ගුරුවරු දෙන්නෙක් මිලින කළ මලක්

2015-11-04 10:02:00       828
feature-top
දවස් ගාණක් තිස්සේ ඇදහැළෙන වැස්ස තවම ඉවරයක් ඇත්තෙම නැහැ. ඈත අහසේ නිලක් පේන මානෙකවත් නැහැ. පරිසරය පවා නපුරු වෙලා. පෑන අතට ගත්තත් සිතිවිලි කියන දේ හිරවෙලා. මේ සමාජයේ සිදුවන දේවල් ගත්තම කොතනින් කොහොම පටන් ගන්නද කියලා සිතාගන්න බැහැ. මෙහෙම හිතුණේ පසුගිය දිනක ළමා නිවාසයකදී මට මුණගැහැණු එක්තරා චරිතයක් නිසා.

 

1

ඇයගේ කතාවත් එක්ක මට හිටිහැටියේම මතකයට ආවේ ගුරු ගීතය. සමාජ අවධානයෙන් ගිලිහිච්ච දුෂ්කර ගමක කිසිම ගුරුවරයකු නොගිය ජන ජීවිත අඩාළ වුණ මේ පරිසරයට එකම එක ගුරුවරයකු එනවා. ඒ ගුරුවරයා මේ දරුවන්ගෙ ඇස් පාදන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ අතර එක දක්ෂ ගැහැණු ළමයෙක් ඉන්නවා. ඇය රූමත්. ගුරුවරයාගේ උදව්වෙන් ඇය සමාජයේ ඉහළම තලයකට යනවා. ඒත් එතන ගුරු ගෝල සබඳතාවට වඩා හැංගිච්ච ආදරයක් තියෙනවා. ඒත් ඒ පේ‍්‍රමය රාගයට පෙරළුණේ නැහැ. එහෙම වුණා නම් එදා ගුරු ගීතය නොලියවෙන්න තිබුණා. ඒ ගුරු ගීතය අද ලියවුණා නම් ලියවෙන්නේ රාගය ගැන විතරයි. මේ කතාවත් එක්ක මගේ සිතට ඒ සිතුවිල්ල ඉබේම වගේ ආවා.


පේ‍්‍රමය කියන දේ හරිම පාරිශුද්ධයි. පේ‍්‍රමය හරියට සඳ එළිය වගේ කියලා නන්දා මාලනී විටෙක ගායනා කරනවා. පේ‍්‍රමයට තාරාතිරමක් නැහැ. ආදරය කියන දේ නීත්‍යානුකූලයි කියලා කොහෙවත් ලියවිලා නැහැ. අපට පත්තරයක් ඇතුළේ ආදරේ කියන්නේ මේක මෙහෙමයි කියලා කියන්නත් බැහැ. ඒක සදාචාරාත්මක නැති වෙන්න පුළුවන්. සදාචාරාත්මක නැති වුණත් සිතට යමෙක් ගැන දැනෙනවානම් ඒ ආදරේ සිත සොයනවා. ඒක ස්වභාවිකයි. මේ මහ පොළොවේ සිද්ධ වෙන සමහර දේවල් අසම්මතයි. නොවිය යුතු දේවල් බොහොමයි. මේ දේවල්වල නියමුවා කවුරුන් දැයි කියන්න අපට තේරෙන්නෙ නැහැ. මේ මහ පොළොවේ සිදුවෙන දේවල් ගැන තීන්දු තීරණ ගන්නේ කවුරුන් ද කියලත් අපි දන්නේ නැහැ.


සමහර තීන්දු තියෙනවා ගත්තට පස්සෙ ආයෙ ආයෙම ඒ ගැන තැවි තැවී ජීවත් වෙනවා. පේ‍්‍රමය කියන දේ ගෞරවනීයයි වගේම මේ ජඩ සමාජයේ සිදුවන දේවල් එක්ක පේ‍්‍රමය රාගයට පෙරළෙන්න ගත වෙන්නේ තත්පර ගාණයි.


රාගය කියන්නේ ගින්නක්. මේක ඉක්මනට ඇවිලෙනවා. හැබැයි මතක තියාගන්න ගින්න ඉක්මනට නිවෙනවා, ඒත් රාගය මුළු ජීවිතේ අවුලවනවා කියලා. සිත හරිම හිතුවක්කාරයි. පාලනය කරගන්න බැහැ. ඒ විදිහට ඇසුණු මේ කතාව තවත් එක අවනඩුවක් විතරයි. මේ කතාව සමාජය හමුවට වැරදි විදිහට එන්නේ හරි පුදුම විදිහට. මේ කතාව ලියන්නේ එවැනි කතාවක් නොඇසෙන්නට තිබුණා නම් හොඳයි වගේම නොවිය යුතු දේවල් නැවත නොඇසෙන්නට නොලැබෙනවා යැයි හිතාගෙන. විශේෂයෙන් මාපියන් ඒ වගේම ගුරුවරුන් වැඩිහිටියන් හිත කියන දේට  ඕන  ඕන විදිහට හැසිරෙන්න දුන්නොත් මේ සමාජය යන අත හිතාගන්නත් අමාරුයි.


මේ කරන්නේ ඇගේ අවනඩුව සමාජය ඉදිරියේ පාපොච්ඡුාරණයක් කිරීමක් නෙමෙයි. මෙවැනි සිදුවීමක් ඔබට සිදුවෙලා ඇති. සිදු වෙන්න පුළුවන්. එක ජීවිතයක් හෝ මේ ඉරණමෙන් ගලවා ගන්න පුළුවන්නම් අපට අවශ්‍ය එයයි.


ගාමිණිත්, වසන්තිත් පළාත් දෙකක වුවත් රැුකියා අවශ්‍යතාව නිසාම විවාහයෙන් පස්සේ ඔවුන්ගේ කැදැල්ල තැනුණේ කොළඹට යාබද ප‍්‍රදේශයක. මොකද ඒ වන විට වසන්ති කොළඹට යාබද පාසලක ගුරුවරියක ලෙස සේවය කිරීමත් පදිංචිය වෙනස් කිරීමට ප‍්‍රධාන හේතුවක් වුණා. වසර කිහිපයකට පස්සේ කැදැල්ලට එක් වුණු පුංචි සිඟිත්තිය ශානිකා. ශානිකා සූරියආරච්චි. දියණියක් ඉපදීම ගාමිණීගෙත් වසන්තිගෙත් සිතට විශාල සතුටක් ගෙන දුන්නත් ඒ සතුට එක්කම හිසමත මහා බරක් පැටවුණු බවත් ගාමිණීට වඩා වසන්තිගේ සිතට බොහෝ සෙයින් දැනුණා. මොකද ගැහැණු දරුවෙක් කියන්නේ  ඕනම අම්මෙකුගෙ සිතට දැනෙන ලොකු වගකීමක්.


රැුකියාවත් එක්ක මේ වගකීම පැහැර හැරේවි යැයි ඇය නිතරම තම ස්වාමියා සමග කතා බහ කළා.


- ඕනැවට වඩා  ඕනැම දෙයක් ගැන හිතන්න එපා වසන්ති


-මොකද මේ සමාජයේ මේ විදිහට ජීවත් වෙන එකම දරුවා අපේ දරුවා විතරක් නෙමෙයිනේ. ළමයින්ට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම් ගන්න ඉඩ දෙන්න  ඕනැ


-නැත්නම් අපි නැති කාලෙක ඔය ළමයින්ට මැරෙන්න තමයි වෙන්නේ


වසන්තිගේ සමහර ක‍්‍රියාකලාපයන්වලට ගාමිණී ප‍්‍රතිචාර දැක්වූයේ ඔය විදිහට. එකම දියණිය නිසා ඇය ශානිකාට  ඕනවට වඩා රැුකවරණය දුන්නා. සමහර අවස්ථාවල අම්මගේ රැකවරණය ශානිකාට මානසික පීඩනයක් පවා ගෙන දුන්නා. ඒ කොහොම වුණත් ජීවත් වීමට සුදුසු පරිසරයක් වටපිටාවක් මේ නිවස තුළ උපරිමයෙන්ම තිබුණා. මන්ද ඇයට කුඩා කාලයේ සිටම අධ්‍යාපනික වටපිටාවක් තිබුණ නිසා. ඇය අධ්‍යාපනයට බොහෝ සෙයින් ඇලූම් කළා. ඒ වගේම ඇය අධ්‍යාපනයට විශිෂ්ට දක්ෂතා පෙන්වමින් ශිෂ්‍යත්ව කඩඉමද ඉහළින්ම සමත් වුණා. ඒ සතුට එදා වසන්තිට තරම් ගාමිණීටවත් දැනුණේ නැහැ.
-දෙයියනේ කියලා කෙල්ලව මම යන පාසලටම දැන් දාගන්න පුළුවන්. හිතට බයක් නැහැ ඇහැට පේන්න ඉන්නවනේ


අම්මකෙුගේ ආදරේ වචනවලට පෙරළන්න බැහැ. වසන්තිගේ දරු සෙනෙහස විටින් විට පිට කළේ ඔය විදියට. දවසින් දවස උස් මහත් වෙන ශානිකා දෙස වසන්ති බලාගෙන හිටියේ බලාපොරොත්තු දහසක් හිතේ තදකරගෙන. කාලය දින සති මාස අවුරුදු ගෙවිලා ගියේ හරියට අද ඊයේ වගේ. ඒත් වසන්තිට ඇය පුංචි දරුවෙක් වගේ. එහෙත් ඇය දැන් ළමිස්සියක්. ඉඟි බිඟි කරන යොවුන් පේ‍්‍රමය ඇයටත් දැනෙනවා කියලා වසන්ති හිතින් සිතුවත් වසන්ති ජීවත් වුණේ මගේ කෙල්ල තවම පොඩි එකෙක් කියලා හිතාගෙන. මල්වර වියේ පසුවන ශානිකා උපතින්ම රැුගෙන ආපු රූපශ‍්‍රිය ඇයට ගෙනදුන්නේ දකින්නෙකුගේ දෑස් විකසිත කරනසුළු අලංකාර රූපයක්. සැබැවින්ම ඇය රූමත්. යොවුන් දියණියගේ රූමත්භාවය වසන්තිගේ හිතට භයංකර බවක් නොදැනුණාම නොවෙයි.


මෙතනින් එහාට ශානිකාගේ ඉරණම අපට කිව්වේ මේ විදිහට.


-මම ගෙදරින් පිට ටියුෂන් පන්ති ගියේ නැහැ. හැම ගුරුවරයාම අම්මා ගෙදරට ගෙන්නුවා. මෙම ගුරුවරු අතර මට උගන්නපු ඉංග‍්‍රීසි සර් ටිකක් තරුණ කෙනෙක්. මොන ගුරුවරයා ආවත් අම්මවත් තාත්තවත් ඒ කාමරේට නිතර ආවේ ගියේ නැහැ. අම්මා උපරිම ආවේ සර්ට තේ එකක් දෙන්න විතරයි. සර්ගේ නම නම් කියන්න බැහැ. එයා ඉංග‍්‍රීසි ගුරුවරයෙක්. පාඩම් කියා දෙන කොට මුලින්ම මගේ අතින් ඇල්ලූවා. ඔය විදියට මාස තුනක් විතර කවුරුත් නැති වෙලාවට මට විවිධ අයුතු බලපෑම් කළා. ඒ දේවල් එක්ක මම සර් එක්ක පේ‍්‍රමයකට පෙළඹුණා. ඒක හරි අමුතු හැඟීමක්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒත් හදිසියේම පන්ති වෙලාව වෙනස් කරන්න වුණා. මගේ අම්මගේ අත්‍යවශ්‍ය වුවමනාවක් නිසා. අම්මා වෙන්කරලා දුන්න වෙලාවට ඒ සර්ට වෙනත් ක්ලාස් එකක් නිසා එන්න අමාරු වුණා. ඒ වෙනකොට මම අ.පො.ස. සාමාන්‍ය පෙළට සූදානම් වෙමින් සිටියේ. මම ඉගෙන ගත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා අනෙක් විෂයන්වලට වගේම ඉංග‍්‍රීසි විෂයට හොඳ ගුරුවරයෙක් අම්මා සෙව්වා. ඒ අතර තුර මට උගන්නපු ඉංග‍්‍රීසි සර් එයාගේ අඩුවට වෙනත් ඉංග‍්‍රීසි ගුරුවරයෙක් ගෙන්නලා දුන්නා. ඒ ඇතිවේගෙන ආපු අමුතු හැඟීම ක්ලාස් එක නතර වීමත් එක්ක නැති වෙලා ගියා.


ඒ වෙනුවට ආපු අලූත් ඉංගී‍්‍රසි සර් හිටපු කෙනාට වඩා ගොඩක් තරුණයි. ඇත්තම කියනවානම් මගේ හිතට මොකක්දෝ දෙයක් දැනුණා. ටික දවසක් යද්දි ඔහුත් විවිධ අයුතු යෝජනා ගෙනාවා. මම ඒ දේවල්වලට ගොඩාක් බය වුණා. මාව විවිධ දේවල්වලට පොලඹවා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ දේවල් මම ප‍්‍රතික්ෂේප කරපු එක අවස්ථාව ඔහු කෙළින්ම කිව්වා කලින් ඉංගී‍්‍රීසි සර් එක්ක තිබුණු සම්බන්ධය මම දන්නවා. ඔහුව ප‍්‍රතික්ෂේප කළොත් ඒ දේවල් හැමෝටම කියනවා කියලා. මුලදි මම අකමැති වුණත් ඒ දේවල් අම්මටයි අප්පච්චිටයි කියාවි කියලා බයට මම ඔහු කළ යෝජනාවලට කැමැති වුණා.


ශානිකාට වැරදුන තැන කොතැනද කියලා හිතා ගන්න බැරුවයි ඒ වෙනකොටත් ඇය ජීවත් වුණේ. ශානිකාට ටියුෂන් දීපු පෙර ගුරුවරයා ඇයට කරපු කියපු හැම දේම ඔහුගේ මිතුරෙකු වූ පසු ගුරුවරයාට සියල්ල හෙළි කළා. පෙර ගුරුවරයා කළේ ඇත්තටම පේ‍්‍රමයක් විතරයි. එතැනින් එහාට ඇයට කිසිදු හානියක් සිදු කළේ නැහැ. එහෙත් පෙර ගුරුවරයා ඔහුගේ මිතුරාට ශානිකාව භාර දෙන්නේ නියම ගුරු ගෝල සබඳතාවයකින් නොව මාපියන් ඉදිරියේ ඔහු රංගනයේ යෙදුණේ පැහැර හැරෙන වගකීම තම මිතුරු ගුරුවරයා ලවා කරදෙන්නට උත්සාහ ගන්නා වෑයමක් ලෙසිනි.


එහෙත් හඳුනා ගත් මිතුරු ගුරුවරයාට ඔහු ශානිකා භාරකරන්නේ -උඹ  ඕන දෙයක් කරගනින්. හැබැයි පරෙස්සමෙන් යන උපදෙස්ද මතය. සියල්ල හෙළි වේවි යැයි බියට ඇය ඉංග‍්‍රීසි ගුරුවරයාගේ ආශාවන්වලට බිලි වූවාය. බරපතළ ලෙස දූෂණයන්ට ලක් වුවද ශානිකා සියල්ල දරාගෙන දින ගණනාවක්ම ඒ අවස්ථාවන්ට මුහුණ දීමට ඇයට සිදුවිය. එය එතැනින් අවසන් වූයේ නැත. ඔහු මෙලෙස ඇයව බිල්ලට ගත්තේ පෙර ගුරුවරයාගෙන් ඇය අතවරයට ලක්වී අතැයි යන නිගමනය පරිදිය.


එහෙත් සිදු වූයේ හාත්පසින්ම වෙනස් වූ සිදුවීමකි. ඇය දූෂණය වී ඇත්තේ ඇයව හඳුන්වාදුන් මිතුරු ගුරුවරයාගෙන් නොව තමන්ගෙන් බව දැනගත් ඔහු යම් හෙයකින් මෙය පිටතට පැමිණියොත් යැයි ඔහුගේම ආත්ම ආරක්ෂාව පතා ගුරුවරයා සූක්ෂ්ම විය.


ඒ වෙනදා මෙන් ශානිකා අපහරණයට ලක් කරන අවස්ථාවේ ඇයගේ නිරුවත් ඡුායාරූප ලබාගන්නේ ඇයටත් නොදැනීමය. එලෙස ගත් ඡුායාරූප පෙන්වා ශානිකා බියවද්දන්නේ සිදුවූ කිසිවක් යම් හෙයකින් කිසිවෙකුටත් පැවසුවහොත් සියල්ල අන්තර්ජාලයට මුදාහරින බව කියමිනි.


සිද්ධ වුණ කිසිම දෙයක් මම කිසිම කෙනෙකුට කිව්වෙ නැහැ. මගේ ගරුත්වය සර් ඉදිරියේ පූජා කළ දවසේ මාව එයාගේ කරගන්නවා කියලා මාව හීන ලෝකෙක පා කෙරෙව්වා. දිගින් දිගටම ඒ දේවල්වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. දවසක් මට කිව්වා සර්ගෙ ෆෝන් එක නැති වෙලා ඒකේ  ඕන කරන තොරතුරු වගයක් තියෙනවා. පිට කෙනෙක් අතට ගියොත් ඔක්කොම ඉවරයි කියලා. මම දැනන් හිටියෙ නැහැ මගේ පින්තූර සර්ගේ ෆෝන් එකේ තියෙනවා කියලා. ඒ සිද්ධිය වෙලා දවස් දෙකකට විතර පස්සේ ලැප්ටොප් එකතුත් අරන් වෙනදා වගේ මට ක්ලාස් කරන්න ආවා. ඇවිල්ලා මගේ පින්තූර වගයක් ලැප් එකේ තිබිලා මට පෙන්වලා කිව්වා සිද්ධ වුණ දේවල් කාට හරි කියලා තිබුණොත් ඒ පින්තූර හැමෝටම පෙන්නනවා කිව්වා.


මට ඒ වෙලාවේ මුකුත්ම හිතාගන්න බැරි වුණා. සර් හරිම ආවේගයෙන් කථා කළා. මේ දේවල් නිසා මම මානසිකව හරියට විඳෙව්වා. මම නොකා නොබී කල්පනා කරපු දවස් අනන්තයි. අප‍්‍රමාණයි. දෙමාපියෝ ඉස්සරහා සැහැල්ලූවෙන් ඉන්න ලොකු උත්සාහයක් ගත්තා.


ඒ වෙනකොට ශානිකාගේ ලස්සන ජීවිතේ කඳුළු කථාවක් වෙලා ඉවරයි. නැතිවුණ ජංගම දුරකථනය එක්තරා පුද්ගලයකුගෙ අතට පත් වෙන්නේ ප‍්‍රසිද්ධ ටියුෂන් පන්ති පවත්වන ආයතනයකදී. ඔහු ජංගම දුරකථනයේ තියෙන ඡුායාරූප අන්තර්ජාලයට දාන්න දෙවරක් සිතුවේ නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සී.ඞී. තැටියකුත් නිකුත් කරලා සල්ලි හොයා ගන්නත් ඒ තිරිසනා යොමු වුණා. මේ විකුණන්නේ අහිංසක ගැහැණු ළමයෙකුගේ ආත්මය නේද කියලා ඒ තිරිසනාට දැනෙන්න හිතක් තිබුණේ නැහැ. අන්තර්ජාලයට මුදාහැරපු ශානිකාගේ ඡායාරූප පාසලේ යාළුවන්ගේ මුහුණ පොත හරහා ගිණුමෙන් ගිණුමට මාරු වුණා. පාසලේ ආන්දෝලනාත්මකව පැතිරුණා. ශානිකාගේ මව එම පාසලේම විද්‍යා ගුරුවරිය. ශානිකා පාසලෙන් ඉවත් කරනවා. නීතිමය පරීක්ෂණ කටයුතුවලින් ජංගම දුරකථනයේ නියම හිමිකරුවා හෙළි වෙනවා. ඔහු සියල්ල පාපොච්ඡුාරණය කිරීමෙන් ගුරුවරුන් දෙදෙනාම නීතියේ රැහැනට හසුවුණත් ශානිකා පරිවාසභාරයට පත්වෙනවා. මලක් වගේ හදපු දියණිය අද පරිවාසභාරයේ. ඒ අම්මගේ හදවතේ දැනෙන වේදනාව ඔබට නොදැනෙන්න පුළුවන්. ඒ ශානිකා ඔබේ දරුවෙක් නොවන නිසා. ඒ අම්මා හදවතින් පිච්චි පිච්චි ගෙවන ජීවිතේ හෙට දවසේ තවත් මවකගේ හිතේ දැවෙන්න ඉඩ තියන්න එපා. අද ශානිකා බිත්ති හතරකට කොටුවෙලා මැරි මැරී ජීවත් වෙනවා. මේ මහ පොළොව උඩ ඔබ මා නොදන්නා බොහෝ දේවල් තියෙනවා. මේ හමාගෙන එන සුළඟවත් බිමට පතිත වෙන වැහි පොදක්වත් ඔබ මා හිතන තරමටම සුවදායක නැහැ. මෙය සත්‍ය සිදුවීමක් අළලා ලියවුණු කථාවක් බව කරුණාවෙන් සලකන්න.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »