජාතික පහත් කුලයේ ජනයායි. හැබැයි පහත් කුලයේ ජනයා කෑවේ - බිව්වේ තේ කඩය ඉස්සරහ ඇන තියාගෙනය. තේ බිව්වේ එවක මිල්ක් මේඩ් නම් ටින් කිරි (හිස්) බෙලෙක්කවලය.

නුගේගොඩ - පරණ කැස්බෑව පාරේ ද හෝටල් තුනක් තිබිණ. එකක් ඉන්දීය ජාතික දෙමළ හින්දු ජන වර්ගයේ අය පවත්වාගෙන ගිය බ්‍රාහ්මණ හෝටලයයි! එහිද අර මුලින් කියූ අඩු කුලයේ ජනයා හෝටලය ඉදිරිපස පඩියේ බිම හිඳගෙන සප්පායම් වූහ. තේ බිව්වේ ද හිස් ටින් කිරි බෙලෙක්කවලයි.

ඉතින් පොදුවේ ගත් කල මේ තේ පැන් ශාලා නැත්නම් ආපන ශාලා අවම ප්‍රමිතියක පිරිසුදු බවින් යුතුව පවත්වාගෙන ගිය බවයි, මතකය කියන්නේ. කොයි කවුරුවත් මේ ආපන ශාලාවලට එරෙහිව (අපිරිසුදු කෑම හදා විකුණනවාය! මිනිසුන්ට ලෙඩ බෝ කරනවාය! වැනි උද්ඝෝෂණ උදෙසා නිමිත්තක් වූ බවට නම් මතකයක් නොමැත්තේය. මගේ විස්තරය ලියද්දී කෝට්ටේ පාරට හැරුණ තැනම පිහිටි රොමානිස් මුදලාලිගේ හෝටලය සඳහන් කිරීමට අමතක විය. මෙහි සේවයට සිටි කුණු බැඳුණු සිරුරකින් යුතුව, හත් දවසකට වරක් වත් නාන්නේ නැති ආවතේවකරුවා, ශරීර ස්වභාව වශයෙන් අපට මතක් කළේ, සුප්‍රකට ගංගොඩවිල සුභද්‍රාරාම පිළිමගෙයි දහම්සොඬ කතාවේ එන යක්ෂයාගේ ස්වරූපයයි! කට නම් ඇරපු අතක් නැත - අපේ ආවතේවකරුවාටත් තිබුණේ බොල්ලෑ ඉදිරියට නෙරා ගිය විහිදි දත් පෙළකි - (අසරණයාට යහපතක් ම වේවා) ඉතින් ඒ හෝටලයටත් වැඩි දෙනා යාමට මනාපයක් නොතිබ්බේ එනිසයි - ඒ අනුවනම් අපිරිසිදු කමේ වාර්තා එවකත් වූ බව හැඟෙයි; එහෙත් රොමානිස් මුදලාලි ප්‍රතාපවත් පෙනුමක් තිබූ, නුගේගොඩ ගම්වාසීන් අතර ජනප්‍රිය පුද්ගලයෙකි.

වික්ටර් හියුගෝ නම් ප්‍රංස නවකතාකරුවාගේ නෝත්‍රදාමයේ කුදා (හන්ච් බැක් ඔෆ් නොත්‍රදාම්) සිහි කරන මේ කොලුවා, හෝටලයට අවශ්‍ය වතුර ගෙනාවේ බාග කල්දේරමක් වැනි භාජනයක් අත් කරත්තයේ මැදට වෙන්ට තබා බැඳ, එහි ඉස්මත්ත ගෝණියකින් වසාගෙනය. නුගේගොඩ නගරයට එකල නළ ජලය සපයා තිබුණේ නැති නිසා, හැම හෝටලයකටම වතුර ගෙනාවේ මෙවැනි අත් කරත්තයක අසල බොන වතුර ළි‍ඳෙන් කල්දේරම් භාජනයකට වතුර පුරවාගෙනය. ඒ භාජනය උඩ එළා තිබුණු ගෝණි පඩංගුව, වතුර කැලැත්තීම හේතුවෙන් තෙතබරියම්ව තිබිණ. ඉතින් එවක ආපන ශාලාවල ජනයා බිව්වේ මේ ගෝණි පඩංගුවෙන් තෙත බරියන් කල්දේරම්වල පිරවූ ජලයයි. හැබැයි ඒ පිළිබඳව ජනමාධ්‍ය හෝ ජනයා හෝ සියලු තතු දැන සිටියත්, උද්ඝෝෂණ නම් තිබුණේ නැත.

අනෙක හෝටල් කර්මාන්තයේ ඒ වැදගත් සැපයුමක් වූ ජලය - පානීය ජලය කොතරම් නම් අසීරුවෙන් සපයා ගත්තා ද කියාත් පැහැදිලි වේ. අනෙක වතුර කරත්ත අදින කම්කරු ශ්‍රේණියක් ද ඇතිව තිබිණ. ඒ විතරක් නොවේ; වතුර කරත්තය නමින් වෘත්තාන්ත චිත්‍රපටයක් ද, නුගේගොඩ - කන්දවත්ත පාරේ පදිංචියට පැමිණි කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා නම් ප්‍රකට සිනමාවේදියා විසින් නිර්මිතව ප්‍රදර්ශනයට පැමිණියේය. ඉතින් එදත් - අදත් ‍- හෙටත් හෝටල් කෑම - කඩ කෑම ගැන සියයට සියයක් පිරිසුදුකම ගැන නම් සහතික විය නොහැකි බව පෙනෙයි.

දවසක් දා කැස්බෑව හන්දියට නුදුරු බණ්ඩාරගම පාරේ තිබූ හෝටලයක රෑ පානේ තේ බීමට ගිය අප නඩයට, මස් ස්ටුවේ තිබූ මස් කෑලි සෝදි පිරිසුදු කර, ඊළඟ දවසට පෙර සූදානම කරන හැටි දක්නට ලැබිණ. අපට කඩ කෑම එපා කරවන සුලු අත්දැකීමක් එදා අත්දුටුවෙමු. තව දවසක දීසියක ඉතිරිව තිබූ මස් හෝ මාළු හොඳි ටික, කොත්තුවලට දමන හොදිවලට එක් කරන සැටි දුටිමු.

ගෙදරක ලීක්ස් ගසක් පෙත්තෙන් පෙත්ත ගලවා සෝදා ගනිතත්, කොත්තුවට ගන්නා ලීක්ස් ගස් නම්, වතුර ටිකකින් සෝදා - මඩ සහ පණුවන් සමඟ ලීක්ස් ගස කපාගෙන - කපාගෙන යන හැටි ඇස් පනා පිට සැවොම දකිති! හෝටල්වල ගොටු කොළ සම්බෝල, කවර පලා වර්ගයකින් වුවත් හදන මැල්ලුම් ගැනත් විය යුත්තේ එයමයි! මිටිය වතුරට එබුවා - මිටිය පිටින් හීනියට ලියලා ගන්නවා!

ඉතින් ඕවාට වේලාවකුත් නැත - හරි විදියට කරතොත් හෝටල් කර්මාන්තය ඇද වැටේද? දෙයියො දනී! අප නොදනී!

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »