පැරණි පෙම්වතාගේ‍ ෆේස්බුක් ඡායාරූප තරුණ බිරියට දිවි අහිමි කරයි

2015-10-08 10:05:00       826
feature-top
විවාහවීමට මාස 6කට පමණ පෙර පෙම්වතියකව සිටි යුවතියකගේ පෙම්වතා විසින් එකල ගන්නා ලද ඇගේ ඡායාරූප මෙයට මසකට පමණ පෙර ඇය විවාහ වූවාට පසු ‍ෆේස් බුක් සඳහා යොමු කිරීමට ඇගේ පැරණි පෙම්වතා කටයුතු කර ඇති බැව් දැනගන්නට ලැබීමෙන් බලවත් සිත් තැවුලට හා ලැජ්ජාවට පත් 25 හැවිරිදි තුරුණු බිරිය ගෙල වැළලාගෙන සිය දිවියෙන් සමුගෙන ඇත.

ඒ බැව් අනාවරණය වූයේ කුලියාපිටිය රෝහලේ දී පැවති මරණ පරීක්ෂණයක දීය.

තිසෝගම, වෙලංගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. එම්. අනූෂා මධුවන්ති (25) නමැත්තියකගේ මරණය සම්බන්ධයෙන් වූ සාක්කි විභාගය, කිණියම කෝරළයේ හදිසි මරණ පරීක්ෂක එස්.ජේ.එම්. රූපසිංහ මහතා විසින් ද, පශ්චාත් මරණ පරීක්ෂණය, කුලියාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ලසන්ත ද සිල්වා මහතා විසින් ද පවත්වනු ලැබිණ.

බිංගිරිය පොලිසියේ පො. සැ (41338) එම්.ටී.එස්. ප්‍රනාන්දු මහතා සාක්කි මෙහෙයවීය.

මරණකාරියගේ වැඩිමල් සොහොයුරකුවන ආර්.එම්.අමිත් සංජීව (27) නමැති අය එහිදී සාක්කි දෙමින් මෙසේ පැවසීය.

මියගොස් සිටින්නේ මගේ බාල සොයුරියයි. ඇය මෙයට මාසයකට පමණ පෙර වෙලංගොල්ල ප්‍රදේශයේ සඳුන් ජීවන්ත යන අය සමඟ විවාහ වුණා.

මෙයට දින 3 4 කට පමණ පෙර මට දැන ගන්න ලැබුනා. නංගී විවාහ වීමට පෙර වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් එමතැනැත්තා ඒ කාලයේ දී ගන්නාලද ඔහු සමඟ නංගී පෙනී සිටි ඡායාරූප ගැන කියා නංගීට තර්ජනය කරන බව.

සුජිත් සාගර නමැති එම තැනැත්තා එම ඡායාරූප පේස්බුක්වල දාලා තිබී මා දැක්කා. ඒ බව නංගීටත් ආරංචිවෙලා තියෙන්න ඇති.

මේ පිළිබඳව අපේ පවුලේ අයත් නංගීගේ සැමියාත් කතා බස් කර සජිත් සාගර නමැත්තාට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දැමීමට තීරණය කර ඔක්තෝබර් 4 වන දින අපේ අම්මාත්, මාමාත්, නංගී සමඟ බිංගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණා.

පසුව අම්මා හා මාමා නංගීව වෙ‍ලංගොල්ල ගෙදර නවත්වලා අපේ ගෙදර ආවා.

ඉන්පසුව අපේ මාමාට දුරකතන ඇමතුමක් දුන් අයෙකු කියා තිබුණා නංගී ගේ ඇතුළේ කාමරයක ‍ෙගල වැළලාගෙන ඉන්නා බව අපි වහාම වෙලංගොල්ලේ ඒ නිවසට ගියා. එහිදී මා දැක්කා නංගී ගෙදර කාමරයක වහලේ රෙදි පටියකින් ගෙල වැළලාගෙන එල්ලී ඉන්නවා.

රෙදි පටිය කපා නංගීගේ සිරුර බිමට ගෙන වාහනයකින් බිංගිරිය රෝහලට රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරියක් නංගීගේ සිරුර පරීක්ෂාකර බලා කීවා. ඇය මියගොස් ඇති බව.

නංගීගේ මරණය ගැන සැකයක් නෑ. නංගී විවාහ වීමට පෙර ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ සුජිත් නමැත්තා ඒ කාලයේ දී ගන්නා ලද නංගීගේ ඡායාරූප ඔහු විසින් පේස්බුක් එකට දමා ඇති බව දැනගන්නට ලැබී සිත් තැවුලට හා ලජ්ජාවට පත්ව නංගී මෙසේ සිය දිවි නසාගන්නට ඇතැයි මා හිතනවා.

මියගිය තැනැත්තියගේ සැමියා වූ සඳුන් ජීවන්ත (30) නමැති අය සාක්කි දෙමින් මෙසේ පැවසීය.

මරණකාරිය මගේ විවාහක බිරිඳයි 2015.08.27 වනදින අප දෙන්නා විවාහ වුනා. විවාහවීමට පෙරත් පසුවත් ඇය බිංගිරියේ ඇඟලුම් කම්හලක සේවයට ගියා.

මෙයට දින 2 - 3 කට පමණ පෙර, කහවල ප්‍රදේශයේ සුජිත් සාගර නමැත්තෙකු මගේ ජංගම දුරකතනයට ඇමතුමක් දෙමින් මා සමග කීවා. මෙයට මාස 6 කට පමණ පෙර දී මා ඔබේ බිරිඳ සමඟ ප්‍රේම සබඳතාවයක් තිබුණා. ඒ කාලයේ දී මවිසින් ගන්නා ලද ඇගේ ඡායාරූප මා ළඟ තියෙනවා. මං ඒ ඡායාරූප පේස්බුක් එකට දානවා කියා ඇයට කියන්න කියා.

මියගිය තැනැත්තියගේ මෑණියන් වන එස්. ඩබ්ලිව්. වංශවතී (61) නමැති අයද සාක්කි දුන්නාය.

පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවේ හා ඉදිරිපත් වූ සාක්කිවල සඳහා කරුණු සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂක රූපසිංහ මහතා අනුෂා මධුවන්ති නමැත්තියගේ මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදුකර ගන්නා ලද්දක් බවට නිගමනය කළේය.

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »