හැඟීම්වලට වහල් වෙලා පාරට වැටුණු කාංචනා

2015-11-05 09:56:00       831
feature-top
කාන්තාවක් හා පිරිමියෙක් විවාහ පත්වීමේ අග‍්‍රඵලය වන්නේ දරුවන්ය. ඒ අග‍්‍රඵලය නෙළාගන්න අය වගේම ඊට වාසනාවක් නැති වූ අයත් අපට සමාජයේදී මුණගැසේ. සමහරු කිසිදු සැලැස්මක් නොමැතිවම දරුවන් හදති. ඉන්පසු ඒ දරුවන් ඔවුන්ගේ උවමනාවට හැදුනාසේ සළකා ඉබාගාතේ හැදෙන්නට ඉඩ හරිති. තවත් සමහරු විවාහ ජීවිතය අසාර්ථක වූ පසු එයට පිළියම් සොයනවා මිස දරුවන් ගැන සෙවීම නොසළකා හරිති.

 

31-Rasa-P3-BB
කෙසේ වුවද රටක අනාගතය වන්නේ දරුවන්ය. ඔවුන් මෙලොවට ජනිතවන්නේ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනය හා කැමැත්ත මත මිස ඔවුන්ගේ කැමැත්තට නොවේ. එසේ නම් ඔවුන් රැුකබලා ගැනීමේ වගකීමෙන් මිදීමට දෙමාපියන්ට නොහැකිය. වරෙක උසස් පොලිස් නිලධාරියෙකු උත්සවයකදී කළ කතාවක් මට සිහිපත් වේ.


ඉස්සර අපේ අම්මලා අපි ගැන හොඳ ඉවකින් හිටියා. අපි පාසලෙන් හොරෙන් පැනලා ගෙඟ් නාන්න යනවා. මේක තමයි අපි කරන ලොකුම වරද ඒ කාලේ. එහෙම නාලා ගෙදරට එනකොටම අම්මා දැන ගන්නවා අපි මොනවා හරි හොර වැඩක් කරලා කියලා. අපේ සියුම් වෙනසක් පවා ඇයට හොඳින් වැටහෙනවා. අපිටත් කිසිම දෙයක් හංගන්න බැහැ. මේක තමයි එදා දෙමාපියන් හා දරුවන් අතර තිබුණ සම්බන්ධතාවය. ඒත් අද දෙමාපියන්ට දරුවෝ ගැන ඒ වගේ ඉවක් නැහැ.


ඔහුගේ කතාව සම්පූර්ණ සත්‍යයක් කියලා ඔබත් එකඟ වේවි. අපිත් එකඟයි. ඒත් දරුවන්ගේ සියුම් වෙනසක් පවා දැකගන්න පුළුවන් ඉස්පාසුවක අද දෙමාපියන්ට ඉන්න පුළුවන් වෙලා තියෙනවාද කියන ප‍්‍රශ්නයත් ඒ එක්කම හිතට නැගෙන්නේ නැද්ද? තරාතිරමකින් තොරව සෑම පවුලකම දෙමාපියන්ට තමන්ගේ තත්ත්වයට සරිලන ලෙස දරුවන්ගේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් වන ජීවන අරගලයක නියැලෙන්නට සිදුව තිබේ. ඒ වගේම වර්තමාන සමාජයේ බොහෝ දෙමාපියන්ට තමන්ගේ ජීවන වියදම දරාගැනීමට හැකි ආර්ථික තත්වයක් නැත.  ඒ නිසා දරුවන් ගැන සොයා බලමින් ඔවුන් ළඟ සිටිනවාට වඩා ජීවන අරගලයට මුහුණ දීම සඳහා රකියා සොයා ගමෙන් පිටමං වීමට දෙමාපියන්ට සිදුව තිබේ. බොහෝ පවුල්වල මව හෝ පියා විදේශගත වන්නේ එහි ප‍්‍රතිඵල හැටියටය.


අප මෙවර මෙත් සෙවන නිවර්තන නිවාසයේදී හමුවුණේ එලෙස මව විදේශ ගතව සිටියදී ජීවිතයේ යොවුන් විය එළැඹෙන්නටත් පෙරම තටු සිඳගත් සමනළියකි. ඇය නමින් කාංචනාය. දැන් අගේ වයස අවුරුදු විස්සකි. ඇය නිවර්තන නිවාසයට පැමිණ අවුරුදු හතරකි. ඇය කොහොමද මේ නිවර්තන නිවාසයට පැමිණියේ? ඒක බොහොම දිග කතාවකි. ඒත් අපි ඒ කතාවට කෙටියෙන් සවන් දුන්නෙමු.


ඒ අනුව ඇගේ ගම තිබෙන්නේ අනුරාධපුරයේය. ඇයට වැඩිමහල් සහෝදරයෙක් සහෝදරියක් හා බාල සහෝදරයෙක්ද සිටිති. ඇගේ අම්මා ඇය කුඩාකලදීම විදේශගත වුණේ පවුලේ ආර්ථික තත්ත්වය ගොඩනගා ගැනීම සඳහාය. ඒ වන විට කාංචනාගේ වයස අවුරුදු දහයකි. ඇය ඇතුලූ පවුලේ සහෝදර සහෝදරියන්ගේ වගකීම පැවරුණේ ආච්චි අම්මාට හා තාත්තාටය. තාත්තාටද දරුවන් ගැන සොයා බැලීමට එතරම් වේලාවක් තිබුණේ නැත. දරුවන් ඉල්ලන වෙලාවට පොතක් පතක් ගෙන දී ඔවුන් ඉල්ලන දෙයක් අමාරුවෙන් හෝ සම්පූර්ණ කර දීම හැර ඔවුන් පාසල් ගොස් ඉගෙන ගන්නවාද? අභ්‍යාස කරළාද? පාසල් යනවා කියා ගෙදරින් පිටවුණත් ඔවුන් පාසලට ගොස් තිබෙනවාද? මේවා ගැන සොයා බැලීමට තාත්තාට වෙලාවක් තිබුණේ නැත. එසේම ඒවා ගැන තාත්තාට එතරම් උනන්දුවක් තිබුණේද නැත. ආච්චිට ඒවා ගැන දැනීමක් තිබුණේ නැත. ඒ නිසා කාංචනා පාසල් ගියේ  ඕනෑවට එපාවට මෙනි.


කාංචනාට සුසිල් හමුවන්නේ මේ අතරතුරදීය. ඒ ඔහු වැඩ කළ ආයුර්වේදයට ඖෂධ සොයාගැනීමට ගමට පැමිණි අවස්ථාවකදීය. ඒ කාංචනාට යම්තම් අවුරුදු දොළහ සම්පූර්ණවෙද්දීය. ඒ වන විට ඔහුගේ වයස කාංචනාට වඩා අවුරුදු හතරකින් වැඩිය. කාංචනා සිටියේ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යාම පිළිබඳ කිසිදු තේරුමක් ඇති වයසක නොවේ. එහෙත් තමන් ගැන සොයා බලන කිසිවෙක් නැති පවුල් පරිසරයක සිටි කාංචනා තමන් ගැන සොයා බලන තමන්ට ආදරේ කරන මේ සුසිල් අයියා කෙරෙහි ඇදී ගියේ පවුල් ජීවිතයක් ගැන අදහසක්වත් ඇතිව නොවේ. මේ සම්බන්ධය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් කැඩිය නොහැකි මට්ටමට ගොඩනැගෙද්දී ගෙවල්වලටද සැළවීමෙන් ගෙවල් දෙකෙන්ම ඊට විරෝධය දැක්වූහ. විරෝධතා මැද ඔවුහු තම පේ‍්‍රමය ඉදිරියට ගෙන ගියහ. එහෙත් දැන් කාංචනාට එළියට බසින්නත් අයියලාගෙන් තහංචි වැටී තිබේ. වෙනදා කිසි දෙයක් සොයා නොබැලූ තාත්තාද දැන් මේ සම්බන්ධය ගැන සෙවිල්ලෙන් සිටීම ගැන කාංචනාට තිබුණේ තරහකි.


මේ සියල්ල මැද කාංචනා තම පෙම්වතා සොයා ගියේ අවසන් තීරණයක් අරගෙනය. ඒ පෙම්වතා යෝජනා කළ පරිදි ගෙවල්වලට හොරෙන් පැන යාමටය. රහසිගතව පවුල් ජීවිතයක් ඇරඹීමටය. ඒ වන විට කාංචනාගේ වයස අවුරුදු දාහතරකි. සුසිල්ගේ වයස අවුරුදු දහඅටකි. ඒ නිසා ඔවුන්ට විවාහ වීමට හැකියාවක් තිබුණේ නැත. එහෙත් ගමෙන්් පිටමංව කුලී නිවසක ඔවුහු ජීවත් වූහ. තවත් වසරක් පමණ ගෙවී යද්දී සුසිල් කාංචනා හැර දමා වෙනත් තරුණියක විවාහකර ගත්තේය. ඔහු කාංචනාට කිව්වේ තමන්ගේ දෙමාපියන් කාංචනා විවාහකර ගන්නවාට විරුද්ධ නිසා ඔවුන් කැමැති කෙනෙක් විවාහකර ගන්නා බවය. එසේ කියා නීතියෙන් විවාහ වී නොමැති වුවත් වසරක කාලයක් තමන් සමග පවුල් ජීවිතයකට එළැඹ සිටි කාංචනා හැර දමා සුසිල් වෙන අතක් බලා ගත්තේය.


දැන් කාංචනාට යළිත් දෙමාපියන්ගේ පිහිට පැතීමට සිදුව තිබේ. එහෙත් ආච්චිගේ ගෙදරට ගිය විට සියලූ දෙනා ඇය පන්නා ගත්තේ තමන් කියන දේ අහන්නේ නැතිව ගියා නම් ගිය තැනක හිටපං කියාය. කාංචනා ආපසු හැරුනේ යන එනමං නොදැනය. නගරයට පැමිණි ඇය කොළඹ බසයකට නැගගත්තේ මොකක් හෝ රස්සාවක් හොයා ගන්නවායි සිතමිනි. කොළඹදී ඇයට තරුණියක් හමුවිය. ඇය ගමෙන් පැමිණි තරුණියක් සේ දැනුණ කාංචනාට කිට්ටු කර කතා කළාය.


නංගී ඔයා කොහේද යන්නේ?


රස්සාවක් හොයාගෙන යනවා.


නංගි කැමැති නම් මාත් එක්ක යමු. මං වැඩකරන තැන ඔයාටත් වැඩකරන්න පුළුවන්.


රස්සාව මොකක්ද කියා කාංචනා ඇසුවේ නැත. ඒ තරම් දෙයක් අහන්න තරමටවත් ඇය අත්දැකීම් සහිත මුහුකුරා ගිය වයසක සිටියේ නැත. දැන් ඇගේ වයස අවුරුදු පහළොවයි මාස අටක් පමණය. කොළඹදී අඳුනාගත් මේ අක්කා සමග කාංචනා රැුකියාවක් සොයා ගියාය. එය තරමක් ලොකු නිවසකි. ටයිල් කරන ලද මේ නිවස දුටුවිට කාංචනාට ආසාවක් ඇති විය. ඇය කිසි දිනක මෙවැනි නිවසක වාසය කර තිබුණේ නැත. නිවසට ගිය විට අවුරුදු හතළිස් පහක පමණ වයසේ තරමත් තළඑළලූ තොල් රතු පැහැයෙන් වර්ණ ගැන්වූ කාන්තාවකට ඇයව හඳුන්වා දෙනු ලැබිණ.


මේ තමයි කාංචනා මෙතන මැඩම්. මැඩම් කියන විදිහට තමයි ඔයාට වැඩ කරන්න වෙන්නේ.


මොනවද මැඩම් මට කරන්න තියෙන වැඩ?


ආ ඒවා පස්සෙ බැරියෑ. දැන් කාමරයට ගිහින් ටිකක් විවේක ගන්නකෝ.


කාංචනාට පළමු දිනයේ විවේක ලැබුණි. දෙවැනි දිනයේ ඇය කාමරයේ සිටියදී කවුදෝ පිරිමි කෙනෙක් ඇගේ කාමරයට පැමිණියේය. මැඩම් කිව්වේ ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන ලෙසය. කාංචනාට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි ඇය වටහා ගන්නා විට පමා වැඩිය. මෙයින් සිදුවිය හැකි දේවල් ගැන එතරම් දුරට හිතන්නට තරම් වුවමනාවක්ද ඇයට නොවිණ. ඒ තමන් ගැන සොයන්නට කෙනෙක් නැත්නම් මේ රස්සාවෙන් අතට සල්ලිත් ලැබෙනවා නම් කෑම බීමත් ලැබෙනවා නම් තවත් මොනවා ගැන කරදර වෙන්නද? ඇය එසේ සිතන්නට ඇත. දහසය හැවිරිදි කාංචනා මුදලට කාන්තාවන් විකුණන තැනක විකිණෙන කාන්තාවක් බවට පත්වුණේ ඒ විදිහටයි. ඒ වන විටත් ඇය ළමාවිය ඉක්මවා නොතිබුණි.

වේලාසනම ගැහැණියක බවට පත්ව කිසිදා නොපැතූ නීතිවිරෝධී වෘත්තියක යෙදෙන්නට ද ඇයට සිදුව තිබෙන්නේ කාගේ වරදින්ද? පොලිසියට හසුවූ විට කවුරුත් එවැනි තරුණියන්ට ගරහනු ඇත. එහෙත් මේ ඈ කිසිසේත්ම හිතා මතා සොයා ආ රැුකියාවක් නොවේ. අහම්බෙන් ආවත් තමන් අකමැති වුවත් කොළඹ මෙතනින් පැනගොස් කොළඹ රටේ තමන් නොදන්නා ඉසව්වක වෙනත් රැුකියාවක් සොයා ගොස් තවත් ප‍්‍රපාතයකට වැටෙනවාට වඩා දන්නා වළේ සිටීම සුදුසු යැයි ඇයට සිතෙන්නටද ඇත.


මෙලෙස ඇය මෙම නිවසේ මුදලට විකිණෙමින් මාස කිහිපයක් ගතවෙද්දී අසල්වැසියෙකු විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් අනුව පොලිසිය නිවස වටලනු ලැබිණ. ඇයගෙන් පොලිසිය කරන ලද ප‍්‍රශ්න කිරීමේදී මැඩම් කියා තිබූ පරිදි විස්තර කීවද පොලිසිය දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී මගහැර සිටීමට ඇයට නොහැකි විය. ඒ නිසා ඇය පොලිසියට සත්‍ය තොරතුරු ඉදිරිපත් කළාය. පොලිසිය ඇයව අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයේදී ඇයට ඇප දීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඒ නිසා කාංචනාට මේ පුංචි වයසේදීම බන්ධනාගාරගතවීමටද සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද? ඇගේ කතාව සැලකිල්ලට ගත් අධිකරණය ඇයව පුනරුත්ථාපනයට ලක්කිරීම සඳහා මෙත් සෙවන නිවර්තන නිවාසයට යොමු කරනු ලැබිණ. තවමත් ඇගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් ඇය බැලීමට පැමිණ නැත. ඇය පිළිබඳ වගකීමක් දැරීමට සූදානම් නැත. එහෙත් මෙය හුදෙක් ඇයගේම වරදකින් සිදුවූවක්ද යන්න ඒ දෙමාපියන්ද සිතිය යුතුව ඇත.


ඔයාට දැන් මෙතනින් එළියට ගියොත් ජීවත් වෙන්න පුළුවන් විදිහට රැුකියාවක් කරගන්න දේවල් ඉගෙනගෙන තියෙනවාද? අපි ඇගෙන් ඇසුවෙමු.
ඔව්. මම දැන් බතික් වැඩ ඉගෙනගෙන තියෙනවා. සබන් හදන්න දන්නවා. මහන්න, පහන්තිර ගොතන්න ගොඩක් දේවල් දන්නවා. මට මෙතනින් ගොඩක් දේවල් උගන්නලා තියෙන්නේ.


දැන් මෙතනින් යන්නේ කොහාටද?


හොඳ කෙනෙක් හොයලා බන්ඳලා දෙනවා කියලා කියනවා.


දැන් ඔයා බඳින්න බලා බලා ඉන්නේ?


නෑ. තාම මට අවුරුදු විස්සයිනේ. තව ටිකක් වයස ගියාම තමයි බඳින්නේ.


නංගිලා මල්ලිලාට කියන්න ඔයාට පණිවුඩයක් තියෙනවාද?


ඔව්. මං වගේ දෙමාපියන් කියන දේවල් අහන්නේ නැතුව ඉගෙන ගන්න වයසේදී වැරදි දේවල්වලට යොමු වෙන්නේ නැතුව වැඩකරන්න. එහෙම වුණොත් ඔයාලට මට වගේ වරදින එකක් නෑ. මම හිතුවක්කාර වුණ නිසා මගේ මුළු ජීවිතයම අඳුරු වුණා. නිරපරාදේ තරුණ කාලේ මට මේ වගේ තැනක ඉන්න සිදුවුණා.


ඉතිං අපි කාංචනාට මේ සිදුවුණා වගේ දෙයක් වෙන කිසිම කෙනෙකුට නොවේවා කියා ප‍්‍රාර්ථනා කරමින් ඇගෙන් සමුගෙන ආවෙමු. එහෙත් ප‍්‍රාර්ථනාවලින්ම පමණක් හැමදේම සිදුකළ නොහැකිය. ඒවා ඉටුවන පිරිදි අප ක‍්‍රියාකළ යුතුව ඇත. ඒ නිසා මෙය කියවන දෙමාපියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉපයීමම තමන්ගේ වගකීමක් සේ සැලකීමෙන් ඔබ්බට යමින් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් කළ යුතු සමාජමය මෙහෙවර කුමක්දැයි සිතා බලන ලෙසය. නම්, ගම් මනඃකල්පිතය.


තොරතුරු සපයා ගැනීමේදී සහය දුන් බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්‍ෂිකා බී.එච්.සී. ශිරෝමාලී මහත්මියටත් මෙත් සෙවන නිවර්තන නිවාසයේ අධිකාරි ජේ. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තූතිය. 


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »