නමින් යක් වුවද පෙනුමින් ලස්සන කටුස්සන්ගේ ඉරණම කෙසේ වේද?

2015-10-28 10:24:00       843
feature-top
සෑම දෙයකම සාර්ථකත්වය රඳා පවතින්නේ පෙර සූදානම මත ය. එවැනි සූදානමකින් තොර විණි නම් එය අසාර්ථක වන්නේ ය.

කොන්ෆියුසියස්

ලෝකයට අවතාර නිර්මාණ්‍ය කළ ඒ නිසාම මිනිස් සිත්හි මහත් වූ බියක් ජනිත කළා වූ සත්ත්ව විශේෂ ලොව බොහෝ රටවල දී හමු වේ. අප රට තුළ ද එය එසේ ම ය. එහෙත් යම් අවස්ථාවක දී මේ සතුන් ස්වාභාවික ලෝකයේ දී අපට හමු වුණොත්, එසේ නැත්නම් සත්ත්ව විද්‍යාඥයින් හෝ පරිසර ‍වේදීන් වශයෙන් ඔවුන් ගැන අධ්‍යයනයකට යෑමට සිදු වුණහොත් එතෙක් අප තුළ භීතියේ ප්‍රතිරූප බවට පත්ව සිටි ඒ සතුන් කොතරම් අහිංසක දැයි සිතෙනු ඇත්තේ ලැජ්ජාශීලි සිනාවක් ද ඇති කරවමිනි. ශ්‍රී ලංකාවේ වනාන්තරවල දකින්නට ලැබෙන යක් කටුස්සා සහ බෝදිලිමා මේ සඳහා කදිම උදාහරණ වේ.

කටුස්සා යනු අමුතුවෙන් හඳුන්වා දිය යුතු සත්ත්ව විශේෂයක් නොවුණත් යක් කටුස්සා ගැන නම් එසේ කිව නොහැකිය. ගැටහොඹු කටුස්සා, කරමල් බෝදිලිමා යනුවෙන් ද හඳුනා ගැනෙන මේ සත්ත්වයා Agamidac කුලයට අයත් ය. විද්‍යාත්මක නම ලිරියොසෙෆාලස් ස්කුටවස් ය. මොවුන් සම්බන්ධයෙන් ඇති විශේෂත්වය ඔවුන් ලංකාවට ආවේණික වීමම නොවේ. ඔවුන් වසන පරිසර පද්ධතිය ද ලංකාවට ආවේණික වීමයි. මේ අනුව ඒ ගණය යටතේ විස්තර කෙරෙන්නේ මුළු ලෝකයෙන් ම එක් විශේෂයක් පමණි. ඒ අනුව යක් කටුස්සා ගැන මිනිසුන් අතර ඇති යක් ප්‍රතිරූපය ද ලංකාවට ම ආවේණික වූවක් විය හැකි ය.

නමට අනුව යක් ප්‍රතිරූපයක් තිබුණ ද විචිත්‍ර වර්ණ විවිධත්වයක් ඇති මේ සත්ත්වයා ශරීරයේ හැඩය මෙන් ම චර්යා ස්වභාවය හේතු කොට ගෙන ද පරිසරවේදීන්ගේ වැඩි අවධානයක් දිනා ගනියි. යටිහණුව ඉදිරියෙන් පටන් ගන්නා තැල්ලක් වැනි පිහිටීම ඌට අලංකාරයක් එක් කරමින් සිරුරේ පසු පෙදෙස දක්වා ම විහිද ඇති අයුරු දැකිය හැකිය. හිස මුදුනේ ඇති මොල්ලිය දෙපසට බෙදුණක් මෙන් දැකිය හැකි ය.

යක් කටුස්සා සිය නමට නොගැළපෙන ආකාරයේ අපූර්ව වර්ණ සංකලනයකට හිමිකම් කියයි. මූලිකවම කොළ පැහැයෙන් යුක්ත වුණත්, අළු, දුඹුරු, කහ, කාකි පැහැයෙන් යුත් කොළ වශයෙන් පුළුල් වර්ණ පරාසයකින් පෙනී සිටීමට ඌට පුළුවන. මොහුව විචිත්‍ර වර්ණ අලංකාරයක් ලෙසින් රූපගත කරන්නට නම් හොඳ ඉවසීමක් ඒ ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ය. ඒ, ඌ සිය පෘෂ්ඨීය පෙදෙස ද ළා කොළ පැහැයට හරවා ගන්නා අවස්ථාව එන තෙක් බලා සිටීමට ය. එවිට උගේ උදර ප්‍රදේශය දීප්තිමත් ළා නිල් පැහැයකටත්, ගෙල හා බැඳුණු තැල්ල දිලිසෙන සුලු කහ වර්ණයකටත් හැරෙයි. දෙනෙත් රත් පැහැයෙන් දිස් වේ. කෙසේ වෙතත් මේ වර්ණ විචිත්‍රත්වය ආලෝකය සහ අඳුර අනුව වෙනස් වන බව ද දැන සිටීම වැදගත් ය. ඒ අනුව අඳුරු පරිසරයක ළැග සිටින යක් කටුස්සකු ගෙන් අපට දැකිය හැකි වන්නේ දුඹුරු පැහැයෙන් ද අළු සහ කාකි කොළ පැහැයෙන් ද යුත් දුක්මුසු වර්ණ සංකලනයකි.

වනාන්තරයක ඇවිද යන්නෙකුට තරමක් එළිමහන් ස්ථානයක දී මේ කටුසු විශේෂය දැකිය හැකි ය. ඇතැම් විට තෙත් වනාන්තර ඇසුරේ ඇති රබර් වතුවලදී ද හමුවෙතත් ඒ ඉතා කලාතුරකිනි.

මේ සත්ත්ව විශේෂය ගැන නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිසරවේදී සජීව චාමිකර, වරක් සූරියකන්ද - දෙණියාය මාර්ගයේ ඉත්තකන්ද ප්‍රදේශයේ ජනාවාස ආශ්‍රිත ප්‍රධාන මාර්ගයක් අසල දී යක් කටුස්සෙකු තමාට හමුවූවායැයි පවසයි. ඒ අවස්ථාවේ දී බිය වීම නිසා වැල් සහිත ශාක වලින් වැසුණු විශාල ගසක් කරා දිවගොස් එහි කොළ අතු අතරේ සැඟවෙන්නට එම සත්ත්වයා ගත් උත්සාහය ගැන ද ඔහු සිය වාර්තාවේ ලා මෙසේ පැහැදිලි කරයි. මෙවැනි චර්යා රටාවක් මේ කටුස්සාගෙන් මට දැකගන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. තෙත් වනාන්තර ඇසුරේ වාසය කළත්, එළි පෙහෙළි වන තෙත් වනාන්තර හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල පරිසරවලට ක්‍රමයෙන් අනුවර්තනය වෙමින් ජීවත් වෙන සත්ත්වයෙකු ලෙසින් ද මොහු හඳුනාගෙන තිබේ.

යක් කටුස්සා බිය වූ විට දක්වන අපූරු හැසිරීම ගැන ද මෙහි දී සිහි කිරීම වටී. ඒ අනුව හදිසියෙන්ම බියපත් වූ විට සිය මුඛ්‍ය විවෘත කොට එහි අභ්‍යන්තරයේ ඇති දීප්තිමත් රත් පැහැය හොඳින් ප්‍රදර්ශනය වන අයුරින් හැසිරෙනු නිරීක්ෂණය කොට තිබේ. යක් කටුස්සා සිය සතුරු පාර්ශ්වයට යක් බව ප්‍රදර්ශනය කරන්නේ එසේ ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි. මේ අතර ඇතැම් පොත්පත්වල තදින් බියට පත් වූ අවස්ථාවලදී සිය ශරීරය දරදඬු කොට ගනිමින් බිමට පැන මළාක් මෙන් වැතිර සිටින්නේ යැයි සඳහන් වෙතත් ඔවුන් එසේ හැසිරෙනු තමා කිසි විටෙකත් දැක නැතැයි චාමිකර මහතා පවසයි. එහෙත් යක් කටුස්සා බිම ලැග සිටින අවස්ථාවකදී බියපත් වූ විට අර කී අන්දමට සිරුර දරදඬු කරගනිමින් එසේ මළාක් මෙන් වැතිර සිටින අයුරු නිරීක්ෂණය කළ අවස්ථා තිබේ.

යක් කටුස්සන්ගේ පිරිමි සතුන් ගැහැනු සතුන් මෙන් නොවේ. ඔවුන් කලහකාරී ය. වඩාත් ම බිය වූ විට සිය රත් පැහැ මුඛය විවෘත කොට සපා කෑමට පවා යක් කටුස්සන් යොමු වෙන බවට වාර්තා වී ඇත. ඒ අවස්ථාවේ දී යක් කටුස්සා සිය සිරුර පුම්බා ගෙන තැල්ල මෙන් ම හිස මත පැතලි මොල්ලිය ද විහිදුවාගෙන සිටිනු තමන් කන්නැලිය වන පෙතේ දී නිරීක්ෂණය කළේ යැයි පරිසරවේදී චාමිකර පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ආහාර ගැනීමට අදාළව ද සජීවගේ නිරීක්ෂණය වැදගත් එකක් යැයි සිතේ.

මේ සතුන් ඉතා සෙමෙන් ගමන් කරන කුලෑටි ක්‍රියාශීලී බවින් අඩු සතුන් ලෙස බොහෝ විට දැකගත හැකි වුව ද චලනය වන ගොදුරක් පසුපස හඹා ගොස් අල්ලා ගන්නා අවස්ථා ද දක්නට ලැබී ඇත. කිතුල්ගල කැලණිවැලි රක්ෂිතය තුළ එක් අවස්ථාවක දී සිහින් වැලකින් එල්ලෙන කෝටුවක් මත පො‍ෙළාවට අඩි 4 ක් පමණ ඉහළින් ලැග සිටි මේ කටුස්සකු මීටර් 10 ක් පමණ දුරින් ස්ථානයක පොළව ආසන්නයේ පියාඹමින් සිටි කෘමි සතකු පසු, පස ක්ෂණිකව වේගයෙන් හඹා ගොස් අල්ලා ගනු දැකගත හැකි විය. ඒ අවස්ථාවේ දිගු වේලාවක් නිසොල්මන්ව ලැග සිටි කටුස්සා එක්වරම අඩි 4 ක් පමණ උසක සිට බිමට පැන වේගයෙන් දුව යනු දැකගන්නට ලැබිණි.

බෝදිලිමා යනුවෙන් අප හඳුනාගන්නේ ලොව පුරා විශේෂ 185 ක් පමණ වෙසෙන සත්ත්ව කොට්ඨාසයකි. කෙසේ වෙතත් කැමෙලිඕ ගණයට අයත් වන්නේ ආසියාකරයේ සහ අප්‍රිකානු කලාපයේ වෙසෙන බෝදිලිමුන් ය. සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් ශරීර වර්ණය දැකගත හැකි වුව ද පැහැය වෙනස් කර ගැනීමට ඇති සමත් බව සුවිශේෂ හැකියාවක් ලෙසින් සැලැකේ. බොහෝ බෝදිලිමුන්ගේ හිස මුදුනේ ඔටුන්නක් වැනි පිහිටීමක් දැකිය හැකි ය. විටෙක එය දිස්වන්නේ අඟක් මෙනි.

කැඕලිඕ සෙලනිකස් නමින් හැඳින්වෙන මෙරට වෙසෙන බෝදිලිමා ඉන්දියාවේ ද වාසය කරයි. කලාතුරකින් පකිස්ථානයෙන් ද හමුවන බවට වාර්තා වේ. කෙසේ වෙතත් අප රටේ වෙසෙන්න වූන් මේ වන විටත් වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙසින් රතු දත්ත ලේඛනයට ඇතුළත් වී හමාරය.

සිංහල බසින් බෝදිලියා යනුවෙන් ද හැඳින්වෙන මොවුන්ට දමිළ බසින් කොම්බි යැයි කියයි. ඇතැම් අවස්ථාවල ඔන්ති වශයෙන් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් සිය ශරීර වර්ණය වෙනස් කරන සතුන්ගේ එම ක්‍රියාව ආරක්ෂක උපක්‍රමයක් වශයෙන් හඳුනාගත්තත් බෝදිලිමුන්ගේ ඒ කාර්යය හඳුනාගෙන ඇත්තේ ඔවුනොවුන් අතර සිදු කෙරෙන සන්නිවේදනයක් ලෙසිනි. එමෙන් ම සිය ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීමේ ක්‍රමෝපායක් ලෙසින් ද එය හඳුනා‍ගෙන තිබේ. මේ තොරතුරු අප ලබාගන්නේ ඩී. එම්. සමීර, එස්. කරුණාරත්න, කසුන් අමරසිංහ විසින් සකස් කළ නිරීක්ෂණ වාර්තාවකිනි. එහි දී ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙසේ ද පෙන්වා දී තිබේ. තද පැහැය ළා පැහැයට වඩා තාපය උරා ගන්නා බැවින් උෂ්ණත්වය පාලනය කරගත හැකි චලතාපී සතුන්ට ශරීර උෂ්ණත්වය යාමනයට පැහැය වෙනස් කිරීම ඉතා වැදගත් ය.

බෝදිලිමුන් සතුව සුවිශේෂ ශරීර අවයව තුනක් තිබේ. එකක් ඔවුන්ගේ දිගු දිව යි. අනික වාලධිය යි. තෙවැන්න අක්ෂි යුගල යි. මේවා වෙන වෙනම හඳුනා ගැනීම වැදගත් ය.

බෝදිලිමාට ඉතා දිගු දිවක් ඇත. එමෙන් ම එය මැලියම් තැවරූ කලෙක මෙන් ඇලෙන සුලු ය. ඒ අනුව ගොදුරක් දුටු සැණින් වේගයෙන් එය ඒ කරා දිව යන්නේ බෝදිලිමා නොවේ උගේ දිගු දිව යි. අවසන් ප්‍රතිඵලය වන්නේ හැන්දක් වැනි ඒ දිවේ ඇලෙන ඒ ගොදුර මුඛය තුළට වැදී අතුරුදන් වීම යි.

බෝදිලිමාගේ වල්ගය සෙසු එවැනි සතුන්ගේ වල්ගාවලට සාපේක්ෂව සුවිශේෂ කාර්යයක් ඉටු කරයි. කොහොමටත් උදාසීන බවක් පළ කරමින් ඉතා සෙමින් ගමන් කරන මොවුන් ගස්වල අතු තදින් අල්ලා ගැනීමට ප්‍රධාන වශයෙන් ම උපයෝගී කරගන්නේ වල්ගය යි. ඒ හැරුණු කල පාදයන්හි ඇඟිලිත් ඊට උපකාර කර ගනියි.

ඔවුන් ගේ ඇස්වල පිහිටීම ද විශේෂත්වයක් ගනියි. ඒ අනුව ඇස් එකිනෙකින් ස්වාධීනව චලනය කිරීමට ඔවුන්ට හැකි ය. මෙය පොදුවේ ගත් කල සෙසු සත්ත්ව වර්ගයාට නොමැති විශේෂ ලක්ෂණයකි.

බෝදිලිමුන් කෘමි භක්ෂකයින් යැයි පොදුවේ සිතා සිටියත් යට කී නිරීක්ෂණ වාර්තාවට අනුව නම් ඔවුහු උභය ජීවින් ද ආහාරයට ගනිති. සිකනලුන් හා හූනන් වැනි පෘෂ්ඨවංශිකයෝ ද ඒ අතර වෙති.

මේ සත්ත්ව විශේෂය ලංකාවේ වියළි කලාපයට සීමා වූවන් යැයි හඳුනාගෙන තිබේ. ඇහිරුණු කටු පඳුරු සහිත ළඳු කැලෑ බිම් මොවුහු සිය වාසස්ථාන බවට පත් කර ගනිති. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 100 ට වඩා උසින් අඩු ප්‍රදේශවල ඔවුන්ගේ පැවැත්ම තහවුරු වී තිබේ. පුත්තලම දිස්ත්‍රික්කයට අයත් එළුවන්කුලම - අරුවක්කාලූ වනපෙත බෝදිලිමුන් බහුලව දැකිය හැකි ප්‍රදේශයක් වුණත්, සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණු ලබා ගැනීම වෙනුවෙන් මේ වන භූමිය එළි පෙහෙළි වෙමින් පවතී. ඒ නිසා තවදුරටත් එම වන ප්‍රදේශය තුළ බෝදිලිමා නම් මේ සුවිශේෂ සත්ත්වයාගේ පැවැත්ම ගැන බලාපොරොත්තු තැබීමට අපට පුළුවන්කමක් නැත. හුණු සෑරීම සඳහා එළි පෙහෙළි කෙරෙන මේ වනාන්තරයේ ඒ සඳහා ඉතා ගැඹුරට හාරන්නේ ද මයෝසීන යුගයට අයත් වසර මිලියන 5 ත් 23 ත් අතර කාල පරාසයකට අයත් පස් තට්ටුවකි. තව ද සුවිශේෂී භූ දර්ශන ඇති වියළි කලාපීය වන බිම්වලින් ද, පළින් පළ දැකිය හැකි විවෘත තැනිතලා, වැලි වැටි, කටු පඳුරු සහිත ළඳු කැලෑවලින් පමණක් නොව විල්ලු මෙන් ම තෙත් බිම් වලින් ද එය සැදී තිබේ. ඒ අනුව මෙවැනි වන පෙතක් මොන ආකාරයෙන් හෝ විනාශයට පත් කිරිම කිසිම කාරණයක් මත සාධාරණීකරණය කිරීම යුක්ති සහගත නොවේ. අනිත් අතට මෙය පුරා විද්‍යාත්මක වටිනාකමක් ද සහිත වන භූමියක් වේ. සමීර, කරුණාරත්න සහ අමරසිංහ යන පරිසරවේදීන් මේ ප්‍රදේශය පුරා ඇවිද බෝදිලිමුන් පිළිබඳව නිරීක්ෂණය කොට ඇත්තේ 2009 වර්ෂයේ අගෝස්තු මස සිට 2010 වර්ෂයේ ජනවාරි මස අතර කාලයේ දී ය.

මේ නිරීක්ෂණය කළ කාලය තුළ දින කිහිපයක දී එක් බෝදිලිමකු විසින් තණකොළ පෙත්තන් 300 ක්, ගිනිකූරන් 20 ක්, බත් කූරන් 10 ක් ආහාරයට ගන්නා ලදී. බෝදිලිමා අප නිරීක්ෂණය කළ පරිදි නිදා ගැනීම සඳහා නැවුම් කොළ පැහැති අතු තෝරා ගන්නා අතර, රාත්‍රියේ නිදා ගනිද්දී හිස ඉදිරි බාහු දෙක මත තබාගෙන සවස පහේ සිට උදෑසන හය දක්වා නිදා ගනී. මේ සත්ත්වයා උදෑසන 10 සිට දහවල් 12 දක්වා ඉතාමත් ම ක්‍රියාකාරීව සිටින අතර, අනෙකුත් වේලාවන් හිදී ඉතාම උදාසීන ස්වභාවයෙන් පසු වේ. සමහර අවස්ථාවලදී මොවුන් පොළව මතින් මීටර් පහක පමණ දුරක් ඇවිද ගිය ද ඔවුහු ඉතා මන්දගාමී වෙති. අන්තරාකාරී අවස්ථාවන් හිදී ඔවුහු ආරක්ෂාව සඳහා මුඛය විවර කර වේගයෙන් පිඹින අතර දේහ වර්ණය ළා කොළ පැහැයේ සිට කළු පැහැයට හුරු කොළ පැහැය දක්වා වෙනස් කරති. අල්ලා ගත් විට ඔවුහු අපගේ අත් තදින් අල්ලා ගනිමින් වලිගය නිදහස් කර චලනය කරති.

කෙසේ වෙතත් ස්වභාව ධර්මයෙන් උගත් කිසිදු ආරක්ෂක උපායකින්වත් වැඩක් නැති තැනට බෝදිලිමුන්ගේ පැවැත්ම අද වන විට පත්ව තිබේ. ඔවුන් විනාශයේ ආසන්නතාවට ගමන් කොට තිබේ. වනාන්තර එළි වීම නිසා වාසස්ථාන අහිමි වීම, හුණුගල් කැඩීම, පිපිරවීම නිසා මේ සතුන්ගේ පැවැත්ම නිහඬවම අවසන් වෙමින් තිබේ. ඇතැම් සතුන් රථවාහනවලට යට වී මිය යන ආකාරය ද නිරීක්ෂණය කොට තිබේ.

අප මුලින් කතා කළ යක් කටුස්සාගේ ඉරණම ද මීට වෙනස් නොවේ. රටකට සංවර්ධනය අවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් එතැන දී නිසි අයුරින් පාරිසරික කළමනාකරණයක් කෙරෙනවා ද යන්න නම් විවාදාත්මක ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »