කිසිම කෙනෙක් ලොව සම්පූර්ණ නැත

2015-08-24 10:21:00       827
feature-top
ලෝකය පුදුමය: විෂමය: වවා ගත් බත බුලත බෙදා හදා ගත් ගැමියන්ගෙන් පිරුණු අතීත ශ්‍රී ලාංකේය සමාජය තුළ තිබූ ඒ සාධු ලක්ෂණ දැන් තරමක් වියැකී ගොසිනි. ඒ කෙතරම් ද යත් තම පවුලේ සාමාජිකයා, දරුවා බරක් කොට සලකන සමාජයක් බිහිවෙමින් තිබේ. උණහපුළුවාට උගේ පැටියා මැණිකකි. වැලේ ගෙඩිය වැලට බරක් නෑ වැනි ප්‍රසිද්ධ රූඩි හා කියමන් ද වලංගු දැයි මම ඔබෙන් අසමි.

ඉකුත් 5 වැනි දා පාණදුරයේ කළුඳෑවල මවකට කේතුමතී රෝහලේ දී උපන් දෙඅත් අහිමි පිරිමි දරුවා එම දරුවාගේ මව හා පියා විසින් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම මුළු ලංකාවේ ම සංවේදී හදවත් සසල කළ සිද්ධියකි.

මේ තරුණ මවත් පියාත් පෙනුමෙන් බොහෝ පුෂ්ටිමත් අය වෙති. යමක් කමක් කැර ගත හැකි මෙන්ම තම ලෙයින් මසින් සුජාත වූ දරුවා බාරගෙන කටයුතු කිරීමට නොහැකියාවක් නැති බව ඒත්තු ගත් පොලිස් නිලධාරින් හා නීතිවේදින් දරුවා බාරගන්නැයි කෙතෙක් කීවත් අවශ්‍ය නම් ආධාර උපකාර ලබාදීම කළ හැකි බව කීවත්, ඒ දරුවා ඔවුන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කැර තිබේ. පාණදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබ රුපියල් ලක්ෂයක ඇප පිට නිදහස ලැබූ මේ මාපිය දෙපළ මිනිස්කමට නිගාවකි.

දරුවා දකින විට කලන්තය සෑදෙන බව ඒ අමිමා කියතත් මෙම කතාව මේ සියල්ල සම්පූර්ණ කරන තකාවක් නොවේ යැයි පොලිසිය පවසයි.

ලෝකය විසිතුරු කළ ස්වභාවයෙන් ම ආබාධිතව උපන් බොහෝ දෙනා ගැන බොහෝ දේ අපට ලිවිය හැකිය. එහෙත් මේ ලිපියේ වටිනාකම සාක්ෂාත් කරනු වස් උදාහරණ දෙකකින් පමණක් මම ඔබ දැනුම්වත් කිරීමට කැමැත්තෙමි.

හෙලන් කෙලර් අමෙරිකාවේ උපන් ලෝක ප්‍රකට කාන්තාවකි. 1880 ජුනි 27 මෙලොව එළිය දුටු එතුමිය මිය ගියේ 1968 ජුනි 01 වැනිදාය. ලෝකය පුරා මුලින් ම උපාධියක් දිනා ගත් අන්ධ හා බිහිරි තැනැත්තිය ලෙස ඇය ප්‍රකට වෙයි.

පසුකාලීනව ජනප්‍රිය ලේඛිකාවක ලෙස නමක් දිනා ගත් හෙලන් එරට දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රචලිතය. එසේ ම උත්සාහය හා ධෛර්යය පිළිබඳ ලෝක සංකේතයක් ලෙස ද එතුමිය ගෞරවාදරයට පාත්‍ර වූවාය. අද වන විට අමෙරිකානු රජය ඇගේ උපන් දිනය විශේෂ සැමරුම් දිනයක් ලෙස සලකනු ලබන අතර, ඇගේ ප්‍රතිමාවක් පවා පිහිටුවීමට එම රජය ක්‍රියා කැර තිබේ.

නිකලස් ජේම්ස් වියුජිචි ද උපතින් ම අත් පා අහිමිව උපන් විස්මිත පුද්ගලයෙකි. මුළු ලෝකය ම අද ඔහු හඳුනා ගෙන ඇ‍ත්තේ නික් වියුජිචි යන කෙටි නාමයෙනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර 1982 දෙසැම්බර් 4 වැනි දා උපන් ඔහුට දැන් වයස 32 කි. ලෝකය පුරා පිළිගත් හොඳම ධනාත්මක චින්තකයා ලෙස විරුදාවලී ලබන්නේ නික්ය. ක්‍රිස්තියානු ආගමට බර පුද්ගලයකු ලෙස ප්‍රකට නික් ධනාත්මක චින්තනය පිළිබඳ ජනප්‍රිය දේශකයෙක් ද වෙයි.

නික් ගේ අම්මාට ලැබුණු පළමු දරුවා ලෙස උපන් නික් රෝහලේදි උපත ලැබූ වහා ම හෙදියන් ඇයට දරුවා ගෙනැත් දුන් විගස මවිත වූවාය.

ඉතාම සියුම් කුඩා ශරීරයක් තිබුණු නික් ගේ අත් පා අහිමිව තිබූ අතර එය පෙනුණේ හරියට මස් කෑල්ලක් රෙදිවල ඔතා තැබූ පරිද්දෙනි.

එහෙත් ඒ මව හා පියා කම්පා නොවූ අතර ඔවුන් මේ දරුවා බාරගෙන උගන්වා ලොකු මහත් කළේ එය ආශිර්වාදයක් ලෙස සලකමිනි. මව හා පියාගේ කාරුණිකත්වය හා ආදරය හමුවේ සුවෙන් වැඩුණු නික් ගේ පෞරුෂය හා දැනුම දියුණු වී ඔහු ඔස්ට්‍රේලියාවේ විශිෂ්ට චරිතයක් බවට පත්වී අදත් විසල් මෙහෙයක නිරත වෙයි. ඔහු අද නිරෝගී ශක්තිමත් පිරිපුන් දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඔහුගේ දෙවැනි දරුවා ඉපදී තවමත් සති දෙකක්වත් ඉක්ම නොගිය අතර පළමු දරුවාට අවුරුදු 2කි. කැතී නිහාරි ඔහුගේ බිරිය ද අද ලෝකයේ හැමගේ ම අවධානය දිනාගත් කාරුණික තැනැත්තියක් වන්නීය.

විදේශිකයන් මෙසේ වෙද්දී අප රටේ මිනිසුන් එලෙස සිතීම කනගාටුදායකය. එහෙත් තම දරුවන් වෙනුවෙන් මහත් මෙහෙවර කරමින් ආබාධිත දරුවන් හොඳින් වඩනා ශ්‍රී ලාංකේය අම්මලා තවමත් සිටීම අපට ද ආඩම්බරයකි. තම දරුවන් වෙනුවෙන් තම කඳුළ, දහදිය, සුසුම මතු නොව රුහිරය ද කැපකරන මාපියවරු මේ රටේ තවමත් සිටිති.

එදා නිශ්ශංක මල්ල රජ දවස සිරිපාදය සොයා ගැනීමේදි උදව් කළේ අත පය නැති කොටෙකු බව ජනශ්‍රැතියේ ද සඳහන්ය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ සිරිපාදය සොයා ගැනීමටත් උදව් කළේ එවැන්නකු නම් ඒ අය හෙළා දැකීම කනගාටුවක් බව කිව යුතුය.

මාපියන් තුළ මෙබඳු දරුවන් අත් හැර දමන මානසිකත්වයක් ගොඩ නැඟුණේ කොහොමදැයි මම නොදනිමි. එහෙත් ඉකුත් සතියේ තවත් එක්තරා සිද්ධියකින් එබඳු නරුමයන් අතර සාධුදනන් ද සිටින බව පැවැසීම යුක්ති යුක්තය.

තම දුවා දරුවන්ට මතු නොව සතා සීපාවාටත් කරුණාව දක්වන මිනිසුන් ද තවමත් නැත්තේ නොවේ. බොහෝ කාලයක් නිදි වරා වන සතුනගෙන් රැක ගත් කිරි වැදුණු ගොයම අහිංසක ගවයන් වෙනුවෙන් පූජා කළ ගොවියකු ගැන ද අපට තිරප්පනේ වළගම්බාහුව ගමෙන් අසන්නට ලැබිණ.

මේ ගොවියා නම්වර ලද්දේ කේ. චන්ද්‍රරත්න නමිනි. යුද හමුදාවේ සේවය කැර විශ්‍රාම ගිය චන්ද්‍රරත්න මහතා එදා සිටම ආගමික හා සමාජීය සේවාවේ නිරත වූවෙකි. ඔහු ආශාව තණ්හාව අත්හැරීම තවත් දියුණු කිරීමක් ලෙස ඉකුත් දා මේ මහඟු හා දුර්ලභ පින්කම සිදු කළේය.

වල් අලින්ගෙන් ගහණ වළගම්බාහුවේ වෙල්යාය යලකන්නයේ පැල් රකින ගොවීන්ගේ උස පැල්වලින් පිරී ඉතිර තිබෙයි. තම වී වගාව කිරි වැදී නැවුම් ගොයම කිරට නැමෙන තුරු චන්ද්‍රරත්න මහතා ද එවැනි පැලක සිට තම කුඹුරුයාය රැක්කේය. ඇසළ පෝය උදාවන විට වන සතුනට ජල හිඟයත් ආහාර හිඟයත් බෙහෙවින් දැනිණ. උන් නිදැල්ලේ තැන් තැන්වල ඇවිද ගොස් ආහාර සොයද්දි බොහෝ විපත්තීන්වලට මුහුණ දෙන බවක් ද ඔහුට පෙනුණේය. එනිසා චන්ද්‍රරත්න මහතා අක්කර දෙකකට ආසන්න තම කිරි වැදුණු ගොයම ඇසළ පෝය දා ගවයන්ට රිසි පරිදි කෑමට ඉඩ දුන්නේය.

ගමේ පන්සලේ විහාරාධිපති දයාගම පියරතන හිමියන් ද තම කුඹුර අද්දරට කැඳවා ගත් හෙතෙම, පවුලේ පිරිස සමඟ ගොයම් කරල් අල්ලා කෙණ්ඩියෙන් ජලය වත් කළේ මේ පින්කම හා දුර්ලභ පින්කමක මහිමය ප්‍රදේශවාසීනට ද මතක් කැර දෙමිනි. ඒ හැම අවස්ථාවකට ම ඔවුන්ට ද දායක වීමට අවස්ථාව දුන් මේ ගොවි මහතා කුඹුර වටා වැටවල් විවෘත කැර ගවයන් වගාවට ඇතුළු කර ඔවුනට නිදහසේ තම සම්පත බුදින්නට ඉඩ හළේය.

ගවදෙන්නු වසු පැටවුන්ට කිරි බුරුල පාමින් කිරි පොවමින් කිරි ගොයම රසකැර කෑහ. ඒ සතුන් සතුටින් බුදිනු බලා, මා මෙම කුඹුර හොඳට සාත්තු කරලා රෑ ‍දවල් දෙකේ වන සතුන්ගෙන් ආරක්ෂා කරලා සරුවට වගා කැර ගත්තා. මේ පායන කාලේ කෑම හිඟ කිරි ගවයින් ගැන හිතලා ඇසළ පෝයට පින්කමක් වශයෙන් හිතේ ලෝභකමක් නැතිව අද මේ සතුනට පූජා කළා යැයි බො‍හෝ දෙනාගේ ආශිර්වාදය මැද ඒ ගොවි මහතා කීවේය.

තම සුජාත දරුවන් කසළ මෙන් බැහැර කරන මානසිකත්වය මෙන් ම සතා සීපාවාටත් අසීරුවෙන් උපයා සපයා ගත් දේ කන්න දෙන මේ සාධු මානසිකත්වය එකම රටක දෙවිදියකට වර්ධනය වූයේ කෙලෙසකදැයි නොදනිමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »