ලුණු පොට්ටනිය තබා කූඩැල්ලො කඩ කඩා පාසල් යන මීමුරේ ගුරු ගෝලයෝ

2015-10-01 09:43:00       834
feature-top
මීමුරේ ගමේ සැබෑ සුන්දරත්වය ඉස්මතු වන්නේ වර්ෂා කාලයේදී ය. ‍වියළී කර කුට්ටම් වූ ගල් පතුරු අලංකාර දිය ඇලි මවන්නේ මීමුරේට වැසි ලැබෙන විට ය. නියං සමයේ මීමුරේ ගිය අපි පසුදා මීමුරේ ගමින් පිටත් වන්නේ අධික වර්ෂාව ද සමඟ ය. වැසිබර කාලගුණයත් සමඟ ඉදිරියට ඇදෙන අපේ හදවත් මොහොතකට නතරවෙයි. පාර දෙපැත්ත නොපෙනෙන තරම් ම දිය ඇලි උතුරා යයි. අලංකාරත්වයේ උපරිමයට ළඟා වුවත් නොපෙනෙන මතු පිට අවදානමක් ද ගැබ්ව ඇතැයි සිතේ.

ගමන පු‍රා නො‍නවතින ඡායාරූප ගත් විමල්ගේ කැමරාවට නිදහසක් ලැබී ඇත. මගේ අතටත් තරමක නිදහසකි. ලියන්නට පවා සිත් නොදෙන්නේ ආපසු යන ගමනේ ඇති කටුක අවදානම ය.

දැන් මීමුරයට වැසි කාලයයි. වැසි කාලය මීමුරයට මංගල්‍යයක් ගෙන දුන්නත් මීමුරේ වැසියන්ට නම් වැසි කාලය තරමක අභියෝගයකි. කුඹුක්ගොල්ල විදුහලේ විදුහල්පති ගාමිණී අභයරත්න මහතා තවමත් අපේ තනි නොතනිය මකාලන්නට ඔහු අපට බොහෝ දේ පවසයි.

මීමුරේ ගමේ දරුවන් ඉගෙන ගන්න හරි ආසයි. ඒ දරුවෝ පාසලින් පසු හවසත් යම් යම් දේ අහගන්න අපේ නවාතැන් වලට එනවා. ඒත් දැන් වැස්ස කාලේ. වැස්ස පටන් ගන්නවා කියන්නේ මේ දරුවන්ට පාසලට යන්න නොහැකි වෙනවා. මේ පළාතට වහින්න ගත්තහම තුන් මසක් පමණ එක දිගට වහිනවා. ගං වේලි උතුරනවා‍. එහෙම උණාම ඒ දරුවන්ට වැස්ස ඉවර වෙනකම් පාසලට යන්න බැරි වෙනවා. මීමුරේ ගමේ ඉඳලා මගේ පාසලට කි.මී. 12ක් විතර තියෙනවා. පාරත් දුෂ්කරයි. පාරෙන් යන්න ගියොත් හරිම දුරයි. වැස්ස කාලයට පාසලට යන්න මං පිටත් වෙන්නේ උදේ 5.30 ට හුළු එළියක්වත් ගෙනියන්න බැරි වර්ෂාවේ සරමක් ඇඳගෙන ඉටි රෙද්දෙන් හිස වහගෙන, ලුණු පොට්ටනියක් අරගෙන කෙටි පාරවල්වලින් තමයි පාන්දර යාමයේ පාසලට යන්නෙ. කෙටි පාර තියෙන්නේ කැලෑවලින්, ගඟවල්වලින් එගොඩ වෙලා යන්න.‍ ඒ ගමනටත් පැය දෙකක් යනවා. කූඩැල්ලන් එල්ලෙන කොට ලුණු කැට තියලා අයින් කරනවා. දිනපතා පැය දෙකක දුෂ්කර ගමනකින් පස්සේ තමයි දරුවන්ට උගන්වන්න පාසලට යන්නේ... ඒ කුඹුක්ගොල්ල පාසලේ විදුහල්පති ගාමිණී සර්ය.

මීමුරේ යන දුෂ්කර ගමනේ දී පාසල් තුනක් පසු කළා මතකය. මුලින් ම හමුවන්නේ කුඹුක්ගොල්ල ප්‍රාථමිකයයි. ප්‍රධාන මාර්ගයෙන් අතුරු කැලෑ පාරක පිහිටා ඇති කුඹුක්ගොල්ල කනිෂ්ඨයේ ඇත්තේ එකම එක ගොඩනැගිල්ලකි. බහු කාර්ය ගොඩනැගිල්ලක් වූ මෙහි පන්ති කාමර, ගුරු නේවාසිකාගාරය, මුළුතැන්ගෙය මෙන් ම පුස්තකාලය හා විදුහල්පති කාමරය යන සියල්ල පිහිටා ඇත්තේ එකට ය.

විදුහල්පතිතුමා සමඟ ගුරුවරුන් 4 ක් සිටින මෙම පාසලේ දරුවෝ 26 ක් ඉගෙනුම ලබති. ගුරු දේවතාවුන් බඳු මේ ගුරුවරුන් සිය අඹු දරු නිවාස සියල්ල පසෙකලා ගමේ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම ඉතා අගනේ ය.

අපේ පාසලට දරුවන් එන්නේ ගොඩාක් දුර ඉඳලා. මේ පාසලට එන්න දරුවන්ට ගඟවල්, දියකඳුරු තුන හතරක් පාස් කරන්න වෙනවා. ඒත් කැලෑ පාරෙන් එද්දී වැස්සොත් මේ දරුවන්ට පාසලට එන්න බැහැ... අපේ දරුවන් ඉගෙන ගන්න හරිම ආසයි. ඒත් මේ පාසල්වලට ගුරුවරු එන්න කැමති නැහැ. දරුවන්ට සෞන්දර්ය, ක්‍රීඩා විෂයන් කවදාවත් ඉගෙන ගන්න ලැබෙන්නෙ නැහැ. චිත්‍රයක් අඳින්න දුන්නාට ඒවා කියලා දෙන්න ගුරුවරු නැහැ. දරුවන්ට ඉගෙන ගන්න ඇල්මක් ඇතිවෙන්න කිසිම දෙයක් මේ පාසල්වල නැහැ. ඉන්න ගුරුවරු හැමදාම මේ පාසල්වලම යි.

ඒ දරුවන්ගේ දෙමවුපියන් කියන කතාවයි.

මීමුරේ ගමට ද වෙන්වූ පාසලක් ඇත. ඒ මීමුරේ ප්‍රාථමිකයයි. කටු මැටි ගසා, පිදුරුවලින් වහලය සෙවිලිකර තිබූ මීමුරේ ප්‍රාථමිකය අද තරමක හොඳ ගොඩනැගිල්ලකි. 1905 දී මීමුරේ ප්‍රාථමිකය ආරම්භ කරද්දී සිටියේ සිසුන් 17 කි. 2015 වෙද්දී ඒ ගණන වැඩිවී ඇත්තේ දෙගුණයකිනි.

අපේ ගමේ පාසල්වලට දිනෙන් දින එන ළමයි අඩු‍ෙවනවා. ‍ඒ මේ ගමේ උපත් අනුපාතය අඩු නිසා. ඇති හැකි අය ගමෙන් පිටවෙලා ගිහින් ඉගෙන‍ ගෙන රස්සා කරලා ගමෙන් පිටට විවාහයක් කරගන්නවා‍. අද වැඩිහිටි පරම්පරාව තමයි ගමේ ඉන්නේ. මේ දරුවෝ අතිදක්ෂ නොවුණට දක්ෂයි. ඒ අයට හැකියාවන් තියෙනවා. ඒත් ඒවා දියුණු කරගන්න පහසුකම් නැහැ. ගුරුවරු නැහැ. විදුලිය නැහැ. මේ දරුවෝ ජීවිතයටම පෙර පාසල් ගිහින් නැහැ. පාසලට ඇතුළු වෙන්නේ මල පොතේ අකුරක් නොදැන. ඒත් නගරයේ දරුවන් වගේ මේ අය කුරුවල් වෙලා නැහැ.... ඒ මීමුරේ ප්‍රාථමිකයේ විදුහල්පති රංජිත් බණ්ඩාර මහතා ය.

මේ විදුහල්පතිවරු සදාකාලිකවම මේ දරුවන්ගේ විදුහල්පතිවරු ය. ඔවුනට නගරයට මාරුවක් ලැබෙන දිනයක් නැත. මාරුවක් ඉල්ලුවත් දරුවන් වෙනුවෙන් මේ දුෂ්කර ගමනට කිසිවෙකු එකතු වෙන්නේ නැත. සති අන්තයේ සිය අඹු දරුවන් වෙනුවෙන් ගත කළත් ඉතිරි දින පහම ගතවෙන්නේ මේ දරුවන්ට අකුරක් කර නැණ පාදන්නට ය.

මීමුරේ ගමට ගුරුවරයකු පැමිණියා නම් ඒ පැමිණෙන්නේ මුල් ම දුෂ්කර සේවය නිමාලන්නට ය. සමහරු දුෂ්කර කාලය පසුකළ ද තවමත් මීමුරේම ය. ඩෙස් බංකු දමා සකස් කරගත් තාවකාලික යහන ඔවුන්ගේ විඩාව නිමවයි. රාත්‍රි ඝන අන්ධකාරයෙන් වෙලා ගන්නට ප්‍රථම පාසලේ ගොඩනැඟිල්ලේ තැනූ කුඩා මුළුතැන්ගෙට මේ ගුරුවරු එකතු වන්නේ බතක් පිහා මාළුවක් පිළියෙල කරගන්නට ය.‍ අඟුණ කොළ මැල්ලුමක්, කිරි අල ව්‍යාංජනයක්, කෙසෙල් මුහ බැදුමක් මේ ගුරුවරුන්ගේ බත් පතට හැමදා හුරුපුරුදු බොජුන් ය.

මීමුරේ ගම්මුන්ගේ දවස ගැටෙන්නේ වත්ත පිටියේ ය. නැතිනම් කුඹුරේ ය. අකුරු කරන්නට දරුවන්ව යොමු කරන්නට මේ අයට උවමනාවක් නැත.

මීමුරේ යාමට යන මාර්ගයේ ඇති කයිකාවල කනිෂ්ඨ විදුහලේ අට වසර දක්වා පන්ති පැවැත්වෙයි. දරුවන් 93 ක් ඇති ගුරුවරු 10 ක් ඇති කයිකාවල කනිෂ්ඨයේ ද අඩු පාඩු බොහෝම ය.

අපිට කලාපයෙන් යම් යම් වැඩවලට අඬ ගැහුවහම කලාපයට යන්න දවස් තුනක් ගතවෙනවා. දවස් තුනක් දරුවන්ට උගන්වන්න බැරිව යනවා. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන් හිටියත් ගුරුවරු නැහැ. සාමාන්‍ය පෙළ විද්‍යා, ඉංග්‍රීසි ගුරුවරු නැහැ. මෙහෙ ළමයින්ට ලොව ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය පහසුකම් නැහැ. පරිගණකයක් තිබුණට ක්‍රියාත්මක කරන්න විදුලිය නැහැ. සෝලා කිරණින් තමයි දවල්ට විදුලිය ලබා ගන්නේ. මේ පාසල්වල ගුරුවරියන් රැ‍ඳෙන්නේ නැහැ. ඒ අයට ඉන්න පහසුකම් නැහැ. මේ නිසා තරුණ ගැහැනු ළමයින්ගේ ප්‍රශ්න විසඳන්න විදියක් නැහැ.... ඒ කයිකාවල කනිෂ්ඨ විදුහලේ වැඩ බලන විදුහල්පති නිහාල් විජේරත්න ය.

ඇති හැකි අය නගරයට ගියත් නැති බැරි අය උත්සාහ කරන්නේ මීමුරේ ගමේ පාසලෙන් ම නැණස පාදාගන්නට ය. මේ දරුවෝ ළි‍ඳේ සිටින මැඩියන් මෙන් ගමෙන් එපිට ලොවක් නොදනිති. ගමෙන් එපිට ලොවක් ඇති බව මේ නොදරුවන් දැනගන්නේ ගමට නගරයෙන් පැමිණෙන ආගන්තුකයන්ගෙනි. නගරයෙන් ගමට පැමිණ ආගන්තුකයන්ගෙන් ඇති පදමට මේ දරුවන්ට ත්‍යාග, පොත් පාසල් උපකරණ ලැබේ. ඒ නිසා මේ දරුවන්ට ඒවායින් කිසිදු අඩුවක් නැත. අඩුව ඇත්තේ ඒවා යොදන්නට පාසලේ අවශ්‍ය මානව හා භෞතික සම්පත් නො මැතිවිට ය. දැනුම ලබා ගන්නට, දැනුම ගලා එන්නට, දැනුම යාවත්කාලීන කරගන්නට පහසුකම් නොමැතිකම ය.

ඒ සියල්ලටම වඩා මීමුරයට මංගල්‍යයක් කැන්දන වර්ෂා කාලයේදී මේ දරුවන්ගේ පාසල් ගමන අඩපණ වීම වේ. ගුරු දේවතාවන් කොතෙක් කැප කිරීම් කළ ද සාර්ථකත්වයේ ඉලක්ක කරා ජයගන්නට ඔවුන්ගේ එම තනි උත්සාහය ප්‍රමාණවත් නැත. බස් ධාවනයක් නැති අතිදුෂ්කර ගමන් මඟක පාරටම වැඩි කාලයක් ගත කරමින් ජීවිතය ජයගන්නට තවත් ජීවිත ජය ගන්නවන්නට දරුවන් සමඟ එකතුවී කරන මේ හටන සිතාගැනීමටවත් නොහැක.

කොළඹ නගරයේ දරුවන් ලබන සැප පහසු අධ්‍යාපනය මේ දරුවන්ට සමකරන්නටවත් නොහැකි යැයි මට සිතේ. කුරුවල් නොවූ මේ ජීවිත ජයගන්නට නම් ඔවුන්ට මීමුරේ උපන්ගමට ආයුබෝවන් කියන්නට සිදුවේ. මීමුරේ විදුහලත්, කයිකාවල හා කුඹුක්ගොල්ල විදුහලත් කාලයාගේ ඇවෑමෙන් වැසීයාමේ ඉඩකඩ පවතින බව මට සිතේ. එය එසේ වීමට ඉඩ නොදී රැක ගැනීම බලධාරින්ගේ වගකීම ය.

ගමේ හැම දුෂ්කරතාවක් ම මතුවෙලා තියෙන්නේ මේ පාර නිසා. පාර හදා දුන්නොත් ඒක හත් අවුරුද්දකින් නිවන් ලැබිය හැකි පිනක්...? අපි එන ගමනේදි ගැමියෙක් එහෙම කියුවා මතකය.

මල් වැනි පුංචි දරුවන්ගේ අනාගතය ගමටම සීමා වූ ආකාරය හැඟුම් බර ය. ඒ අතීතය ගාමිණී සර්ගේ ජීවිතය තුළ කාලාන්තරයක් මුළුල්ලේ කිදා බැස සිටි ආකාරය ඔහු අපිට විටින් විට හෙළි කරයි. වසර තිහක විදුහල්පති සේවයේදී ඔහු විටින් විට මේ පාසල් තුනට මාරු වී ගිය සැටි අපූරුය. ඒ ජීවිතයෙ වසර තිහක් ම ගෙවුණේ මේ පාසල් සමඟ හරඹ කරන්නට ය.

මං මුල් ම පත්වීම අ‍රගෙන කුඹුක්ගොල්ල පාසලට එනකොට ඒක වැහුණු පාසලක්. කිලෝ මීටර් ගණනක් පයින් ම ඇවිත් පාසලට එනවිට මට හොඳටම මහන්සියි. පාසලේ මිදුලට ආවහම දැක්කේ එකේ කවුරුත් නැහැ කියලා. මට ආපසු ‍යන්න ක්‍රමයකුත් නැහැ. දවස් දෙක තුනක් මිදුලට වෙලා හිටියා කෙනෙක් ඇවිත් කාමරයක් ඇරලා දෙනකම්. ඒත් ළමයි නැති පාසලක්. පස්සේ මම ගෙවල් ගානේ කකුල කැඩෙත්තුව හැදෙන කල් ගමේ ඇවිදලා ළමයි දෙතුන් දෙනෙක් පාසලට ගෙන්න ගත්තා... ජීවිතයේ සදානුස්මරණීය ව‍ූ මේ අතීත කතා ඔහු අප හා පැවසුවේ ය.

මීමු‍රේ දරුවන් ගමේ ඉපිද ගමේ පරව යන මල් වැනි ය. නොඉඳුල් මේ දරුවන්ගේ ජීවිත ගත වන්නේ දෙමවුපියන්ගේ ආර්ථික හටනට උර දෙන්නට ය. උසස් පෙළ නොමැති මේ දරුවන් ගේ අධ්‍යාපනය බොහෝ විට වසරකට දෙකකට පමණක් සීමාවෙයි.

ගමට ආයු‍බෝවන් කියන්නට කාලය පැමිණ ඇත. විමලුත් මාත් බොහෝ දේ උගන්නේ මේ ගැමියන් සමඟ කතා බහ කළ සුළු කාලයෙනි. දුෂ්කර මාවතට ආය‍ුබෝවන් කියන්නට සිදුවුණත් තවත් මේ මාවත ගැන ලියන්නට බොහෝ දේ ඉතිරිව ඇත. මේ ගමට පාරක් හදා දුන්නොත්, විදුලිය දුන්නොත් මීමුරේගම මීට වඩා අලංකාර වනු ඇත. මීමුරේ දරුවන් ගේ ජීවිත අලුත් වනු ඇත.

ගාමිණී සර් තවමත් අප සමඟ ය. මේ ගමේ ගැමියන්ගේ ආගන්තුක සත්කාරයේ උපරිම යයි. සමුදෙන්නට කාලය පැමිණ ඇත.

මහත්තයලට පුළුවන් නම් අපිට මේ උදව්ව කරලා දෙන්න. අපේ පාසලේ දරුවෝ කොළඹ ගැන අහලා තිබුණට කවදාවත් දැකලා නැහැ. මේ දරුවෝ මුහුද බලලා, සත්තු වත්ත බලලා යන්න හරි ආසයි. පුළුවන්නම් මේ දරුවන්ට කොළඹ නගරය බලලා ඇවිදලා යන්න අනුග්‍රාහකයෙක්ව හොයලා දෙන්න....

ගාමිණී සර් අපෙන් කළේ එකම එක ඉල්ලීමකි. ඒ ඉල්ලීම සිළුමිණ කියවන පාඨක ඔබ සඳහා අපි ඉතිරි කරන්නෙමු.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »