බුලත් කුමට කස්තුරි කපුරු කන මට

2015-10-21 11:22:00       827
feature-top
සිංහල රාජවංශ කතාවේ අවසාන යුගයේ තරමක් දීප්තිමත් රාජ චරිතයක් වූ දෙවන විමලධර්මසූරිය රජුගේ පුත් වූ, වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ කුමරු මලය රට රාජ උරුමය ලැබුවේය. කුණ්ඩසාලේ කුමරු, සෙල්ලම් කුමරු ආදී උප නම්වලින් නම් කළ නරේන්ද්‍ර සිංහ රජු හැබෑම සෙල්ලක්කාර රජෙක් වූයේය.

1  


රජතුමා මහනුවර රජ මාළිගාවේ සිටි කාලයට වඩා වැඩි කාල පරාසයක් ගතකර ඇත්තේ ගමන් මාළිගාවලය.

 

මහවැලි නදියෙන් පෝෂණය වූ රමණීය දුම්බර මිටියාවතේ පිහිටි කුණ්ඩසාලේ නුවර මාලිගාවක් කරවා රජ සිරි වින්දේය.

PAGE_2_RASA

කුණ්ඩසාලේ මාලිගාව, හඟුරන්කෙත මාලිගාව, පොද්දල්ගොඩ ගම, ඉහළ හීල් ඔයේ මාලිගාව, මැද මහ නුවර මාලිගාව, හුන්නස්ගිරියේ චන්ද්‍රමුඛී නම් වූ ගල් ගුහාවක් ද ගමන් මාලිගා ලෙස භාවිත කළේය.


රජකම හා රාජ්‍ය පාලනය සරල වගකීමක් ලෙස සැලකූ රජු තම පෞද්ගලික වින්දනය ජීවිතය කර ගත්තේය. රාජ වේශයෙන් වසන් වී සාමාන්‍ය පුරවැසියෙකු සේ සැරසී රජු යන ගමන් බිමන් ජන කවියෙන් වසන් වූයේ නැත. ඒ නිසා මේ රාජකීය නුරා ගමන් ජන කවියත් ජනශ‍්‍රැතියත් පෝෂණය කරමින් අපරාජිතව දැයේ සලකුණ වී පවතින්නේය.


අතීතයේ දිනක කුණ්ඩසාලේ කුමරු හෙවත් සෙල්ලම් නිරිදු නම් වූ නරේන්ද්‍රසිංහ රජු රාජකීය වේශය හැරපියා සාමාන්‍ය ගැමියකු සේ සැරසී ගමනට පිටත් වූයේ බුලත් මඩිස්සලය පමණක් අතැතිවය. මැද මහනුවර ගමන් මාලිගයේ සිට, මීමුරේ ගමන් යන්නට පිටත් වූයේ පරිසරය වින්දනය කරමිනි. දුෂ්කර ගමන් මාර්ගයක් වුවද දුම්බර කඳුවැටිය හරහා අඩි පාරවල් මීමුරේ ගම දක්වා වැටී තිබුණේ ගම්මුන් ආව ගිය බැවිනි.


මීමුරේ යනු, නකල්ස් රක්‍ෂිතයේ දුර ඈත කෙළවරකි. බට දඬු කඳුවැටියේ දුෂ්කර මායිමක පිහිටි ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. සිසිල් සෞම්‍ය දේශගුණය ගමනේ දුෂ්කර බවට මද අස්වැසිල්ලකි. තැන තැන ළඟ පිහිටි හුදෙකලා ගම්මාන එක ළඟ පිහිටි ගෙවල් මණ්ඩි හා දුරින් පිහිටි හේන කුඹුරුද සහිත වූයේය. ඉඳ හිට ගැමියෙක් මග තොටේදී හමු වුවද මේ ආගන්තුකයා නොහඳුනන නිසා කතා බහක් නැතිවම යන්නේය.


නරේන්ද්‍ර සිංහ රජු හුදෙකලාව හේනකින් කැකිරි ගෙඩියක්, තියඹරා ගෙඩියක් කඩාගෙන කුසගින්න නිවාගෙන ඇළකින් දොළකින් පිපාසය නිවාගෙන පරිසරය විඳිමින් ගමන් කරන්නේය.


දැඩි වෙහෙස නිසාම රජු හේනක තිබූ පැලකට ගොඩවැදුණේ එහි ටිකක් විවේක ගැනීම පිණිසය. පැලේ පිල් කොටුවට ගොඩ වූ රජුට දිය මැස්ස උඩ වතුර කළයක් හා පොල් කටුවක් තිබෙනු පෙනුණි. වතුර පොල් කටුවක් පුරවා පානය කළ රජතුමා පිලේ වාඩි වී ගිමන් හරිමින් පැල අවට හේන සිසාරා බැලූවේ හේනේ කවුරුන් හෝ සිටිතැයි යන විශ්වාසයෙනි. රජුගේ බැල්මට හසුවුණේ හේනේ වල් නෙළමින් සිටි තරුණ කාන්තාවකි. රජුගේ හිතේ හීං සතුටක් මෝදු වී තවත් වරක් හේන සිසාරා විපරම් කළේ තවත් කවුරුන් හෝ ඇය සමඟ සිටීදැයි දැනගැනීම සඳහාය. කිසිවකුත් එහි දක්නට නොවීය. රජුට ලොකු සතුටක් උපන්නේ මේ අවස්ථාවේ මේ සුන්දර පරිසරයේ තරුණ රූමත් කාන්තාවක හා තනිවීම මොන තරම් මිහිරි අවස්ථාවක්දැයි සිතමිනි.


රජතුමා උගුර පාදා කාන්තාව දෙස බලා සිටියේය. ඇය මේ පුරුෂ ශබ්දයෙන් පිබිදී බලා නැවත නොදුටුවා සේ වැඩෙහි නිරත වූවාය. නරේන්ද්‍රසිංහ රජු බලාපොරොත්තු වූයේ ඇය වහාම උදැල්ල පසෙක දමා පැලට ගොඩවේවැයි කියාය. එහෙත් ඇය අමුත්තා තුට්ටුවකටවත් මායිම් නොකර තමන්ගේ ඉණේ තිබුණු බුලත්මල්ල ගෙන විටක් සප්පායම් වී නැවත වැඩෙහි යෙදුණේ මේ තමාගේ ඥාතියකු නොවන බැවිනි.


රජතුමාට තවත් කල්මැරිය නොහැකිය. එහෙයින් රස බසින් ඇය අමතා මිහිරි පද වැලක් වාතලයට මුදා හැරියේ මෙසේය.

 
ඇයි ළඳුනේ තනියම වල්         නෙළන්නේ
දෙමාපියන් නැතිවාදෝ          තමුන්නේ
මල් මල් සේම ගෝමර අව්වේ         දන්නේ
කපුරු ලා බුලත් කන්නට         වරෙන්නේ


බුලත් සහ බුලත් විට ලාංකේය සමාජයේ බැඳීම් තහවුරු කළ ඥාතීත්වය බද්ධ කළ ප‍්‍රසංසනීය ආරාධනා පත‍්‍රයක් වුයේය. බුලත් විටක් කන්නට ආරාධනා කිරීම සුහදත්වයේ සංකේතයකි. කවර තරාතිරමේ අයෙකු සමඟ වුවද බුලත් විට හුවමාරු කර ගැනීම මදි පුංචිකමක් හෝ අපරහරණයක් හෝ නොවන්නේය. එසේ වුවත් බුලත් හෙප්පුව අතට දෙන්නේ සමානයන්ට පමණි.


මේ දලූ මුර සේවාවට යාමට ආරාධනා කරන්නේ රටේ රදළ කෙනෙකුයි කාන්තාව සිතන්නීය. කවුරු වුවද පිටස්තර පිරිමියෙකි. එය තම පවුල් සංස්ථාවේ පැවැත්මට යහපත් නොවේ. හෙනේ කුඹුරේ තනි පංගලමේ පිටස්තර පිරිමියකු සමඟ සිටීම දකින ගම් තුලානේ දෙහෙට්ටෝ ඇයව පිටමං කරනු ඇත. දුරින් ඉඳගෙන මේ ආගන්තුකයාට කවියට පිළිතුරක් නම් දිය යුතුමය. ජීවිත තක්‍ෂලාවේ උගත් ඇයට මේ කවියට පිළිතුරු කවියක් ප‍්‍රබන්ධ කර වාතලයේ පාකර හැරීමට ගතවූයේ සුළු මොහොතකි.

 
මගෙ හේනේ වල් නෙළුමට තනි         මොකදෝ
දෙමාපියෝ හැම කළ වැඩ කර          දේදෝ
මල් ගෝමර පෙති ගෝමර දැළි    
      වේදෝ
කපුරු ලා බුලත් මගෙ හිමි         නොගෙනේදො

 

යනුවෙන් මේ සුන්දර කාන්තාව තමාගේ කවිය තුළ අපූරු පණිවිඩයක් මුදා හැරියාය. එනම්, ඇය සස්වාමික බවයි. දැන් තමාගේ ස්වාමියා ළඟ ළඟම එනු ඇත. වහාම පැලෙන් පිටවී යන්න, කියන පණිවිඩය එහි කියැවී නැතත් යටි පෙළ අරුතෙහි ලියවී ඇත.


දරුවෝ විවාහ වූ පසු දරුවන් දෙමාපියන්ට කරදර නොකළ යුතු බවද එහි සටහන් කළාය.


ඇය රජු නොතකා වැඩෙහි යෙදුණාය. එහෙත් මේ වාගේ පිළිතුරකින් පස්සට යන කෙනෙක් නෙවෙයි කුණ්ඩසාලේ කුමරු හෙවත් සෙල්ලම් නිරිඳු. තනිවම මේ ආකර්ෂණීය පරිසරයේ සුන්දරත්වය විඳීමට නොහැකිය. කාන්තාවක ළඟ සිටී නම් මේ හෝරාව වඩාත් මිහිරි කර ගතහැකි යයි සිතා තව වරක් ඇයට ඇති ළෙන්ගතුකම මෙසේ රසාලිප්ත කොට කියා පෑවේය.

 
බුලත් තනා දෙමි කට රතු කර         ගන්ට
සපු මල් කඩා දෙමි වරලස         ගවසන්ට
රන් සළු ගෙනත් දෙමි බඳවට         සරසරන්ට
එතනෝ වරෙන් රජ සැප දෙමි         විඳගන්ට

 

මේ සී පදය වාතලය හරහා ඇයගේ කන් අගුළු ලෑවේය. මේ අවේලාවේ පැල් කොටේට පාත් වුණේ මොන හෙණ ගෙඩියක්දැයි ඇයට දෙලෝ රත්විය. මහ වාසලින් මී මුරේට යන බව ගම්මු දන්නා කාරණයක් වුවත් මේ අමුත්තා රාජ පයිණ්ඩයක් ගෙන යන්නෙක්දැයි ඇයට සිතුණි.


තමාගේ කුරුලූ කූඩුව කඩා ඉහිරවන්නට ආපු උලමෙක්දැයි සිතූ ඇය කවුරුන් වුවත් තනි පංගලමේ සිටින නිසා මේ බඳු ආරාධනා කරන්නේ යයි සිතුවේය. තමා තනි වූ ගැහැනියක නොවූ ආදරණීය ස්වාමියෙක් සිටින ඔහු නිසා ජීවිතය සතුටින් ගත කරන තමන්ට අවශ්‍ය සියලූ දේ ඔහුගෙන් ලබාගන්නා වාසනාවන්ත බිරිඳක් බව කීවේ මෙසේය.

 
බුලත් කුමට කස්තුරි කපුරු කන         මට
සපුමල් කුමට නාමල් ගවසනා         මට
රන් සළු කුමට පට සළු පලදිනා         මට
අන් හිමි කුමට මගෙ රන් කඳ ගෙදර         කොට


කවි සංවාදය නිම කරමින් ඇය වහ වහා පිටමං වූවාය. මෙයින් උත්තරීතර ගැමි සමාජයේ කුටුම්භ සංරක්‍ෂණය, විවාහය, පවුල, කොතරම් උතුම් කොට සැලකුවේදැයි වර්තමානයට අපූරු පණිවිඩයක් ඉතිරි කර ඇත්තේය.


තාවකාලික ආස්වාදය පතන භෞතික සම්පත්වලට ලොල්වී දිවි මග අඳුරු කර ගන්නා නවීන සමාජයට ජන කවියා කියාදෙන්නේ අමිල වූ උපදේශයකි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »