සෙංකඩගල ඇසළ පෙරහරේ ශබ්ද පූජාවේ ඇතුළු් පැත්ත

2015-08-25 10:35:00       836
feature-top
අගෝස්තු මස 15 දින කප් සිටුවීමත් සමඟම ඇසළ පෙරහර පැවැත්වීමට අවශ්‍ය චාරිත‍්‍ර ආරම්භ විය. ඇසළ පෙරහර ගමන් මඟ පංචතූර්ය නාදය සමඟින් පවත්වන ප‍්‍රධානතම වාදනාංගය හේවිසි යයි.

 


තේවා පදය මුල් කරගෙන බිහිවී ඇති හේවිසි වාදනය මඟින් දළදා හිමියන්ට පූජෝපහාර පැවැත්වේ. පෙරහර ගමන් රිද්මය තීරණය කිරීමට එය උපකාරී සාධකයකි. ඒ අනුව බෙර, දවුල්, තම්මැට්ටන්, හොරණෑව, තාලම්පට යන පංචතූර්යට අයත් භාණ්ඩයන් වයන්නේ නැතිව වෛර්ණවත් ඇඳුම් පැළඳුම්වලින් සැරසී කොතරම් අලංකාර අයුරින් නර්තනය සිදු කළද එය ශබ්ද පූජාවක්, අංග සම්පූර්ණ පෙරහරක්, දැක්මක් හෝ සංස්කෘතික උළෙලක් හෝ වන්නේ නැත. වටිනාකමක් ලැබෙන්නේ ද නැත. ශබ්ද පූජාවෙහි වටිනාකම අවබෝධ කර ගැනීමට ඒ උදාහරණයම ප‍්‍රමාණවත්ය. මහනුවර දළදා පෙරහර සඳහා ඊටම ආවේණික වූ ගායන, වාදන හා නර්තන සම්ප‍්‍රදායක් අතීතයේ සිටම පැවතුණු බවට සාක්ෂි ඇත. සෙංකඩගලපුර ඇසළ පෙරහරෙහි වැයෙන සෑම බෙර පදයකටම තේරුමක් ඇත්තේ ඒ නිසාය. එහෙත් මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැත.




දළදා ප‍්‍රදර්ශන පවත්වන අවස්ථාවන්හි දී පැරැුණි චාරිත‍්‍රානුකූලව භේරී (බෙර) වාදන කටයුතු සිදු කිරීම චාරිත‍්‍ර පිළිවෙත වේ. කෙසේ වුවද, පෙරහර වීදී සංචාරය කිරීමට මොහොතකට පෙර දළදා කරඬුව හෙවත් පෙරහර කරඬුව ඉහළ මාලයේ සිට පල්ලේ මාලේටත්, එතැන් සිට වාහල්කඩ අංගනයටත් වැඩමවා එහි සරසවා ඇති ඇතු පිට තබා ඇති රන්හිලි ගෙය තුළ තැන්පත් කළ යුතුය. පෙරහර කරඬුව වැඩමවනු ලබන්නේ උඩුවියන් හා පාවඩ ඇතිරීමෙන් අනතුරුව, තේවා කාරක භික්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේතුමා විසින් කෙරෙන ශබ්ද පූජා මධ්‍යයේය. ශබ්ද පූජාවලින් තොරව පෙරහර කරඬුව වැඩමවීමත්, රන්හිලිගේ තුළ තැන්පත් කිරීමත් කිසි විටෙකත් සිදු නොවේ. මෙම අවස්ථාවේ දී වඩම්මන පද නමින් හැඳින්වෙන බෙර පද ඛණ්ඩ, දවුල් තම්මැට්ටම්, ආදී තූර්ය භාණ්ඩ පමණක් මඟින් වාදනය කරනු ලැබේ. හොරණෑවෙන් ජය මංගල ගාථා වාදනය කෙරේ. මේ පිළිබඳව පැවත එන චාරිත‍්‍ර විධි බොහොමයකි. බොහෝ දෙනකුට ඒ ගැන අවබෝධයක් නැත.

 


භේරී (බෙර) වාදන සිදු කෙරෙන අවස්ථා
දුරුතු මස පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යය, බක් මස පැවැත්වෙන අවුරුදු මංගල්‍යය, නිකිනි මස හෙවත් ඇසළ මස පැවැත්වෙන ඇසළ මංගල්‍යය සහ ඉල් මස පැවැත්වෙන කාර්තික මංගල්‍යය මහනුවර දළදා මලිගාව ප‍්‍රධාන කරගෙන ඉටු කෙරෙන ප‍්‍රධාන මංගල්‍යය සතර වේ. දළදා මාලිගාව ප‍්‍රධාන කරගෙන පවත්වනු ලබන ඇසළ මංගල්‍යයට මහනුවර සතර මහා දේවාලයන්හි පෙරහර ද අයත් වේ. කෙසේ වුවද, සතර මහා මංගල අවස්ථා සඳහා විවිධ වූ භේරී වාදන පවත්වනු ලැබේ. දළදා මාලිගාවේ පවත්වනු ලබන භේරී වාදනයන්හි සුවිශේෂීත්වය වනුයේ චාරිත‍්‍ර, වත්පිළිවෙත්, තේවාවන්, පූජා පිළිවෙත් එකිනෙකට සම්බන්ධ කර තිබීමය.  


ඇසළ මංගල්‍යය සඳහා භේරී වාදන අවස්ථා ආරම්භ කරනු ලබන්නේ කප් සිටුවීමත් සමඟය. ඉන් පසු ඇතුළේ පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර, දිය කැපීමේ මංගල්‍යය සහ දවල් පෙරහර අවස්ථාවන් වලදී ද භේරී වාදන සිදු කෙරේ. මෙයට අමතරව ඇසළ මංගල්‍යයෙහි අවසන් චාරිත‍්‍ර වන සත් දින වලියක් මංගල්‍යය උදෙසා ද භේරී වාදන අවස්ථා රාශියක් ඉටු කෙරේ. කෙසේ වුවත්, කප් කණු සිටුවනු ලබන්නේ සතරමහා දේවාලයන්හි පමණි. ඇසළ මංගල්‍යය සඳහා දළදා මාලිගාවේ කප් කණු සිටුවීමක් සිදු කරනු ලබන්නේ නැත.  


කප් සිටුවීම සඳහා තෝරා ගනු ලබන්නේ පල නොදරන නෑඹුල් කොස් ගසකි. විශාල වූ හෝ මෝරා වැඞී ඇති කොස් ගස් ද මේ සඳහා සුදුසු නොවේ. තවද එම ගසෙහි බෙණ හෝ කබොක් හෝ තිබීම, ළඟින් අතු බෙදී තිබීම සහ ඍජු කඳක් නොවීම ද නුසුදුසුකමකි. ඒ ආකාරයෙන් කප් සිටුවීම සඳහා තෝරාගනු ලබන්නේ අලූත්නුවර දේවාල භූමියෙන් හෝ ඊට සුදුසු දේවාල බිමකින් හෝ තෝරාගන්නා කොස් ගසකි. තෝරාගත් එම ගස අවට භූමිය හොඳින් පිරිසිදු කිරීමෙන් පසු, කප කැපීමට පෙර අලි ඇතුන් සහිත භේරී වාදනයෙන් අලංකෘත වූ පෙරහරක් පැමිණේ. සිව්මහා දේවාලවල රාජකාරි කරන්නන් කොස් ගස සමීපයට පැමිණ කළ යුතු සියලූ වතාවත් අවසන් වන තුරු භේරී වාදන නොකඩවා පවත්වනු ඇත. ඒ දළදා පූජාවක් ලෙසිනි. මෙම ගස කපනු ලබන්නේ විෂ්ණු දේවාලයේ ප‍්‍රධාන කපුරාල විසිනි. කොස් ගස කැපීමට පෙර වටතිර ඇද ආවරණය කරනු ලබයි. මෙය පිටත පුද්ගලයන්ට නොපෙනෙන ආකාරයෙන් සිදු කළ යුතු කාර්යයකි. කොස් ගස කපා වෙන්කර ගැනීමට පෙර පේ කිරීම සිදු කරයි. ඒ ආකාරයෙන් පේ කිරීම සිදු කරන විට සහ කප් කණු කපා සතර දේවාල කරා පෙරහරින් රැුගෙන යන්නේ ද භේරී වාදන මධ්‍යයේය. එපමණක් නොව දේවාලවල ඇති කප් ගෙවල් තුළ උත්සවාකාරයෙන් එම කප් සිටුවනු ලබන්නේ ද භේරී වාදන මධ්‍යයේ වීම විශේෂත්වයකි.


මෙවැනි චාරිත‍්‍ර බොහෝ දෙනකුට දැකගත හැකි නොවන බැවින් ඒ පිළිබඳව තවදුරටත් මේ ආකාරයෙන් විස්තර කෙරේ.  කප සඳහා තෝරා ගත් වෘක්ෂය පේ කිරීමට ප‍්‍රථමව තෙවරක් සක් පිඹ, මඟුල් බෙර සතර වට්ටම කෙටි වශයෙන් වාදනය කරයි. තූර්ය වාදනවලින් පසුව දේවාලවල කපුරාලවරුන් විසින් දෙවියන් උදෙසා දේව ස්ත්‍රෝත‍්‍ර ගායනා කෙරේ. කප් කණු රැුගෙන යනු ලබන්නේ දවුල්, තම්මැට්ටන් උපයෝගී කරගෙන ගමන් තාල බෙර පද වයමිනි. තෝරාගත් වෘක්ෂය පේ කිරීමට ප‍්‍රථමව, තෙවරක් සක් පිඹ, මඟුල් බෙර සතර වට්ටම කෙටි වාදනයක් සිදු කෙරේ. මේ අවස්ථාවේදී දේවාල ඇතුළත කුඩා සීනු වාදනය කරන අතර, එය දිගු වේලාවක් පවත්වනු ලැබේ. කප් කණු සිටුවීමේදී දිගු වේලාවක් තූර්ය වාදනය සිදු කරමින් ශබ්ද පූජාවක් පවත්වයි. මේ සඳහා ගැට බෙර, දවුල්, තම්මැට්ටන්, හොරණෑ, සක්, සීනු හා තලි වාදනය කෙරේ. කතරගම දේවාලයේ පමණක් මෙම වාද්‍ය භාණ්ඩවලට අමතරව නාගස්වරම් නළාව, තවිල් බෙරය සහ කුඩා තලිය ද වාදනය කරනු ලැබේ.  


දේවාලවල කප සිටුවන ආකාරය ද දැන ගත යුතුව තිබේ. මෙහිදී කප සිටුවීමට පෙර ගමන් තාල බෙර පද වයමින් උඩු වියන්, කොඩි, සේසත් සමඟින් දේවාල භූමිය වටා පෙරහරකින් තෙවරක් හෙවත් පැදකුණුකර ගමන් කරයි. ඉන්පසු චාරිත‍්‍ර පිළිවෙත් අනුගමනය කරමින් දේවාල භූමියෙහි සරසන ලද කප් ගේ තුළ ආවරණ සහිතව කපුරාල විසින් කප් කණු සිටුවෙයි. ඉන් පසු කප් ගේ දෙපස මැටි පහන් දල්වනු ඇත. මේ කාලය තුළ තූර්ය වාදනය කරනු ලබන්නේ ශබ්ද පූජාවක් වශයෙනි. කප් ගේ අබියස පවත්වනු ලබන ශබ්ද පූජාව අවසාන කරනු ලබන්නේ දේවාලයන්හි ප‍්‍රධාන ද්වාරය ඉදිරි පිට ඇති භේරී වාදන මණ්ඩපයේ සිටය. එය අවසන් වීමත් සමගම කපුරාල දේවාභරණ රැගෙන දේවාල ද්වාරය අභියසට පැමිණේ. ඒ සමඟම තුන් වතාවක් සක් පිඹිති. ගැට බෙරයෙන් මඟුල් බෙර සතර වට්ටම් වාදනය කරති. ගැට බෙරයෙන් වාදනය කරන මඟුල් බෙර පද ඛණ්ඩ කොටස් හෙවත් වට්ටම් සතරට දවුල් තම්මැට්ටම්වලිින් තේවා පද ද, හොරණෑවෙන් මංගලම් කවි ද වාදනය කරනු ලැබේ.  එම කාලයේදී දේවාභරණ දේවාලය තුළ තැන්පත් කරති. එහිදී ගැට බෙරයෙන් දේව පදය තුන් වතාවක් වාදනය කර කප් සිටුවීම හා සම්බන්ධව ඉටු කෙරෙන භේරී වාදන අවස්ථා සහ චාරිත‍්‍ර පිළිවෙත් අවසන් කෙරේ. ඉන්පසු සිදු කෙරෙන්නේ ඇතුළේ පෙරහරය.

 


ඇතුළේ පෙරහරෙහි වාදනය
ඇතුළේ පෙරහර යනුවෙන් හඳුන්වනු ලබන්නේ කප් සිටවූ දින සිට දින පහක් දේවාලයන්හි දේවාභරණ රැුගත් කපුරාලවරුන් උඩුවියන් බැඳ භේරී වාදන සහිතව දේවාභරණ දේවාලය සහ කප සිට වූ කප් ගේ වටා පමණක් තෙවරක් කොඩි සේසත් සමඟ පෙරහරෙන් වැඩම කරවීමය. මෙහිදී වාදනය කරනු ලබන්නේ දවුල, තම්මැට්ටම, හොරණෑව පමණි. තම්මැට්ටම, දවුල උපයෝගි කරගනිමින් ගමන් තාල පද හෙවත් ගමන් කරමින් වාදනය කරනු ලබන ඛණ්ඩ (කොටස්) නමින් හැඳින්වෙන බෙර පද ඛණ්ඩ ඉතාමත් සරල ආකාරයෙන් මෙහිදී වාදනය කරයි. එකම ගමන් තාල පදයට අමතරව වරින්වර කෙටි වලිිනඩ පද ද වාදන5ය කෙරේ. දේවාල දොරටුව අසලට පැමිණෙන සියලූම භේරී වාදකයෝ එහිදී, දෙවියන්ට නමස්කාර වශයෙන් නමස්කාර වලිනඩ පදය වාදනය කරති. ඉන් පසු නැවතත් ගමන් තාල පද වාදනය කිරීම මෙහි පිළිවෙතය. ඉන් අනතුරුව දේවාලයෙහි ඇති කප් ගේ තුළ පැදකුණු කර දේවාලයට අයත් දේවාභරණ නැවත කුටි තුළ තැන්පත් කරති. එහිදී තුන් වරක් සක් පිඹ ගැට බෙරයෙන් දේව පදය ද තෙවරක් වාදනය කරයි. නැවතත්, ප‍්‍රධාන දොරටුව අසළට පැමිණෙන සියලූම භේරී වාදකයෝ නර්තන ස්වරූපයෙන් භේරී වාදනය කරමින්ම දෙවියන්ට දොහොත් මුදුන් දී නමස්කාර කෙරේ. අවසානයේ දෙවියන්ට ආශිර්වාද පතා දේව ආලත්ති පදය හෙවත් ආශිර්වාදය පතා වාදනය කරනු ලබන බෙර පද තෙවතාවක් වාදනය කර භේරී වාදන අවස්ථා නිමාවට පත් කරති. මේ ආකාරයෙන් ඇතුළේ පෙරහර දින පහක් පුරාවට පැවැත්වේ. (මෙවර අගෝස්තු මස 15 දින සිට 19 දින දක්වා ඇතුළේ පෙරහර පැවැත්වේ) මෙම පෙරහර අවස්ථා සඳහා නර්තන කිසිවක් ඉදිරිපත් නොකිරීම ද විශේෂත්වයකි. දළදා මාලිගාව තුළ කප් සිටුවීමක් මෙන්ම ඇතුළේ පෙරහරක් ද පවත්වන්නේ නැත.

 


කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහරෙහි ශබ්ද පූජාව
ඇතුළේ පෙරහර පහ අවසානයේ එනම් අගෝස්තු මස 20 වෙනි දින ආරම්භ වන කුඹල් පෙරහර 24 දිනෙන් අවසන් වේ. මේ සඳහා සතර දේවාලත්, දළදා මාලිගාවත් සම්බන්ධ වේ. රජ දවස කුඹල් කර්මාන්තයේ නියැලී කුඹල් කරුවෝ පෙරහරේ පෙරමුණේ වළං කදක් රැගෙන ගොස් තිබේ. ඒ දේවාලයන්හි දෙවියන් වෙනුවෙන් පිළියෙල කරන මුරුතැන් (ආහාර) සඳහා භාවිත කළ යුතු වළං යන බව අවබෝධ කරවීම සඳහාය. ඒ නිසා පළමු පෙරහර කුඹල් පෙරහර නම් විය. අඩක් නිම වූ පෙරහර හෙවත් අර්ධ පෙරහර යන නමින් ද, කුඹල් පෙරහර හඳුන්වනු ලැබේ.  මෙයට හේතුව වනුයේ පෙරහර ශිල්පීන් ලෙස නැට්ටුවන් හා වාදකයන් පළමු වරට ඉදිරිපත් වීමට මෙමඟින් අවස්ථාව ලැබීමය. තවද දියවඩන නිලමේතුමා සම්පූර්ණ රාජකාරි ආයිත්තම් වලින් තොරව හැඩගැන්වී සහභාගී වීමය. කෙසේ වෙතත් රන්දෝලි පෙරහරට නොමැති විශේෂිත අවස්ථාවක් කුඹල් පෙරහරට ලැබී තිබේ. එනම් කුඩා දරුවන් හෙවත් අත දරුවන්ගේ වස් දොස් දුරු කිරීම සඳහා පුරා දින තුනක් කුඹල් පෙරහර පෙන්විය යුතු බව ගැබිනි මව්වරුන්ටත් සුදුසු බව සඳහන්ය.  සතර දේවාලයන්ට අයත් දේවාභරණ, දේවායුධ මෙන්ම දළදා මාලිගා පෙරහරෙහි වැඩම කරවනු ලබන පෙරහර කරඬුව සහිත සරසන ලද ඇතුන් පිට තබා වීදි සංචාරය කිරීම මෙම පෙරහරෙහි විශේෂත්වය වේ. දළදා මාලිගාවේ ශබ්ද පූජා පැවැත්වීමේ ප‍්‍රධාන රාජකාරි නිල උරුමය හිමිව පවතින්නේ ප‍්‍රධාන පනික්කියන් සතර දෙනා මූලිකව මුහන්දිරම් පනික්්කියාටය. සෙසු භේරී වාදකයන් ඔවුන් පෙරටු කරගෙන මෙම චාරිත‍්‍රය පවත්වයි.


රන්දෝලි පෙරහර යනුවෙන් හඳුන්වනු ලබන්නේ මහනුවර රජ සමයේ රජුගේ අග මෙහෙසිය රන්දෝලිය සමඟ ගමන් කළ නිසා බව පැවසේ. (රන්දෝලි පෙරහර අගෝස්තු මස 25 දින සිට 29 දින දක්වා පැවැත්වේ). පසුකාලීනව අග මෙහෙසිය පෙරහරින් ඉවත් වුවද, ඇයට ගෞරවයක් වශයෙන් දෝලාවක් රැගෙන යෑම සම්ප‍්‍රදායක් බවට පත් විය. ඒ අනුව මහරන්දෝලි පෙරහර අවසානයේ රන්දෝලි රැුගෙන යන අතර, සිව් මහා දේවාලවල ඒ, ඒ දේවාලවලට අයත් වර්ණයන්ගෙන් අලංකාර වූ දෝලා පෙරහර අවසානයේ රැගෙන යනු ලැබේ. දින පහක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහර අවසානයේ දිය කැපීමේ මංගල්‍යය පවත්වා, පසුදින දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය සමාප්ත වේ. පෙරහර මංගල්‍යය නිම වුවද, ශබ්ද පූජාව අවසන් වනුයේ පෙරහර වීදි සංචාරය කොට නිමවීමෙන් පසුව පැවැත්වෙන වලියක් මංගල්‍යයෙනි. පෙරහර මංගල්‍යය උදෙසා වාදනය කරනු ලබන භේරී වාදන අවස්ථා රාශියක් බුදුන් වහන්සේ උදෙසාත්, බෞද්ධාගම හා සම්බන්ධ දෙවිවරුන් වෙනුවෙනුත් පූජාවක් ලෙසින් ඉදිරිපත් කෙරේ.



මංගල හස්තිරාජයාට දන්ත ධාතු කරඬුව වැඩමවා ගෙන ලාලිත්‍යයෙන් යුතුව ගමන් කිරීමට පහසුවන ආකාරයෙන් හේවිසි වාදනය කිරීමට ශිල්පීන්ට පුහුණුවක් සහ විනයක් ලබා තිබේ. ඒ සඳහා ජෙංග ජෙඟක්කිට තක්කිට තක්කට..... යන පදය සියලූ තූර්ය භාණ්ඩවලින් වාදනය කෙරේ. එම ගමන්තාලය අනුගමනය කරමින් වෙස් නර්තන ශිල්පීන්ට ගමන් කිරීම සඳහා කුංජිං ජිංගත ජිංගත කුද කුද.... කුජිං කඩකත ජිංගත ජිජිගත... යන බෙර පදය බෙර වාදකයෝ අලංකාර කොට වාදනය කරති. පැරැුණි පිළිවෙත වනුයේ ප‍්‍රවීණත්වයට පත් භේරී වාදන ශිල්පීන් වාදනය කිරීම සඳහා අවශ්‍ය බෙර පද ඛණ්ඩ මැනවින් ප‍්‍රගුණ කර වාදනය කිරීමය. තවද වයසින් මුහුකුරා ගිය භේරී වාදකයන් පමණක් ඇසළ මංගල්‍යය උත්සවය සඳහා භේරී වාදන ඉදිරිපත් කිරීමය.
එක්, එක් ගුරු පරම්පරාවලට අයත් ගුරුකුලවල භේරී වාදන ශිල්්පීන් තම තමන්ගේ පරම්පරාවලට ආවේණික වූ බෙර පද වාදනය කිරීම පෙරහරේදී අනුගමනය කරනු ලබන තවත් පිළිවෙතකි. පෙරහරෙහි පවතින තවත් එක් චාරිත‍්‍රයක් වනුයේ එක්, එක් භේරී වාදකයන් සතුව පවතින කුසලතා සහ දක්ෂතා එළිදැක්වෙන අයුරින් ඉදිරිපත් කිරීමය. මේ අනුව භේරී වාදකයෝ සහ යද්දෙස්සෝ පෙළ ගැසෙන්නේ ප‍්‍රවීණත්වය හා වයස් සීමාවන් අනුවය. වයසින් මුහුකුරා ගිය භේරී වාදන හා නර්තනය පිළිබඳ මනා දැනීමක් ඇති ශිල්පීන් පමණක් දෙපේළී ගැසී මුලින්ම සිටගනු ලැබේ. සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ නායකයා හෙවත් මුහන්දිරම් පනික්කියා භේරී වාදන හා නර්තනය ආරම්භ කරනු ඇත. (පනික්කියා යනු තනතුරේ ප‍්‍රධානත්වය හැඟවීම සඳහා යොදන වචනයකි.)  ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ මෙම නම හඳුන්වනු ලබන්නේ පනික්කාර් යන නමිනි. ඒ අනුව අනෙක් භේරී වාදකයෝ හා නර්තන ශීල්පියෝ බෙර පද වැයීම ද නර්තන ද ආරම්භ කරති.


පෙරහරේ ඉදිරියෙන් (පෙරමුණේ) ගමන් ගන්නා භේරී වාදකයෝ විසින් පෙරහර ඉදිරියට ගමන් කරවීම සහ නිමා කරවීම, චාරිත‍්‍ර පැවැත්වීම සිදුකෙරේ. එය සෙසු භේරී වාදකයන්ට හා යක්දෙස්සන්ට දන්වා සිටින්නේ, කිසියම් සන්නිවේදනාත්මක ආකාරයට වාදනයක් ඉදිරිපත්  කිරීමෙනි. ඔවුහු මේ සඳහා විවිධ භේරී වාදන උපක‍්‍රම යොදා ගනිති. ඒවා නම් භේරී වාදන ආරම්භය හෙවත් පිරීම, වඩම්මන පද, ගමන් තාල පද, මාත‍්‍රා පද, විශේෂ වලිනඩ පද, භේරී වාදන සරල නැටුම් මාත‍්‍රා පද, තේවා පද, ආලත්ති පද, පූජා හේවිසි, හේවිසි පහේ හේවිසිය හෙවත් තිත් තාල ක‍්‍රම පහකට වැයෙන වට්ටම් පහේ භේරී වාදන, ගෙවදුම් පද, ආදියයි. පිරිත් සජ්ඣායනා කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩමවීම, දළදා මාලිගාවේ පූජා වස්තුන් පයිංඩ කිරීම, දෙවියන් උදෙසා වැයෙන ගමන් තාල පදවලට වඩා ඇසළ පෙරහර මංගල අවස්ථාවේදී වැයෙන ගමන් තාල පදවල වෙනස්කම් රාශියකි. ගමන් තාල යනුවෙන් &#

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »