කොළොම්පුරයේ පුංචි මිනිස්සුන්ගේ හද ගැහෙන හඬ!

2015-11-06 10:27:00       829
feature-top
කොලොම්පුරයට ඉරමුදුන් වී ඇත. ගිනි ගහන මහ දහවලේ කොළොම්පුර වැසියෝ තම තමන්ගේ රැකියාවන් හා එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණෙන් ඔබ මොබ දිව යති. සතියේ දිනවල කොළොම්පුරය කුහුඹුගුලක් මෙන් කඩිසරය. වේගවත්ය. මේ පුරය වඩාත් අලංකාර වී ඇත්තේ එකම අච්චුවේ මිනිසුන් නිසා නොව, එක් එක් අච්චුවලින් බිහි වූ මිනිසුන් නිසා යැයි සිතේ. කෙටියෙන් කියතොත් කොළඹ ලස්සනට මූලික වී ඇත්තේ විවිධත්වයයි. කෝටිපති ප්‍ර‍කෝටිපති මහා ධනවතුන්ද එදා වේල සරිකර ගැනීමට කුමක් හෝ ව්‍යාපාරයක් කර්මාන්තයක් කරන මිනිසුන්ද මෙහි සිටිති.

කොළඹ වීදි දිගේ ඇවිද යන අප දකින ලෝකයට වඩා අමුතු ලෝකයක් කොළඹ නගරයේ ඇතුළත වීදිවලදී අපට අත්දැකිය හැකිය. ධනවතුන් ප්‍ර‍කෝටිපතියන් ගැන දකින්නට බලන්නට ඕනෑ තරම් මිනිසුන් සිටියත් කොළොම්පුර මවගේම නිර්ධන පන්තියේ දූ පුතුන්වන් පුංචි මිනිසුන් ගැන බලන්නට ඔවුන් ගැන සොයන්නට උනන්දු වන පිරිස අල්පය. මේ මිනිසුන්ගේ ජීවිතවලට එබී බලන්නකුට ඔවුන්ගේ ජීවිතවලටම සුවිශේෂි වූත් සංවේදි වූත් කතාන්දර රැසක් දැන හඳුනාගත හැකි බව අපට වැටහිණි.

දිගු කලක සිට බලාපොරොත්තු වූ පරිදි අප කොළොම්පුරයේ එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට කුමක් හෝ රැකියාවක් කරන පුංචි මිනිසුන් සොයා යන ගමන ඇරඹුවේ එක් කතාවක් සොයා පාදාගන්නා අටියෙනි. ඉර මුදුන්ව සැඩව තිබූ එම මොහොතේ නගරයේ පා ගමනින් සැරිසැරීම දුෂ්කර කටයුත්තක් වූවද විසල් නගරයේ පුංචි මිනිසුන් හමුවීම, කතාබහ කිරීම හා ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම අපූර්ව අත්දැකීමක් බව අපට වැටහිණ.

ගමනේදී අපට මුලින්ම හමුවූයේ පිටකොටුව, කොටුව ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර දන්නා එමෙන්ම පදික වේදිකාවේ අවුරුදු තිහකටත් වඩා අත්දැකීම් ඇති ලෙනාඩ් ඇක්මන් පෙරේරා මහතාය.

කොහොමද ජීවිතය, අප ලෙනාඩ් මහතා සමඟ කතාබහට එක්වන අටියෙන් විමසීමු.

වරදක් නැහැ. ඒත් මට දැන් ඉස්සර වගේ මහන්සිවෙලා වැඩ කරන්න බැහැ.

ඒ මොකද? අප පෙරළා ප්‍රශ්න කළෙමු.

එදා පිටකොටුවටම ආරක්ෂාව දුන්න මම අද ලෙඩෙක් වෙලා. දරුණු හදවත් රෝගයකින් මම පීඩා විඳිනවා. ලෙනාඩ් අප සමඟ කතා කරන්නේ අතිශය හැඟුම්බරවය.

ලෙනාඩ් කියන ආකාරයට යුද්ධය උග්‍ර අතට පත්ව තිබූ 2006, 2009 කාලයේදී ඔහු රාත්‍රිය ගත කළේ පිටකොටුව පදික වේදිකාවේය. ඒ ඔහුගේ වස්තුවක් රැකීමට නොව, පිටකොටුව පදික වෙළෙඳුන්ගේ හා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ පරහිතකාමී අරමුණෙනි. මහත්තයෝ අදත් මට පොලිසියේ පරණ මහත්තුරු සලකනවා. අදත් මම පදිකවේදිකාවෙන් කීයක් හරි හම්බ කර ගන්නවා. ඒ මම එදා කළ කැප කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි.

අවුරුදු තිහක් පදික වේදිකාවේ විවිධ වෙළෙඳාම් කළ කෙනෙක් විදිහට ඔබ එදා සහ අද වෙනස දකින්නේ කොහොමද? අපි ඔහුගෙන් විමසුවෙමු.

මට හිතෙන විදිහටනම් එදා අදට වඩා සරුසාර වෙළෙඳාමක් තිබුණා. අපට මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්නම් ව්‍යාපාරයක් සාර්ථකව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්.

කාලයත් සමඟ හදවත් රෝගයේ ගොදුරක්ව අඩපණ වූ ලෙනාඩ් මහතාගේ සියලු වගකීම් කරමතට ගෙන කටයුතු කරන්නේ නුවරින් කොළඹ විත් ලෙනාඩ් සමඟ යුග දිවි ගමන් ඇරැඹූ ජයරත්න මැණිකේ මහත්මියයි. කැඩුණු සපත්තු සෑදීමේ වෘත්තියේ නියැළෙන ඇය ලෙනාඩ්ට ආදරණීය ශක්තියක් බවට පත්ව සිටී.

කොහොමද බිස්නස්, අප ප්‍රශ්න කළ විට මැණිකේ මහත්මිය ලජ්ජාශීලී බැල්මක් යොමු කළද පිලිතුරක් නොදුන්නාය. අප යළිත් එම ප්‍රශ්නයම යොමු කළ විට ඇය තම අදහස් ගොන්න දිග හැරියාය. මහත්තයට මහන්සි වෙන්න බැහැ. ඒත් අපි ජීවත් වෙන්න ඕනෑ. ඒ නිසා තමයි මම මේ රැකියාවට බැස්සේ. අනෙක මේ රස්සාව සාමාන්‍යයෙන් ගැහැනු කරන රැකියාවක් නෙමෙයි, ඒත් ලැජ්ජාවෙලා බැහැ. අපි ජීවත් වෙන්න ඕනැනෙ. අපි ළඟට එන්නේ මේ අවට රජයේ හා පුද්ගලික කන්තෝරුවල අය. මැණිකේ මහත්මිය තමන් වෙත එන පාරිභෝගිකයන් ගැන කියන්නේ එලෙසිනි. මදක් නිහඬව සිටින මැණිකේ මහත්මිය නැවත තම කතාවාරය අරඹයි. ...මෙතනට දෙවිවරු වගේ නෝනලා, මහත්තයලා එනවා, වැඩක් කරලා රුපියල් පනහයි කීවම රුපියල් සීය දෙසීය දෙන අවස්ථා තියෙනවා. ජයරත්න මැණිකේ සිය සේවාදායකයන් ගැන කතා කරන්නේ පහන් හැඟීමකින් යුතුවය.

ඔවුන්ගෙන් සමුගත් අප පිටකොටුව මල්වත්ත පාර දිගේ ඉදිරියට ඇදුනෙමු. එදා ගීත කැසට්වලට ප්‍රචලිතව තිබූ ඒ වීදියේ බහුලව කෙරෙන වෙළෙඳාම බවට පත්ව ඇත්තේ බෑග් හා සපත්තුය. එනිසා අද මල්වත්ත පාරේදී ගීතයක් ඇසෙන්නේ ඉඳහිටය. බෑග් සපත්තු කඩ අතර පදික වේදිකාවේ ඉඩක් සොයා තම වෘත්තියේ නියැළෙන ඔහු ජානක පෙරේරා මහතාය. අප සමඟ එසැනින් කුළුපග බවක් ඇති කර නොගත් ජානක අප සමඟ මිත්‍රත්වය ගොඩනඟා ගත්තේ ක්‍රමිකවය. කොච්චර කල්ද මෙතැනට ඇවිත්? අවුරුදු දහයක් ජානක පිළිතුරු දුන්නේ සිනාමුසුවය.

ඉන් අනතුරුව ඔහු අනාරාධිතවම වසර දහයක සිය අද්දැකීම් විස්තර කරන්නට පටන් ගත්තේය.

සමහරු හිනාවෙලා එනවා ඇවිත් සපත්තුව මහ ගන්නවා. ගාන කිව්වාම කුණුහරුපෙන් බනිනවා. තවත් අය සල්ලි දෙන්නැතුව දුවනවා. දවසක් මම වැදගත් පන්නයේ මහත්තයෙක්ගේ සපත්තුවක් මහලා දුන්නා. මෙන්න සපත්තුව මහගත්ත මහත්තයා උන්නු ගමන් පැනලා දිව්වා. මෙතැන තව සපත්තු තියෙන නිසා මට මිනිහ පස්සෙන් එළවන්න බැහැ. ඒ වගේ වෙලාවට පාඩුව විඳගෙන නිකම් ඉන්න එක තමයි නුවණක්කාරම වැඩේ. ජානක ඉස්සර සපත්තු කුට්ටමක් අවුරුද්දක් ලේසියෙන්ම දාන්න පුළුවන්. අද එහෙම බැහැ? අප ඔහුට වෘත්තිය ප්‍රශ්නයක් යොමු කළෙමු. ‍

දැන් එන්නේ බාල සපත්තු. අලවලා තියෙන්නෙත් බාල ගම්වලින්. ඒ හින්දා මුලින්ම සපත්තුව වටේ මස්ස ගත්තොත් ටිකක් කල් පාවිච්චි කළ හැකියි. ඔහු අපේ ප්‍රශ්නය ඉතා සුහදශීලිව නිරාකරණය කර දුන්නේය. ඔහු කියන ආකාරයට සපත්තු මැසීමේ රැකියාවෙන් මහ මැදුරු ඉදිකළ නොහැකිය. එහෙත් එදිනෙදා ජීවිතය ගැට ගසා ගත හැකිය. ජානක කියන්නේ වැසි දිනවලදි ඔවුන්ගේ ආදායම සරුසාර බවයි.

ජානකගෙන් සමුගෙන මල්වත්ත පාරේ ඉදිරියට ගමන් කර වමට හැරුණු අප රෙදිපිළිවලට මහත් ප්‍රසිද්ධියක් උසුලන මහවීදිය ඔස්සේ ඇවිද ගියෙමු. එහි විවිධ වෙළෙඳාම්වල නියැළෙන්නෝ සිටිති. අයියේ අන්න තැඹිලි කරත්තයක් සගයා මගේ අවධානය තැඹිලි කරත්තයක් වෙත යොමු කරයි. ගිනි මද්දහනේ පිපාසය හා වෙහෙස අතරින් තැඹිලි කරත්තයට ගජරාමෙට බිස්නස් ඇති බව පෙනේ. එහි හිමිකරු මොහොමඩ් ෆර්සාන්ගේ අදහස් මෙසේ ය. අව්ව සැරනම් බිස්නස් සරුයි. වැස්සොත් එදාට අතේ සතේ නැති වෙනවා. ෆර්සාන් අප සමඟ කියාගෙන යයි. ඔහු කියන ආකාරයට අද පදික වේදිකාවේ හෝ කරත්තයේ හෝ වෙළෙඳාමට බාධාවක් නැත. ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාමට පසුබිම නිර්මාණය වී තිබේ. වෙළෙඳාමෙන් ලබන ආදායම පිළිබඳ විමසීම නොකළයුතු වන නමුත් අප ඒ වරද කළෙමු. සිය ආදායම පිළිබඳ තොරතුරු කීමට ඔහුද පැකිළුණේ නැත. දෙයියනේ කියලා දවසකට දෙදාහක විතර ආදායමක් තියෙනවා. අප සමඟ කතා කරන නමුත් ඔහු වෙළෙඳාම නතර කරන්නේද නැත. ඒ තරමටම ඔහු කඩිසරය, සුහදය. රස්නෙට තැඹිලි ගෙඩියාක් ෆර්සාන්ගේ තැඹිලි කරත්තය ඉදිරියට ඇදෙද්දී අප නැවතුණෙමු.

‍ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ... හිරු නොනගී අවරගිරේහි... බොහෝ කලකට පෙර බෙග් මාස්ටර් ගැයූ ගීතයක හඬත් පදික වේදිකාව අසල ගොඩනැගිල්ලක කොරිඩෝව ගීතවත් වෙයි. අප ඒ හඬ සොයා අවට බැලුවෙමු. ගීතය ගායනා කරන පිරිමියකු හා රබානක් වයන කාන්තාවකි. අපේ නෙත ගැටුණේ එවිටය. අපි ඔවුන් වෙත ළංව බැලුවෙමු. ඔවුන් දෘෂ්‍යාබාධිතයන්ය. ගීතය අහවර කළ පසු අප ගායකයා වෙත ළං වූයේමු. කොහොමද මහත්මයා ඔහුගෙන් විචාළෙමු. මහත්තයලා කවුද? ඔහුගෙන් අප වෙත ප්‍රති ප්‍රශ්නයකි. අපි පත්තරෙන් විස්තර ටිකක් කතා කරමු ද? අපේ පිළිතුරෙන් ඔහු අප සමඟ සුහද විය. කවදද ගායන ශිල්පියකු විදිහට මහපාරට බැස්සේ? අපගේ විමසීමට ඔහු ලබා දුන්නේ දීර්ඝ උත්තරයකි.. අපි දෙන්නම වෘත්තිය පුහුණුව ලබපු අය. ඒත් කාලයක් යද්දි අපේ වෘත්තියට තිබුණ තැන නැති වුණා. ඊට පස්සේ බෙඩ්ෂීට් විකිණුවා. ඒත් කාලය ගත වෙද්දි බෙඩ්ෂීට් බිස්නස් එකටත් හෙනහුරා ලැබුවා. පිටරට රෙදි ලාබෙට විකුණද්දි අපට රෙදි විකුණන්න බැරි වුණා. එහෙමයි කියලා අපේ බඩ නිකම්ම පිරෙන්නේ නැහැ. අපි කොහොමද නිකම් ඉන්නේ, අපිත් ජීවත් වෙන්න ඕනැ. රබානක් අරන් නෝනයි මමයි පාරට බැස්සේ ඒ නිසයි. අපිට රසවතුන්ගේ සහයෝගය, ආදරය, කරුණාව ලැබෙනවා. අදත් වෙලාවක් ලැබුණාම අපි බිස්නස් කරනවා. බිස්නස් කරන්න බැරි දවස්වලට තමයි සිංදු කියන්නේ. මාධ්‍ය හරහා සමාජයට කීමට ඔවුනට තවත් දුක් ගැනවිල්ලක් තිබේ. අපිට වෙනස් විදිහට සලකන්න එපා. අපිත් සමාජයේම කොටසක්. ඒත් සමහරු ඇවිත් අපිට අපහාස උපහාස කරලා විකෘති වින්දනයක් ලබනවා. දෘෂ්‍යාබාධිත ඔවුන් කියන කරුණේ සත්‍යක් තිබේ. මන්දයත් ඔවුන්ට ඇති දක්ෂතා කොතරම්ද යන්න ඔවුන්ගේ ගායනා විලාශයෙන්ම හඳුනාගත හැකිය.

ඔවුනට සමුදුන් අප මහවීදියෙන් දෙවන හරස් වීදියට හැරුණවිට හමුවූයේ අපූරු වෙළෙන්දෙකි. ඔහු අලෙවි කරන්නේ දුර්ලභ කාසිය. නෝට්ටුය. තවත් පසෙක පැරැණි භාණ්ඩ තිබේ. එ‍තැනම චීනයෙන් ආනයනය කළ අලුත් ඔරලෝසුය. මේ සියල්ලේම වෙළෙඳ හිමිකරු එම්.එස්. නිසාම් මහතාය. ව්‍යාපාරෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද? අප විමසූ කල නිසාම් දැක්වූයේ සතුටු ප්‍රතිචාරයකි.

මෙතැනට එන්නේ අමුතුම තාලේ කස්ටමර්ස්ලා ඔවුන් පැරැණි දේ ඉහළින් අගයනවා. අපි ළඟ ඕනෑම පැරැණි කාසියක් නෝට්ටුවක් තිබෙනවා.

ඔයාලා මේ පැරැණි දේවල් එක්කහු කරන්නේ කොහොමද අපි ඔහුගෙන් ඇසුවෙමු. පරණ බඩු එකතු කරන අය ගෙනත් දෙනවා, සමහරු අත්පිට මුදලට එයාල ළඟ තියෙන දේවල් අපට දෙනවා. ඒත් අපි මේ බිස්නස් එක කරන්නේ බොහොම කල්පනාවෙන්. අප සිතුවාටත් වඩා වැඩි විස්තර ඔහු කියන්නට විය.

හැම දෙයක් ගැනම හොයලා පුද්ගලයාගේ විශ්වාසවන්තකම මත තමයි අපි ඔපර් එකක දෙන්නේ.

මැලිබන් වීදිය අසල ව්‍යාපාරික කටයුතු කරන එම්.පී. ශ්‍රියානි ද දිරිමත් කාන්තාවකි. ඇය පුරුෂයන් මැද තම ගැහැනුකම සහිතව සිය ව්‍යාපාරික කටයුත්තේ නියැළෙයි. ඇයගේ ව්‍යාපාරය තැඹිලි වෙළෙඳාමයි. ශ්‍රියානි හත් අට දෙනෙකුගෙන් යුත් සිය පවුල නඩත්තු කරන්නේ මේ තැඹිලි වෙළෙඳාමෙනි. ලාභ අලාභ කෙසේ වුවද ඇයට අද උරුම වී ඇති ජීවන වෘත්තිය තැඹිලි වෙළෙඳාමයි.

කොළඹ නගරයේ ඉල්ලුමක් ඇති තවත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ පරණ පාවහන් වෙළෙඳාමයි. එම වෙළෙඳාමේ නමක් දිනාගත්තෙකු වන්නේ නාලින් චානක මහතායි. අවුරුදු දහ අටක සිට ඔහුගේ සිය ජීවන වෘත්තිය පැරැණි සපත්තු වෙළෙඳාමට වෙන්කර තිබේ. කොහෙන්ද ඔයගොල්ල මේ සපත්තු සොයාගන්නේ? අප චානකගෙන් විමසීමු. සමහර ඒවා පිටරටින් එනවා. පරණ බඩු කඩවලිනුත් ගේනවා. අපි ගාව ජෝන් වයිට් නිව් බැලන්ස් වගේ ලෝකයේ නම ගිය සපත්තු තියෙනවා. මම විකුණන සමහර සපත්තු රුපියල් තිස්දාහ, හතළිස්දාහ වටිනවා. එච්චර ඉහළ මිලකට අලෙවි වන සපත්තු අපි රුපියල් පන්දහසකට වගේ දෙනවා. මම විකුණන සපත්තු රුපියල් තුන්සිය පනහෙ ඉඳන් පන්දහස දක්වා මිලට ගන්න පුළුවන්. නැති බැරි කෙනෙක් ඉස්කෝලේ ළමයෙක් ආවොත් මම නිකම් සපත්තු දුන් අවස්ථා තිබෙනවා. අපි හැම වෙලාවෙම ලාභය පමණක් බලා බිස්නස් කරන්නේ නැහැ. චානක මනුෂ්‍යත්වය පිළිබඳ අපට කියා දුන්නේ එසේය.

කොළඹ නගරය පුරා මද්දහනේ ඇවිද ගිය අපට දැඩි වෙහෙසක් දැනේ. වෙහෙසින් ඉදිරියට යනවිට අපට හමු වූයේ ස්වර්ණලතා විට අම්මාය. ඇය හමුවී කතාබහ කර විටක්ද සපා වෙහෙස නිවාගත් අප පදික වේදිකා සංචාරය නිම කළෙමු. පදික වෙළෙඳාමේ අපූර්වත්වය, සුන්දරත්වය, මෙන්ම ඔවුන්ගේ හදවත්වල ගැබ්ව තිබූ මනුෂ්‍යත්වය අපමණය. මහා ධනවතුන්ට වඩා මේ පුංචි මිනිසුන් තුළ දුර්ලභ මනුෂ්‍යත්වයේ හා දයාබරත්වයේ සලකුණු ඕනෑවටත් වඩා ඉතිරිව තිබුණි.

More News »