විශ්මිත ගල් වඩුවාණනි ඔබ හට අප ණයගැති නොවෙද

2015-10-06 10:33:00       829
feature-top
දකුණු ඇමෙරිකාවේ පේරු රටේ කළ සංචාරයකදී ක්‍රිස්තු වර්ෂ 1400 පමණ කාලයක් වනතුරු එම රට පාලනයකළ "ඉන්කා" වරුන්ගේ සමයේ කළු ගලින් නිර්මිත ගොඩනැගිලි, සුවිසල් ගල් බැමි සහ බිත්ති සෑදීමේදී යොදාගෙන තිබු පුදුමාකාර හේත්තු වැද්දීම් ක්‍රමවේද පිළිබඳව බොහෝ නිදර්ශන දැකගැනීමේ  අවස්තාවක් අපට ලැබුණි.

ක්‍රිස්තු වර්ෂ 1400 යුරෝපයේ ඉතාලි පුනරුදය, එංගලන්තය සහ ප්‍රංශය අතර සිය අවුරුදු යුද්ධය, චීනයේ මින් රාජ වංශය, ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය සහ ශ්‍රී ලංකාවේ කොට්ටේ රාජධානියේ පස්වන භුවනෙක බාහු රජතුමන්ගේ රාජ්‍ය පාලනය පැවති කාල වකවානුවයි.

එනමුදු එවකට"ඉන්කා වරුන්" ගේ පාලනය යටතේ දකුණු ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශය පුරාවටම ජීවත්ව ඇත්තේ රෝදය පිලිබඳ නොදත් යකඩ හෝ වානේ පිලිබඳ දැනුමක් නොතිබුන සවිමත් ගල් සහ ලෝකඩ ආම්පන්න පමණක් භාවිතාකල ජනකොට්ටාශයකි.

ඔවුන්ගේ විශ්මිත ගල්කර්මාන්තයන්ගේ උත්තරීතර බව පෙනීයන්නේ ඔවුන් ජීවත්වූ කාල පරාසයේ ලෝකයේ වෙනත් රටවල පැවති අප පිළිගෙන ඇති අන්දමේ "දියුණුව" සමඟ සාපේක්ෂව සැසඳීමේදී බව මට සිතෙයි.

ඉන්කා පාලන සමයේ නිර්මිත විශ්මිත ගල්වඩුවන්ගේ නිර්මාන වැඩිවශයෙන්ම දැකගත හැකිවන්නේ සංචාරකයින් සඳහා විවෘත ඉන්කාවරුන්ගේ අගනුවරවූ කුස්කෝ, ඔවුන්ගේ වඩාත්ම සුප්‍රකට අධිරාජයාවූ පචාකුටි ඉන්කා ගොඩනැඟූ "මචු පිචු" නඟර සංකීර්ණය, සක්සයිවමන් නගරය, ඉන්ටිකන්චා සුර්ය දෙවොල සහ ඕලන්ටයි ටම්බෝ වැනි පුරාවිද්‍යා භුමි වලය.

යුරෝපීයයන් දකුණු ඇමෙරිකාව ආක්‍රමණය කළ අවධියේ ඉන්කා අධිරාජ්‍යය දකුණු ඇමෙරිකාවේ වර්තමාන එක්වදොරයේ සිට ආජන්ටිනාව දක්වා ප්‍රචලිතව පැවති දැවැන්ත රාජධානියක් විය. ඒ අවධියේ එහි ජිවත්වුවන් කළුගල් යොදාගෙන ඉදිකර ඇති ගොඩනැඟිලි විශ්මය ජනක වෙයි. ඒ අතරින් ඉන්කා නෂ්ඨාවශේෂ ලොව වටා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඒවායේ ඇති විශ්වාස කළ නොහැකි දැවැන්ත ගල් බැමි සහ අපුරුවට එකකට එකක් යාකර පිරිවද්දා ගොඩනඟා ඇති ගල් බිත්ති නිසාය.

මෙම කිසිම තැනක ඉන්කා වරුන් විසින් ගලින් කළ රුප,කලානිර්මාන, හෝ පිළිම නිර්මාණය කර නැතිවීමද විශේෂත්වයකි.

මේ සියලු නිර්මාණයන් සඳහා ඔවුන් පාවිච්චි කර ඇත්තේ භාවිතයට අති දුෂ්කර ගල් ආයුධ සහ සුළු වශයෙන් ලෝකඩ ආයුධ වර්ග බව දැනගතිමි. රෝද යොදා වාහන තනාගැනීමක් පමණක් නොව යකඩ හෝ වානේ පිලිබඳව  පවා  ඔවුන් දැනසිටියේ නැත. මොනම වර්ගයකහෝ වාහන භාවිතයක් ඉන්කා ශිෂ්ටාචාරයතුල තිබී නැත.

ඉන්කා අධිරාජ්‍යයේ විශ්මයජනක ශෛලමය නිර්මාණයන් සඳහා දායකවුන ඉන්කා ගල් වඩුවන් සහ කම්කරුවන් එම දැවැන්ත කළුගල් ප්‍රවාහණය කර ඇත්තේ සීමිත උපකරණ යොදාගනිමිනි. වැඩිවශයෙන්ම මේ සියලුම කර්මාන්තයන් සඳහා වැයකරන්නට ඇත්තේ නොඅඩුව පැවති මිනිස් ශ්‍රමය බව නොඅනුමානය. කළුගල් ප්‍රවාහනයේදී සතුන්ගේ උදව් ලබගන්නටද ඇත.

දකුණු ඇමෙරිකාවේ ජීවත්වන්නේ "ලාමා" නමින් හැඳින්වෙන ඔටුවන්ගේ ගණයට අයත් ඇඟ පතෙන් කුඩා, මීටර් එක හමාරකට වඩා උස නැති සිව්පාවෙකු පමණකි. මෙම සතුන්ගේ සහ මිනිසුන්ගේ ශක්තිය භාවිතා කරගනිමින් සමතලා කල පොලව මත ගල් සහ සවිමත් ලී කොට හෝ කඳන් යොදා සකස් කරගත් වේදිකාවක් වැනි දෙයක් මතුපිටින් මේ විශාල ගල් කැබලි තැනින් තැනට ඇදගන්නටද ඇත. මෙහිදී ශක්තිමත් ලනු වර්ග පාවිච්චිකළ බවට ලකුණු සමහර ගල් කැට වල පෙන්නුම් කරයි.

"සක්සයිවමන්" සහ "ඕලන්ටයින් ටැම්බෝ" වැනි ස්ථානවල දක්නට ඇති දැවැන්ත ගල් පර්වත එතරම් උස් තැන්වලට ගෙනගොස් එකක් මත එකක් ඉතාමත් නිවැරදිව සහ සමීපව තැන්පත් කිරීම සඳහා ඔසවන ලද්දේ කෙසේද යන්න ඇදහිහ නොහැකි තරමට විශ්මය ජනකය.

 "ඕලන්ටයින් ටැම්බෝ" කඳු මුඳුනේ පිහිටිකළුගලක් නොමැති නිසා "ගල් වළක්"  තිබුන බවක් පෙනෙන්නට නැත. එහි ප්‍රධාන ගොඩනැඟිල්ල වන්නේ විශාල ගල් පුවරු යොදා සකස්කළ පුජා ස්ථානයකි. එම කඳු මුදුනෙහි ඉදිකර තිබෙන එවන් දැවැන්ත ගොඩනැඟිලි සහ අනෙකුත් නිර්මාණ සඳහා භාවිතා කරඇති සියලුම ගල් ප්‍රවාහනය කර ඇත්තේ ඉන් ඔබ්බෙහි ඇති වෙනත් කන්දක සිටය. එතරම් විශාල ප්‍රමාණයේ ගල් එක කන්දකින් තවත් කඳු මුදුනකට ගෙනගියේ කෙසේද යන්න පුදුම සහගතය.

මෙම ගල් බැමි නිර්මාණයේදී රජ මාලිගා සහ ආගමික ගොඩනැඟිලි වල බිත්ති වල ගල් ඉතා මටසිලිටු අන්දමට සකස් කර ඇති අතර ඒවා ගොඩ නඟා ඇත්තේ කිසිම බදාමක් හෝ මැලියම් වර්ගයක් යොදාගෙන නොවේ. මෙම බිත්තිවල ඇති විශාල ගල් කුට්ටි අතර සිහින් "පිහි තලයක්" වත් අතුල්කිරිමටවත් ඉඩක් නැති අයුරින් කිසිදු පරතරයක් නැති ආකාරයට ඒවා එකකට එකක් සමීප වන අයුරින් පිරිවද්දා ඇත්තේ පුදුමාකාර අන්දමටය.

එම  නිසාම ඉන්කා ගල්වඩුවන්ගේ නිර්මාණ දුටුවන් මවිතයට පත්කරනා බව කිවයුතුය.

ඉන්කා අධිරාජ්‍යයේ අගනුවරවූයේ කුස්කෝ නඟරයයි. යුරෝපා ආක්‍රමනකයින් විසින් කුස්කෝ නුවර තිබු සියලුම ඉන්කා ගොඩනැඟිලි විනාශකොට ඒ මත වර්තමාන නඟරය ඉදිකර ඇත. එහි බොහො තැන්වල  පැරණි ඉන්කා ගල් බැමි තවමත් දැකිය හැකිවෙයි.

ලොව සුපතල "මචු පිචු" නටබුන් අතර බිත්ති කළු ගලින් බැඳ ඇති ගොඩනැඟිලි 140 ක් පමණ ඇත. මේවායින්  බොහොමයක් රජතුමා සහ අනෙකුත් ප්‍රභූන් ගේ නිවාස විය. ආගමික ගොඩනැඟිලි සහ මුරකුටි කිහිපයක්ද එම ගොඩනැඟිලි අතර වෙයි.

රජමාලිගය සහ රාජාංගණයට සම්බන්ධ ගොඩනැඟිලි වල ගල් බිත්ති මචු පිචු පමණක් නොව මුළු ඉන්කා අධිරාජ්‍යයේම ඇති ගල් කැටයම් වල අපුර්වත්වය පෙන්නුම් කරන ඉස්තරම්ම නිර්මාණ බව පිළිගැනේ.

මෙම ගොඩනැඟිලිවලට යොදාගෙන ඇති ගල් වර්තමානයේ ළමුන් විසින් සෙල්ලමට භාවිතාකරන " ලෙගෝ" නම්වූ ප්ලාස්ටික් කැට පුට්ටු කරනා ආකාරයට එකිනෙකට පුට්ටු කළහැකි අන්දමට අවශ්‍ය සිදුරු සහ ඒවාට සවිවෙන කොටස් වලින් යුක්තව සකස් කර ඇත. ඒවා සකස් කර ඇත්තේ එම ගල් එකිනෙකට සවිකළ පසු ඒවා සම්බන්ධවන කිසිම තැනක කිසිම හිදැස්සක් නොමැතිවන ආකාරයකටය. අවම ආයුධ යොදා ගනිමින් එවන් සුක්ෂ්ම නිර්මාණයක් කලහැකිවන අන්දමට මෙවන් තාක්ෂණයක් ඉන්කාවරුන් විසින් ප්‍රගුණ කර ගැනීමට සමත්වීමද පුදුම සහගතය.

මෙතරම් ඝන ශක්තිමත් කළුගල් අවශ්‍ය ආකාරයට කඩා ගන්නා ලද්දේ කෙසේද යන්න පිලිබඳ විවිධ මත ඇත. ඒ සඳහා ඉන්කා ගල් වඩුවන් භාවිතා කර ඇත්තේ ගංගාවලින් සොයාගත් ශක්තිමත් ගල් කැට සහ ගල් පතුරු වලින් සාදාගත් උපකරණ පමණක්මවීම මෙහි ඇති අපුර්වත්වය තවත් වැඩි කරන කරුණකි. විශාල ගල් කුඩා පතුරු ලෙස කඩා ගත හැකි  ආකාරයක් පිලිබඳ ඉන්කාවරුන් තුල පාරම්පරිකව අත්හදා බැලීම් හා උත්සාහයන් තුලින් නිපුණත්වයට පත්වුන දැනුමක් තිබු බවද කියවෙයි. ඔවුන් මෙම ගල් පතුරු දිවයන පිළිවෙල සලකා බලා ඒ අනුව හිල්විද ඒවාට තෙත්කල ලී "කුඤ්ඤ" සවිකරන ලද බවත් තෙත ලී ප්‍රසාරණය වීමේදී  සිදුරු පේලිය දිගට ගල බිඳීගිය බවත් පුරාවිද්‍යාඥයින් විශ්වාස කරති. ලොකු ගල් එපරිද්දෙන් බිඳදමා පසුව ගල් ආයුධ යොදා දැඩි මහන්සියකින් වැඩකොට මෙම ගල් තමන්ට අවශ්‍ය හැඩයට සකස්කරගන්නා ලද බවට විශ්වාස කෙරේ.

සමහර ගල්බැමි සකස් කිරීමේදී ගල් කොට තනි හතරැස් අන්දමට නොව වෙනස් හැඩවලින් සකස් අර ඇති බවක්ද පෙනෙන්නට ඇත. මේවායේ හැඩතලයද එකිනෙකට පෑස්සෙන ආකාරයට සකස්කරගෙන ඇත. එම ගල් කොට තැනට සුදුසු අන්දමට මටසිලිටු කරන්නට ඇත්තේ රළු ගල  බැම්ම මත තැන්පත්කර ගත්තාට පසුව බව පුරාවිද්‍යාඥයෝ සිතති.

විශාල ගල් වල බොකු ගැසුණු තැන්වලට නියමාකාරයෙන් පෑද්දෙන අයුරින් දෙවෙනි ගලකොටාගෙන ඇත්තේ කෙසේද, මෙතරම් සුවිශාල ගල් විශාල දුර ප්‍රමාණයක් ප්‍රවාහනය කලේ කෙසේද, කඳු මුදුනට ගෙනගියේ කෙසේද, ගල්බැම්ම මතට ඔසවන ලද්දේ කෙසේද, බොහෝ ගල්වල කෝණ නියමාකාරයට ඇදකුද නැති මටසිලිටු අයුරින් සකස් කලේ කෙසේද වැනි ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරක් මෙතෙක් සොයාගැනීමට හැකිව ඇතිබවක් පෙනෙන්නට නැත.

කඳු මුදුනෙහි සවිකර ඇති සමහර ගල් ටොන් 150 ( කිලෝග්‍රෑම් 140,000)  කටත් වඩා බරින් වැඩිය. මේවායේ කිසිම තැනක රළු පොලව මතින් අදගිය බවක් දැක්වෙන පලුදුවීම්, ගෙවීම් හෝ කැඩීයෑම් පෙනෙන්ට නැත.සමහර ගල් කිලෝ මීටර් 35 කටත් වඩා වැඩි දුරක් ප්‍රවාහනය කර ඇත.එසේනම් එවන් විශාල ගල් ප්‍රවාහනය කලේ කෙසේද? උස් කඳුමුදුනකට ගෙනගියේ කෙසේද?

ඉන්කාවරුන් අතර අක්ෂර භාවිතයක් නොතිබුන නිසා මේ කිසිම දෙයක් සටහන් කර නැතිවීම ඉතිහාස තොරතුරු ගවේෂණයේදී ඇති විශාලම පාඩුවක් බව පුරාවිද්‍යාඥයයෝ පවසති.

මේ හැම වැඩකටයුත්තකටම ඉන්කාවරුන් භාවිතා කර ඇත්තේ ගල් ආයුධ සහ ඉතා සීමිත ප්‍රමාණයක ලෝකඩ කටු වැනි ආයුධ පමණය. ගංගාජලයෙන් ඔපමට්ටම්වූ ශක්තිමත් බොරළු විශේෂයක් තෝරාගෙන ඒවා අවශ්‍ය අන්දමට කඩාගෙන මුවහත් කර වර්තමානයේ භාවිතාවන පොරෝ සහ පිහියා වැනි උපකරණ ආකාරයට ලී කොටවල ගැටගසා ගැනීමෙන් මෙම උපකරණ නිෂ්පාදනය කරගන්නට ඇතිබවට විශ්වාස කෙරේ. එවැනි විවිධ වර්ගයේ සහ විවිධ ප්‍රමාණයේ ගල් උපකරණ මේ සෑම පුරාවිද්‍යා පරිසරයකින්ම හමුවී ඇත.  

ක්‍රිස්තු පුර්ව 1000 වෙනි කාලය තෙක් ඉපැරණි අවධියක දකුණු ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ මිනිසුන් කළුගල් තැනට අවශ්‍ය ආකාරයට කපා කොටා මටසිලුටුකර වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් සඳහා යොදාගත් අවස්ථා පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක හමුවී ඇතිබව පේරු රටේ "කස්මා" ප්‍රාන්තයේ හමුවී ඇති ගොඩනැඟිලිවලින් පෙනීයන බව දැනගතිමි. ඒ අවදියේ ගොඩනැඟිලි පිළිවෙලකට නිර්මාණයවී නැතත් කල්යත්ම එම මිනිසුන් ගල්වඩු කර්මාන්තය සැලකියයුතු අයුරකින් ප්‍රවර්ධනය කරගැනීමට සමත්ව ඇතිබව පෙනෙන සාධකද හමුවී ඇත.

ඉන්කා ගල්වඩුවන් උරුම කරගෙන ඇත්තේ "ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතය තුලින් පරිපුර්ණත්වයට පත්වුන" ගල්වඩු කර්මාන්තයකි. ඉන්කා අධිරාජ්‍යය විසිර පැවති සෑම ප්‍රදේශයකම කළුගලින් කළ මෙවන් දැවැන්ත නිර්මාණයන්ගේ නටඹුන් සොයාගෙන ඇත. ඒ අතර රජමාලිගා, බලකොටු, විවිධ මට්ටමේ නිවාස, ආගමික ගොඩනැඟිලි, මුළු අධිරාජ්‍යය පුරාම ඉදිකර තිබු සංකීර්ණ මහා මාර්ග පද්ධතියේ තැනින් තැන පිහිටි අම්බලම්, ආහාර ගබඩා සහ ජලකළමනාකරණ පද්ධති දක්නට ඇත.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »