ලංකාවේ උද්භිද උද්‍යාන අතරට එක්වූ අලුත්ම උද්භිද උද්‍යානය ගැනයි මේ

2015-10-02 10:00:00       828
feature-top
අපි මල් වත්තකට යන්නේ ටිකක් ඇවිදලා, කොහේ හරි ගහක් යටට වෙලා බත් මුලක් දිග ඇරගෙන කාලා ‍පොඩි චේන්ජ් එකක් ගන්න හිතුණාමයි. එහෙමත් නැත්නම් ගෙවල්වලට හොරෙන් තමන්ගේ ප්‍රේමය විකසිත කරන්න අවස්ථාවක් හොයාගෙනයි. ඒත් ඔය මල්වතු කියන ඒවායේ අරමුණ නම් ඊට වඩා සෑහෙන්න වෙනස්. යම් රටක උද්භිද විද්‍යාත්මක වටිනාකමකින් යුත් ශාක සුරකිමින් ඒවා මතු පරපුරට දැකගන්න අවස්ථාව සලසන එක තමයි එහි කාර්යභාරය. ඒ හින්දම ඒවා නියම විදියට හඳුන්වන්නේ උද්භිද උද්‍යාන නමින්.
ශ්‍රී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය ලෙස සැලකෙන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. ඉන් අනතුරුව හග්ගල හා ගම්පහ  හෙනරත්ගොඩ උද්භිද උද්‍යාන බිහිවුණා. ඉන් සෑහෙන කලකට පස්සේ මීට වසර 2 කට විතර කලින් මිරිජ්ජවිල (හම්බන්තොට) උද්භිද උද්‍යානය ඉදිකළා. මේ අතරට එකතු වන අලුත්ම උද්භිද උද්‍යානය තමයි මේ අවුරුද්දේ මුල් භාගයේ විවෘත කළ සීතාවක තෙත් කලාප උද්භිද උද්‍යානය.
සීතාවක උද්භිද උද්‍යානයේ ප්‍රධානම විශේෂත්වය තමයි එය කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබිම. කොළඹ ඉඳන් හංවැල්ල පසුකොට අවිස්සාවේල්ලට යද්දී හමුවන පුවක්පිටියෙන් හැරිලා තුම්මෝදර පාර දිගේ කිලෝ මීටර් තුන හතරක් දුර ගෙවූ විට හමුවන ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ අලුත්ම උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ.
එක් පැත්තකින් පුවක්පිටිය - තුම්මෝදර මාර්ගයටත්, අනෙක් පැත්තෙන් ඉදිකඩ මූකලාන රක්ෂිතයටත් මායිම්ව පිහිටා ඇති සීතාවක තෙත් කලාප උද්භිද උද්‍යානය හෙක්ටයාර් 42 ක් එහෙමත් නැත්නම් අක්කර 105 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබුණත් මෙහි ඇත්තේ ශීත සෞම්‍ය දේශගුණයක්. මෙය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වුණේ ශීඝ්‍රයෙන් වඳවීගෙන යන තෙත් කලාප පහත් බිම් ශාක වර්ග සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමයි.
මෙම උද්‍යානය වෙත පැමිණෙන්නන්ට තේ හා රබර් වගාවන්, විවිධ ඔසු පැළෑටි ඇතුළුව බොහෝ ශාක වර්ග පිළිබඳ දැනුමක් ලබාගත හැකියි. ඒ වගේම විවේක සුව විඳින්නත් සීතාවක තෙත් කලාප උද්භිද උද්‍යානය කියාපු තැනක්. උද්‍යානය හරහා ගලා බහින සුන්දර දිය පාරවල් එක තැනකට රැස්වීමට සලස්වමින් අපූරු වැව් පද්ධතියක්ද උද්‍යානය තුළ ඉදිවී තිබෙනවා. උද්‍යානයේ ඉහළම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 180 ක් පමණ උසකින් පිහිටා ඇති අතර එහි සිට අවට සුන්දරත්වය රිසි සේ විඳ ගත හැකියි. උද්‍යානය කලාප කීපයකට වෙන් කොට ඇති අතර ඔබට පිවිසුම් දොරටුවේදී කුඩා සිතියමක් ලබාගෙන ඒ ඔස්සේ උද්‍යානය තුළ සැරිසැරීමේ හැකියාවක්ද තිබෙනවා. ඉතින් ඊළඟ නිවාඩු දවසේ තමන්ගේ දූ දරුවන්, හිතමිතුරන් එක්ක මේ සුන්දර උද්‍යානයේ දවස ගත කරමින් දැනුමත් එක්ක හිතට නිස්කාංසුවක්ද එක්කර ගන්න.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »