ලොව දිගුම නිය පොත්තෙන් ගිනස් පොතට ගිය ඉන්දියාවේ ශ්‍රීධර්

2015-10-19 10:05:00       828
feature-top
ශ්‍රීධර් චිලාල් 78 හැවිරිදිය. 1952 වසරේදී ඔහු පාසල් සිසුවෙකි. දිනක් පන්තියේ සිටියදී ඔහු සහ මිතුරෝ කීපදෙනෙක් ගුරුතුමාගේ නොමද පහරදීමට ලක්වූහ. ඒ පහර දීම් කෙතරම් ද යත් ඔවුන්ගේ දෑත් වේවැල් පහර නිසා පුපුරු ගසන තරම් විය. එසේ වුවත් ඒ ආකාරයෙන් ගුටි කෑමට තරම් තමන් කළ වරද කුමක්දැයි ශ්‍රිධර් ඇතුළු මිතුරෝ නොදැන සිටියහ. අවසානයේ තමන් කළ වරද කුමක්දැයි ඔව්හූ ගුරුතුමා විමසූහ.

උඔලාගෙන් එකෙක් මගේ නියපොත්ත කැඩුවා ගුරුතුමා පිළිතුරු දුන්නේ තරහනි. ගුරුතුමාගේ අතැඟිල්ලක දිගට වැඩුණු නිය පොත්තක් තිබූ බව ඔවුන්ට සිහිපත් වූයේ එවිටය. නිය පොත්තක් ඔච්චර වටිනවද? කිසිවෙකුවත් කවදාවත් එපමණ දිගට නිය‍ පොතු වවා නොතිබූ නිසා එහි වටිනාකම ගැන කිසිවෙකුටත් අවබෝධයක් නොතිබිණ.

මාත් නියපොත්තක් දිගට වවා බලන්න ඕනෑ ශ්‍රීධර් ට ද අදහසක් පහළ විය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 16කි. එතැන් පටන් ඔහු සිය එක අතක පමණක් නිය පොතු කැපීම අත්හළේය. එම අතේ නිය පොතු දිගින් දිගට වැවෙන්නට විය. එම දිගු නිය පොතු නොකැඩී ප්‍රවේශම් කර ගැනීමට දරන උත්සාහයේ දී එදා ගුරුතුමා තමා ඇතුළු මිතුරන්ට දුන් දඩුවම ගැන ද ඔහු‍ට සිහිපත් නොවූවා නොවේ.

එදා ගුරුතුමා වෙතින් ලද දඩුවම අභියෝගයක් කරගත් ශ්‍රීධර් සිය නියපොතු වවන්න ගත්තේය. මේ වෙද්දී ඔහුට මුළු ලෝකයම පුදුමයට පත් කරන නියපොතු ඇත‍්තේය. ඒ නිය පොතුවල මුළු දිග සෙන්ටි මීටර් 909.6කි. ශ්‍රීධර් දැන් ලෝකයේ එක් අතක දිගුම නිය පොතු ඇත්තා ලෙස 2016 ව‍සරේ ගිනස් වාර්තා පොතට නිල වශයෙන්එක්වී ඇත්තේය.

ඔහුගේ වමතේ ඇඟිලි පහෙන් දිගුම නිය පොත්ත ඇත්තේ මහපටැඟිල්ලේය. එහි මුළු දිග මීටර් දෙකකි. මීළඟට දිගු නිය‍ පොත්ත ඇත්තේ මැදඟිල්ලේය. එහි දිග සෙන්ටි මිටර් 186.6කි. ශ්‍රීධර්ගේ වෙදැඟිල්ලේ නිය පොත්‍ත සෙන්ටි මීටර් 181.6ක් වන අතර සුළැඟිල්ලේ සහ දබරැඟිල්ලේ නිය පොතු පිළිවෙළින් සෙන්ටි මීටර් 179.1ක් හා 164.5කි.

ශ්‍රීධර් මේ දිගු නිය පොතු නිසා ලොව ප්‍රසිද්ධ වී ඉන් ඔහුට කීර්තියක් අත්වුවද නිය පොතු දිගින් දිගටවැඩෙත්ම ඔහුගේ ප්‍රශ්න ද ආරම්භ විය.

ඉස්සෙල්ලම මට ප්‍රශ්න ආවේ ‍මගේ ගෙදර අයගෙන්. දිගට නිය පොතු වවනවාට මුලින්ම විරුද්ධ වුණේ ඔවුන්. මගේ නිය පොතු කපන්නේම නැහැ කියා මං දැඩිව තීරණය කළේ එතැනදියි. එහෙත් මගේ දෛනික ජීවිතයට හැම පැත්තෙන්ම නිය පොතුවලින් බලපෑම් ආවා. ගෙදර අය මගේ රෙදි පෙරෙදි සේදීම නතර කළා. මටම මගේ රෙදි සෝදා ගන්න සිදු වුණා. මට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුණේ කිසිවකුත් මා සේවයට බඳවා නොගත් නිසයි. ඒ විතරක් නොවෙයි මට ඉක්මනින් සහකාරියක් සොයා ගැනීමටත් මගේ මේ නිය පොතු හරස් වුණා. ශ්‍රිධර් පවසයි.

ඔහුට විවාහ වීමේ කොතෙකුත් උවමනාවක් හා ආශාවක් තිබුණද කාන්තාවෝ ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කළහ.

මං විවාහය සඳහා ගැහැනු ළමයි 10ක් 15ක් බැලුවා. ඒත් කව්රුත් මා හා විවාහ වීමට කැමැති වුණේ නැහැ. ඉඳහිට හෝ ගැහැනු ළමයෙක් කැමැති වුණත් ඒ ළමයගේ ‍මවුපියන් අකැමැති වෙන්නේ මං ඔවුන්ගේ බෙල්ල මිරිකයි කියලයි. ඇතැම් අවස්ථාවල දෙමවුපියො කැමැති වුණත් මගේ නිය පොතු අපිරිසුදුයි කියා ගැහැනු ළමයි අකැමැති වුණා. අවසානයේ ඔහුට වයස අවුරුදු 29දි ඔහුගේ සහෝදරයාගේ නෑනා සමඟ විවාහ වීමට හැකි විය.

ශ්‍රීධර් ඔහුගේ වම‍‍තේ පමණක් නිය වැවීම ආරම්භ කළේ ඒ වෙද්දී ඔහුගේ විනෝදාංශය වී තිබූ ජායාරූපකරණය කරගෙන යෑම සඳහාය. එය කෙදිනක හෝ සිය ජීවකා වෘත්තිය කර ගැනීමට ඔහුට අවශ්‍ය විය.

ලොව දිගුම නිය පොතු හිමියාවීමෙන් මහත් උද්දාමයට පත්ව සිටින ශ්‍රීධර් දැන් සැරැසෙන්නේ වසර 62ක් තිස්සේ වැවූ ඒ නිය පොතු කපා දැමීමටය. එහෙත් නිය කපන දිනය රහසක් ලෙස තබා ගැනීමට ඔහු තීරණය කර ඇත්තේය‍‍.

මට දැන් වයස අවුරුදු 78ක්. ‍මගේ වයසත් සමඟ වැඩුණු මේ නිය මට ආභරණයක් හා සමානයි. මා මගේ ජීවිතයේ ඉහළම දිනුම ලබා අවසන්. ඒ ගැන මා සැවොම හා කතාබහ කරන්නේ ආඩම්බරයෙන්. මා කොහේ ගියත් සැවොම මා හඳුනන්නේ දිගු නිය නිසා ගිනස් වාර්තා පොතට නම එක්වූ කෙනා ලෙසයි. එය කෙතරම් ආඩම්බරයක්ද? යනුවෙන් ශ්‍රධර් පවසයි.

ගිනස් වාර්තා පොතට නම එක්වීමත් සමඟ දැන් ඔහු සැරැසෙන්නේ සිය ආඩම්බරය වන නිය හොර රහසේම කපා ඒවා කෞතුකාගාරයක තැන්පත් කර සුරැකීමටය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »