ඕසොන් හානියේ බරපතළම ඛේදවාචකය සිරුරේ ප්‍රතිශක්ති ගුණාංග අහෝසි කිරීමයි

2015-09-14 11:02:00       827
feature-top
ඥානය අපට තුන් ආකාරයකින් ලබා ගත හැකිය. පළමුවැන්න සහ උසස් ම ක්‍රමය වන්නේ ඒ වෙනුවෙන් කල්පනා ශක්තිය මෙහෙයවීම යි. දෙවැන්න එනම් පහසු ම ක්‍රමය, අනුකරණය යි. තෙවැන්න හෙවත් අමිහිරිම ක්‍රමය වන්නේ අත්දැකීමෙන් වටහා ගැනීම යි.

- චීන දාර්ශනික කොන්පියුසිස්

දුර්ලභ නිල් පැහැයකින් යුත් වායු විශේෂයක් වායු ගෝලයේ පවතී. එසේ පවතින්නේ ඉතා සීමිත අගයකිනි.

ඔක්සිජන් නම් අප ආශ්වාස කරන වායුව අවුරුදු මිලියනයක පමණ කාලයක් තිස්සේ කිසිදු අපල උපද්‍රවයකින් තොරව පෘථිවි වායුගෝලයේ පැවැති ‍බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහි පරිමාව ප්‍රතිශතයක් වශයෙන් සියයට 21 ක් තරම් වේ.

ඔක්සිජන් වායු අණුවක් සෑදෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එක් වීමෙනි. එහෙත් ඔක්සිජන් පරමාණු 3 ක් එකතු වුණොත් එවිට සෑදෙන්නේ වෙනත් වායු විශේෂයකි. අප මුලින් කී, දුර්ලභ නිල් පැහැයෙන් යුතු වායු ගෝලයේ සීමිත ඉඩ පරාසයක පැතිර ඇතැයි කී වායුව ඒ වෙනත් වායු විශේෂය යි. ඕසෝන් නමින් කවුරුත් හඳුනන එය වර්තමාන ලෝකයේ දේශගුණ විපර්යාස නම් පරිසර ව්‍යසනයේ ප්‍රධාන සංරචකය ද වෙයි. ඕසොන් වායු ස්තරය, පෘථිවි පෘෂ්ඨයේ සිට කි. මී. 10 - 50 ක් අතර ඉහළ වායුගෝලයේ පිහිටා තිබේ.

කෙසේ වෙතත් ඕසෝන් වායුව යනු සිය හැකියාවෙන් නිර්මාණ වන්නක් නොවේ. එය නිමවන මාතෘ වායුව වන්නේ ඔක්සිජන් වායුව යි. වායු ගෝලයේ පාර ජම්බුල ප්‍රදේශය Ultra Violet හෙවත් UV යනුවෙන් හැඳින්වෙයි. එය ද Uv-a, Uv-b සහ Uv-c යනුවෙන් වර්ගීකරණය කෙරෙයි. මෙහිදී පාරජම්බුල Uv-c කිරණ හරහා එන ශක්තීන් ඔක්සිජන් වායුව විසින් උරා ගනු ලබයි. පසුව එය උපයෝගී කොට ගෙන ඕසොන් වායුව නිෂ්පාදනය කෙරෙයි. මේ ආකාරයට පාරජම්බුල - C ඕසොන් නිෂ්පාදනයට උපකාර කළත් පාරජම්බුල - b කරන්නේ ඕසොන් ස්තරය විනාශයට ලක් කිරීම යි.

ඕසෝන් අණු සහ ඔක්සිජන් අණු

වායු ගෝලයේ ඉතා සුළු ප්‍රතිශතයක් වන ඕසොන් වායුවේ විශේෂත්වය වන්නේ එය ඉක්මනින් ම බිඳ වැටීම යි. එසේ බිඳ වැටෙන ඕසොන් අණු කොටසකින් නැවතත් ඔක්සිජන් අණු නිර්මාණය වෙයි. මේ ආකාරයට ඕසොන් නිර්මාණය වීමත්, විනාශ වීමත් ස්වාභාවික සංසිද්ධියක් වශයෙන් පැවැතීම ස්වභාව ධර්මයේ නියතියක් වේ. නමුත් අප අද ඕසොන් විනාශය නමින් හඳුනාගන්නේ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන නැවත නිර්මාණය වීමකට ඉඩ නොතබාම ඕසෝන් වායු ස්තරය විනාශයට ගොදුරු වීම යි.

ඕසොන් පටලයට හානි වීම හේතුවෙන් මිනිසා මුහුණ පාන බරපතළම ඛේදවාචක වශයෙන් හඳුනාගන්නේ ශරීරයේ ඇති ප්‍රතිශක්ති ගුණාංගය අහෝසි වීම යි. මෙය ඒඩ්ස් රෝගය වැලඳුණා හා සමාන තත්ත්වයකි. මන්ද එතැනින් එහාට සිය පැවැත්ම ගැන කිසිදු සහතිකයක් මිනිසාට ඉතිරි නොවන හෙයිනි. අදාළ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට කම්මුල්ගාය, පැපොල, සරම්ප මුල් කොටගත් බොහෝ වෛරස්, ආසාදනවලට මිනිස් පැවැත්ම මේ හේතුවෙන් පහසුවෙන් ගොදුරු වෙනු ඇත. ඒ හැරුණු කල මැලේරියාව, බැක්ටීරියා ආසාදන දිලීර රෝග ලොව පුරා සුලබ රෝග බවට පත්වනු ඇතැයි පෙන්වා දී තිබේ.

පරිසර විද්‍යා පර්යේෂණ වාර්තා විසින් තවදුරටත් හඳුනා ගැනෙන ආකාරයට ඕසොන් විනාශයක් සමඟම පෘථිවියට පැමිණෙන පාරජම්බුල කිරණ මේ වන විටත් වාහන සහ කර්මාන්ත ශාලාවලින් වාතයට එකතු වන දූෂිත ද්‍රව්‍යයන් සමඟ කිසිදු අපහසුවකින් තොරව ප්‍රතික්‍රියා කරයි. එහි ප්‍රතිඵලය වන්නේ අප ආශ්වාස කරන සීමාව තුළ දීම ජීවින්ට කොහෙත් ම හිතකර නොවන ප්‍රභා රසායනික දුම (Photo Chemical Smog) ඇති වීම යි. මේ විනාශය බොහෝ අය නො දත් කරුණකි.

ඕසොන් විනාශය ගැන ලෝක මට්ටමින් කතා බහක් ඇති ‍වන්නට පටන් ගත්තේ 70 දශකයේ මුල් භාගයේ සිට ය. ඒ ඇන්ටාර්ටික් ප්‍රදේශයට ඉහළින් ඕසොන් පටලය තුනී වී සිදුරක් නිර්මාණය වෙන ආකාරය නිරීක්ෂණය කිරීමත් සමඟ ය. සිදුරක් යැයි කීවාට ඒ වන විටත් ප්‍රමාණාත්මකව වර්ග සැතපුම් ලක්ෂ 230 ක් තරම් ප්‍රදේශයක් තුළ ඕසෝන් විනාශය සිදු ව තිබිණි. 1992 වන විට එය තවදුරටත් විශාල වන අයුරු ද නිරීක්ෂණය කෙරිණි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම් පුළුල් වෙත් ම දැනගත හැකි වූයේ මානව ක්‍රියාකාරකම් හැරුණු විට ගිනි කඳු පුපුරා යාම හේතු කොට ගෙන ද ඕසොන් විනාශය සිදු වන බවය. රජරට ශුෂ්ක භාවය වැඩිවීම අනුව දකුණින් ඇන්ටාර්ටිකාවත් උතුරින් ආක්ටික් කලාපයත් මේ ඛේදවාචකයට ඍජුවම මුහුණ පා ඇති බවක් පොදුවේ සියයට 20 ක් තරම් ප්‍රතිශතයකින් එය වැනසී ඇති බවත් මේ වන විටත් හඳුනාගෙන තිබේ. ලෝක අයිස් කලාපය දිය වී යෑමේ අවදානම දිනෙන් දින ම ඉහළ අගයක් ගනිමින් තිබේ.

ගෝලීය උණුසුම යනුවෙන් අප පොදුවේ හඳුනාගන්නා මේ පාරිසරික ව්‍යසනය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් මෙරට කාලගුණ වාර්තා දත්ත සැලකිල්ලට ගනිමින් සකස් කොට ඇති වාර්තා අදාළ දත්ත සහ තොරතුරු යාවත්කාලීන කොට තිබේ. ඒ අනුව දෙආකාරයක අවදානමක් තිබේ. ඉන් එක් තත්ත්වයක් වන්නේ සාගර ජල මට්ටම ඉහළ යෑම යි. දෙවැන්න තාප දූෂණය යි. සාගර ජල මට්ටම ඉහළ යෑම දැනට හඳුනාගෙන ඇති ආකාරයටම සිදු වුණොත් අනාගත පරපුර ලංකා සිතියම අඳිනවා ඇත්තේ හිස කොටස නැතිව ය. ඒ අනුව කන්කසන්තුරේ සිට යාපන අර්ධද්වීපය දක්වා ඇති ලංකාවේ මුදුන් කොටස සාගරයේ ගිලී යනු ඇත.

දෙවැන්න තාප දූෂණය යි. එය ද දැනට හඳුනාගෙන ඇති ආකාරයෙන් ලංකාවට බලපෑවොත් රජරට වෙසෙන ගොවීන්ට සිය වගා බිම් අත්හැර ඒ සඳහා උඩරට වැනි කලාපයට යාමට සිදු වෙනු ඇත. මේ තත්ත්වය අද වන විටත් රජරට ප්‍රදේශයේ දකින්නට ඇතැයි පරිසර විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. ඔවුන් පවසන ආකාරයට සශ්‍රික වගා බිම් සහිත රජරට කලාපයේ ඇතැම් ප්‍රදේශවල ශුෂ්ක කලාපයන්හි වැඩෙන ශාක ප්‍රභේද මෑතක සිට දකින්නට පුළුවන්කම තිබේ. මෙය කලින් ඒ භූමියේ නො පැවැති තත්ත්වයක් ය යන්න පැහැදිලිවම පෙන්වා දී ඇත.

ඒ අනුව ඉතා පැහැදිලිවම රජරට ගොවි බිම් ශුෂ්ක පාරිසරික අනාගත අවදානමක් හමුවේ පවතී. එම කලාපයේ දේශගුණය යළිත් වරක් මැලේරියා මදුරුවන්ගේ ගහනයට සුදුසු පරිසරයක් ලෙසින් ගොඩනැ‍ඟෙන ආකාරයක් ද පෙන්නුම් කරයි. එසේ බලන කල රසායනික කෘෂි පෝර භාවිතය නිසා මේ වන විට ඔවුන්ව වැලඳගෙන ඇති වකුගඩු රෝගයට අමතරව මැලේරියා රෝගයෙන් ද පරිපීඩනයට පත් වීමේ අනාගත අනතුරක් ද අදාළ ප්‍රදේශය පුරා නිර්මාණය වෙමින් පවතින බව බලධාරීන් විසින් තේරුම් ගත යුතු ව තිබේ.

සූර්යයාගේ අධි ශක්ති කිරණ

මිහිතලය උණුසුම් වීම යන මේ තත්ත්වය ඉතා සරල අර්ථයෙන් ගතහොත්, සූර්යයාගේ අධි ශක්ති කිරණ පාලනයකින් තොරව පෘථිවියට ගලා ඒමක් වේ. එය අහිතකර කිරණ විශේෂ වශයෙන් අප හඳුනාගන්නේ පෘථිවිවාසී ජෛව පැවැත්මට දරා ගැනීමට මිනිස් සිරුරට ඇති නොහැකියාව නිසා ය. කොහොම වුණත් උෂ්ණත්වයේ ඉහළ යෑම මත සිදු වෙමින් පවත්නා දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අප සතුව ඇති දැනුම ප්‍රමාණවත් නැතැයි යන්න ද පිළිගත් ඇත්තකි. සංකීර්ණ ක්‍රියාවලියක් වන මේ තත්ත්වය නිසා ඇති විය හැකි ප්‍රති විපාක බොහෝ විට අප බලාපොරොත්තු නොවන ඒවා ද විය හැකි ය. විද්‍යාඥයෝ ඒ බව පෙන්වා දෙති.

ජෛව විවිධත්වයට හානිවීම

තව ද එහි ඍජු ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා වෙසෙන ජෛව විශේෂ 15 - 37 ත් අතර ප්‍රමාණයකින් වඳ වීම මේ වන විටත් වළක්වාගත හැකි ද යන්න සැක සහිත බව පැවැසේ. මෙතැන ඇති ප්‍රශ්නය වන්නේ ඒ වඳ වෙන ජෛව විශේෂ මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය ම වැන්නවුන් ද කියන එකයි. උදාහරණයක් ලෙස ඇටි කුකුළන් වඳ වෙන බිමක ගොවීන්ට ගොළුබෙල්ලන් විසින් සිදු කරනු ලබන හානිය බරපතළ එකකි.

මී උණ වසංගතය උග්‍ර වීම

පසුගිය කාලය ගත් කල එකල මෙරට කුඹුරු ආශ්‍රිත ව මී ගස් හිඟ නො වීය. කොහොමටත් කුඹුරු මායිම්වල මී ගස් දැකිය හැකි විය. එකී මී ගස් විවිධ දැව අවශ්‍යතා වෙනුවෙන් කපා හෙලන ලද අතර මී උණ රෝගය වැලඳීම වසංගතයක් සේ පැතිර ගියේ ඉන් අනතුරුව ය. පරිසරවේදීන් මේ සම්බන්ධයෙන් මෙන් ම වෙනත් දෑ ගැන ද කළ සොයා බැලීම් හමුවේ මී ගස් එසේ කපා දැමීම කුඹුරු ආශ්‍රිතව මීයන් බෝවීම ඉහළ දැමීමට හේතු වී ඇතැයි යන්න සනාථ විය. ඊට හේතු වන්නේ මීයන්ට සාර්ථක විලෝපිතයන් විශේෂයක් වූ ඇතැම් වවුල් වර්ගයක් මී ගස්වල පල කෑමට රාත්‍රි කාලවල දී මේ ගස් අතර සැරි සැරීම යි. සිය විලෝපිතයා හමුවේ නො බියව රැඳී නොසිටින මීයන් පලා යෑම අනිවාර්ය කරුණකි. අනිත් අතට පලා ගිය ද නො ගිය ද සිය ගෙදුර ඩැහැ ගැනීමට විලෝපිතයාගේ ඉදිරිපත් වීම ද නොවැළැක්විය හැක්කකි.

මදුරු ගහනය ඉහළ යාම සම්බන්ධයෙන් කනාමැදිරියන්ගේ සහ වවුලන්ගේ අතුරුදන් වීම අතර ඇත්තේත් එවැනි ම සම්බන්ධයකි. එදවස අවට පරිසරයේ සිටි මිනිසුන්ට අහිතවත් කෘමීන් වඳ වුණේ ගේ කුරුල්ලා නිසා ය. මනුෂ්‍ය පැවැත්ම, පොදුවේ ජෛව පැවැත්ම ආරක්ෂා කෙරෙන පාරිසරික අන්තර් සහයෝගීතාවක් මේ ආකාරයට නිර්මාණය වී තිබේ. ඒ නිසා එක්වනම කුමන ආකාරයේ හෝ ජෛව පැවැත්මක් අප අතරින් වියෝ වී යෑම නො එසේ නම් වඳ වීම අප ගත යුත්තේ තවත් එක් තොරතුරු වටිනාකමක් වශයෙන් පමණක් ම නොවේ. එය අපගේ පැවැත්මට අනිවාර්යයෙන්ම අදාළ වන ජෛව තත්ත්වයක් ඒ තුළ තිබිය හැකි ය. ඒ අනුව මහ පොළොවේ යථාර්ථය වන්නේ තමන් අවට පරිසරය නොතකා ජීවත්වීමේ හැකියාවක් මිනිසාට නැති ය යන්න යි.

දූපත් රාජ්‍ය අවදානමකට ලක්වීම

දූපත් රාජ්‍යයක් වන ලංකාව එකී පිහිටීම නිසාම ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ මුහුණපා ඇති අවදානම සංකීර්ණ එකකි. ඉහතදීත් පෙන්වා දුන් ලෝක සාගර මට්ටමේ ඉහළ යාම ඒ අතර ඇති බරපතළම කරුණයි. ඉදිරිපත් වී තිබෙන තොරතුරු අනුව පසුගිය සියවසක කාලය තුළ සාගර ජල මට්ටම් පවත්නා තත්ත්වයේ සිට සෙ. මී. 17 - 18 ක් අතර අගයකින් ඉහළ ගොස් තිබේ. ඉදිරියේ දී එය සෙ. මී. 59 දක්වා ඉහළ යෑමේ අවදානමක් ද තිබේ. කෙසේ වෙතත් මේ අගයන් මේ ආකාරයෙන් ම නිශ්චිතවම වෙතැයි හෝ අගය ඉහළ යාවි දැයි යන්න කිසිඳු විද්‍යාඥයකුට පැහැදිලිවම පෙන්වා දිය හැකි නොවේ. මක්නිසා ද යත් ගෝලීය පාරිසරික උණුසුම හුදෙක් ඒකීය තලයක සිදුවන හෝ හුදෙකලා වූ හෝ සංසිද්ධියක් නොවන හෙයිනි. තොරතුරු දත්ත ඉදිරිපත් කෙරෙන්නේ පවත්නා තත්ත්වයන්ට අනුවය.

මේ ක්‍රියාදාමය තුළ අප රට සම්බන්ධයෙන් පවත්නා අවදානම මේ වන විට හඳුනාගෙන තිබේ. ඉදිරි කාලීනව ද උෂ්ණත්වයේ ඉහළ යාම මේ ආකාරයටම හෝ මීට වැඩි අගයකට හෝ ගමන් කරයිනම් ග්‍රීන්ලන්තයේ මෙන් ම ඇන්ටාටිකාවේ අයිස් ගබඩා දියවීම කුමන තලයකින් සිදු වුණත් නොවැළැක්විය හැකි ක්‍රියාවලියක් වෙනු ඇත. කෙසේ වෙතත් ඉදිරියේ දී සිදුවිය හැකි, අදටත් වැළැක්වීමේ ක්‍රමෝපායක් ගැන සාකච්ඡා නොවෙන සාගර ජල මට්ටම ඉහළ යෑම ඉදිරියේ ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදු විය හැකි තත්ත්වය නම් මේ වන විටත් හඳුනාගෙන තිබේ. එහිදී රටේ වෙරළ කලාපීය සංවර්ධන ව්‍යාපෘති ප්‍රවාහන මාර්ග පවතින්නේ පැහැදිලි අවදානමකය.

මීට වසර නවයකට පෙර, එතරම් ඉහත කාලයක දීත් ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු සිදුවීම් විෂයයික අධ්‍යයන වාර්තාවකට අනුව මීටර් 1 ක් ජල මට්ටම ඉහළ යාමක් තුළ පවා අපේ නාගරික ප්‍රදේශවලට විය හැකි හානිය ඉහළම තැනක පවතී. එය දකුණු ආසියානු කලාපය තුළ වෙනත් රටක් මුහුණ නො පාන අන්දමේ ඉහළ අගයකි. අදාළ අධ්‍යයන වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇති ආකාරය ඒ ජල මට්ටම ඉහළ යාමේ අගය මීටර් 5 ක් වුණොත් එය රටේ ජනගහනයෙන් සියයට පහක් තරම් සංඛ්‍යාවකට බලපාන එමෙන්ම රටේ නාගරික ප්‍රදේශවලින් සියයට දහයක තරම් කලාපයක් ඊට ගොදුරු වන තත්ත්වයක් ලෙසින් අපේක්ෂා කෙරේ.

සංවර්ධනයේ අනාගත දැක්ම

මේ අනුව රටේ ඉදිරි සංවර්ධන සැලසුම් වෙනුවෙන් මෙවැනි අධ්‍යයන වාර්තා ගැන අවධානය යොමුකළ යුතු වේ. ඒවා සම්බන්ධයෙන් විමසීම වැදගත් වේ. මීට අවුරුදු ගණනාවකට පෙර සකස් කළ සිතියමක් ළඟ තබාගෙන අදටත් රටේ හැඩය මෙන් ම වර්ග ප්‍රමාණය එලෙසින් ම ගනිමින් කටයුතු කිරීම තවදුරටත් ප්‍රතිඵලදායි කාර්යභාරයක් නොවනු ඇත.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »