මර්දනය කළ පාතාලයට යළි පණදුන්නේ කවුද?

2015-08-17 10:20:00       828
feature-top
මහා පරාක‍්‍රමබාහු රජ දවස සුරූපී තරුණියකට ඉතා වටිනා මැණික් ගලක් අතැතිව පොළොන්නරුවේ සිට මුළු රට පුරා සැරි සරා කිසිදු උපද්‍රවයකින් තොරව තමන් මුලින් සිටි තැනට නැවත පැමිණිය හැකිව තිබූ බව අප අසා ඇත. මෙකී ඓතිහාසික අදහස හුදු අතීතකාමී සිතුවිල්ලක් ලෙස සලකා එකවර බැහැර කළ නොහැක. වර්ෂ 1850 දී අනුරාධපුරයේ රාජකාරි කළ බ්‍රොඞ් නැමැති ඉංගී‍්‍රසි ජාතික දිසාපතිවරයා බි‍්‍රතාන්‍ය ආණ්ඩුව වෙත යැවූ පරිපාලන වාර්තාවේ මෙසේ සඳහන් වේ.

 


ශ්‍රී ලංකාව පුදුම රටක්....
අනුරාධපුරයේ පොසාන් නමින් උත්සවයක් පවත්වනවා....
එම උත්සවයට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගි වෙනවා....
මහ මෙවුනා උයනේ හතර පැත්තේ විශාල පිංකැට 4ක් තියෙනවා....
මේ පිංකැට පිරී ඉතිරී යනවා....
නමුත් ලංකාවේ මිනිස්සු කවදාවත් ඒ සල්ලි හොරකම් කරන්නේ නැහැ....
බිම වැටුණත් ගන්නේ නෑ....


එංගලන්තයේ නම් එක පිංකැටයක් ළඟට පොලිස් නිලධාරින් 4ක් වත් යෙදවිය යුතුයි.


(ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පරිපාලන වාර්තාව 1850)
බි‍්‍රතාන්‍ය ජාතික දිසාපතිවරයා මේ වාර්තාව ලියා ඇත්තේ 1850 දීය. එවන් සුරක්ෂිත සමාජයක් පැවැති ශ්‍රී ලංකාවේ 20 වැනි සියවස අග භාගය වන විට එනම් 1990 වන විට IRC (Island Registered Criminals) හෙවත් දිවයින පුරා ලියාපදිංචි අපරාධකරුවන්ගේ සංඛ්‍යාව 313,455කි. එකල පොලිස් දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි 18ක් පමණ මෙවර කි‍්‍රයාත්මක වෙමින් තිබුණු අතර තෙල් බාලා, ධම්මික, උපාලි, සුදාකරන්, වසන්ත, සම්පත්, ගම්පහ රංජිත්, සුමිත්, අරුණ, කි‍්‍රස්ටෝපර්, ජෝති, විජේපාලන්, වික්ටර්, ඩෙස්මන්,  ඕල්කට් ආදී පාතාල නායකයින් එම සංවිධාන මෙහෙයවමින් මුළු රට භීතියට පත්කර තිබුණි.


ඒ එසේ වූයේ කෙසේ දැයි අධ්‍යයනය කළ යුතුව ඇත. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි පිළිබඳ කරුණු ගවේෂණය කිරීමේදී නිදහසට පෙර යුගය වෙනමත් එතැන් සිට යුගය දශකයෙන් දශකය වෙනමත් හඳුනා ගැනීම තුළින් අධ්‍යයනය වඩාත් පහසු වේ. නිදහසින් පසුව එළඹෙන 50 දශකයේ සිට 70 දශකය දක්වා අපේ රටේ අපරාධ සිදුවූ නමුත් එම අපරාධවල බිහිසුණු බව හා සහාසිකත්වය එතරම් බරපතළ තත්ත්වයක නොතිබූ බව පොදු පිළිගැනීමයි. මෙය 20 වැනි සියවසේ අගභාගය සමග සසදා බැලීමේදී ලැබෙන සාපේක්ෂම පිළිතුරකි. 71 කැරැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ එතෙක් පැවැති සමාජ ව්‍යුහය බරපතළ ව්‍යාකූලභාවයකට පත්විය. එමෙන්ම 1976 න් පසුව තැනින් තැන සිදුවූ වාර්ගික කෝලාහල, 1983 කළු ජූලිය වැනි සිදුවීම් හේතුවෙන් අපේ රටේ සාමකාමී ජීවන රටාව ක‍්‍රමිකව බිඳ වැටුණි. යුද්ධය පාතාල ලෝකයේ වසන්ත සමය විය. ආයුධ පරිහරණය සහ මරණය යුද්ධය විසින් සමානුකරණය කර තිබුණි. අවි පුහුණුව, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ අකටයුතුකම් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදයට සහ පාතාලයට ළඟ නෑදෑකමක් තිබුණි.


එවක දේශපාලන ආශිර්වාදය නොඅඩුව ලබමින් සමාජය වෙළාගත් ප‍්‍රචණ්ඩත්වය කිසිදු බාධා කිරීමකින් තොරව නිදහසේ කි‍්‍රයාත්මක විය. ආණ්ඩු විරෝධී මතයක් දැරීම මැර ප‍්‍රහාරයකට හේතුවකි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝද මේ ප‍්‍රචණ්ඩත්වයෙන් පහරකෑමට ලක්වූහ. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නම් සම්භාවනීය අහිංසක මිනිසා කුණු කානුවක පෙරළාගෙන පහර දෙන්නට තරම් මේ රාජ්‍ය අනුග‍්‍රහය ලත් මැරයෝ සාහසික වූහ. සාධාරණ නඩු තීන්දු ලබාදුන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව පාතාල මැරවරයින් ගල්ගැසීය. බන්ධනාගාරගත වූ පාතාල ප‍්‍රබලයින්ට ජනාධිපති සමාව තිළිණ කෙරිණ. ස්තී‍්‍ර දූෂකයින්ට සාම විනිසුරු පදවි ප‍්‍රදානය කෙරිණ. අතිශය ලාබදායි ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් සියල්ල මැරයන්ගේ අයිතියට පවරා තිබුණි. ඉන් පසු එළඹෙන යුගයද රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළට පහරදී හිස බූ ගෑවා පමණක් නොව අනෝජා වීරසිංහගේ නිවස ගිනි තබා විනාශ කළේය. ආණ්ඩුවට එකඟ නොවන මතධාරින් ආණ්ඩුවේ වැරැුදි අනාවරණය කළ මාධ්‍යවේදීන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති විවේචනය කළ විද්වතුන් ආණ්ඩුවේ උදහසට ලක්වූවා පමණක් නොව පහරකෑමේ සිට ජීවිතයෙන් වන්දි ගෙවීම දක්වා දඬුවම් විඳීමට සිදුවිය. සාක්ෂිකරුවන් නැති මරණ පිළිබඳ අභිරහස් කතාන්දර රැුසක් කාලයේ වැලිතලාවෙන් යටපත් විය.


පුද්ගලයා අපරාධයකට යොමුවීමට බලපාන හේතු පිළිබඳ ලෝක ප‍්‍රකට මනෝ විද්‍යාඥයින් රැසක් කරුණු අධ්‍යයනය කර ඇත. ඔවුන්ගේ පොදු අදහස නම් අපරාධය යනු චර්යා බද්ධ ආතතියක් හෙවත් චිත‍්‍රවේගී රෝගයක් බවයි. 1989 දී "Crime & Society" නම් කෘතිය ලියූ "Heiden Sohn Frances" එම කෘතියේ දක්වා ඇත්තේ අපරාධයක් යනු සමාජ සංසිද්ධියක් බවයි. චර්යා බද්ධ ආතතියක් හෝ සමාජ සංසිද්ධියක් බවයි. චර්යා බද්ධ ආතතියක්  හෝ සමාජ සංසිද්ධියක් ලෙස ඇතිවන අපරාධ සහ ඒ හා බැඳෙන සාපරාධී සමාජ කණ්ඩායම්වල පැවැත්ම සුරක්ෂිත වූයේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. මන්ද යත් ඇතිවන යමක් පවතින්නේ එහි පැවැත්මට වුවමනා සාධක පවතින්නේ නම් පමණක් වන නිසාය.


පාතාලය, දේශපාලනය හා පොලිසිය අතර වූ ති‍්‍රකෝණගත සබඳතාවය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සංස්කෘතියේ පැවැත්ම තහවුරු වූ බව පරම සත්‍යයකි. විශේෂයෙන් දේශපාලනඥයින් හා පාතාල සාමාජිකයන් අතර වූ අවියෝජනීය බැඳීම සංවිධානාත්මක අපරාධ සංස්කෘතියේ පැවැත්ම තහවුරු කල ප‍්‍රමුඛතම සාධකය බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුනොවුන් අතර පැවැතියේ ජලය හා මාළුවා අතර පවතින ආකාරයේ බැඳීමක් නොවේ. මන්ද යත් මාළුවාට ජලය අත්‍යාවශ්‍ය නමුත් ජලයට මාළුවා අත්‍යවශ්‍ය නැත. නමුත් දේශපාලනඥයින් හා පාතාලයින් අතර ගොඩනැගී තිබුණේ අන්‍යොන්‍ය අත්‍යාවශ්‍යතාවයකි. එනම් දේශපාලනයට පාතාලයද පාතාලයට දේශපාලනයද අත්‍යාවශ්‍ය විය. දෙපාර්ශවයේ පැවැත්ම, ආරක්ෂාව ඇතුළු සකලවිධ අවශ්‍යතාවන් පාතාලය හා දේශපාලනය අතර අන්‍යොන්‍ය වශයෙන් නිරන්තව හුවමාරු විය. එය ගසට පොත්ත වැනි බැඳීමකි. මන්ද යත් ගසෙන් තොරව පොත්තටද පොත්තෙන් තොරව ගසටද පැවැත්මක් නැති හෙයිනි. සඳ නිසා අහසද අහස නිසා සඳද බැබලෙන්නා සේ පාතාලය නිසා දේශපාලනයද දේශපාලනය නිසා පාතාලයද බැබලූණි.


කොළඹ පැල්පත් ජීවිත හා බැඳුණු උපසංස්කෘතියද පසුගිය රජයේ අගනුවර මහල් නිවාස ව්‍යාපෘතිය මගින් බොහෝ දුරට වෙනස් කෙරිණි. රේමන්ඞ් ඊ ක්ලිපඞ් නම් සමාජ විද්‍යාඥයාගේ අපරාධ වර්ගීකරණයේ පළමු කාණ්ඩය පාරිසරාත්මක අපරාධයි. අපරාධයන්ට හේතු වන පාරිසරික බලපෑම් රැුසක් අගනුවර මහල් නිවාස ව්‍යාපෘති මගින් තුරන් කළ බව සත්‍යයකි. අපරාධකරුවන් නිදහස් කිරීම සඳහා ලැබෙන ඇමතුම් වෙනුවට අපරාධ මර්දනය කිරීම සඳහා බලපෑම් කිරීමට පොලිසියට ඇමැතුම් ලැබුණි. පාතාල මර්දනය වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත හා තාක්ෂණික සහයෝගය උපරිමයෙන් ලබාදීමට එවක රජය කටයුතු කර තිබුණි. අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා අත්‍යාවශ්‍යව තිබුණු ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ පුළුල් තාක්ෂණික ක‍්‍රමවේදය අංගසම්පූර්ණ ලෙස ස්ථාපිත කෙරිණි. අපරාධකරුවන් ඇසුරු කිරීම, ඔවුන්ගෙන් සේවය ලබාගැනීම, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් අවාසියක් මෙලොව වශයෙන් අපකීර්තියක් සහ පරලොව වශයෙන් පාපයක් බව දේශපාලනඥයින්ට වැටහෙන්නට පටන් ගත්තේය. සිය පැවැත්ම පිළිබඳ බරපතළ අභියෝගයක් නිර්මාණය වී ඇති බව වටහාගත් නමගිය පාතාල ප‍්‍රබලයින් රැසක් රට හැර ගියහ. තවත් සමහරුන් විවිධ හේතුන් මත මරණයට පත් විය. තවත් පාතාල කෙරුම්කාරයින් රැුසක් ආගිය අතක් නැත. පසුගිය සමයේ අපරාධ සංස්කෘතිය හා බැඳුණු සියලූ ගැටලූ නිරාකරණය වූවායැයි කීමට ඉක්මන් විය යුතු නැත. නමුත් අපරාධ සංස්කෘතියේ අවමය සහ පාතාල ලෝකයේ අවසානය වෙත අපේ සමාජය ගමන් කරමින් තිබූ බව ඉන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් අප දුටුවෙමු.


පසුගියදා සිදුවූ බ්ලූමැන්ඩල් වෙඩි තැබීම පාතාල ලෝකයෙන් වාර්තා වූ අලූත්ම ප‍්‍රවෘත්තියයි. මෙම වෙඩි තැබීම මහ මැතිවරණයේ මනාප ප‍්‍රශ්නයක් නොවන බව සක්සුදක් සේ පැහැදිලි විය. මෙය ආණ්ඩුව හා විපක්ෂය අතර ගැටුමක් නොවන බව තහවුරු වී අවසන්ය. මෙය අසුබ අනාගතයක මූසල පෙර නිමිත්තකි. සිද්ධියෙන් තුවාල ලැබුවන්ගේ සුවදුක් විමසමින් මියගිය අයවලූන්ගේ අවමංගල්‍ය උත්සවයන්ට සහභාගි වෙමින් පළ කළ මනුස්සකම ගරු කටයුතු වන නමුත් මෙම සාහසික සිද්ධිය පිළිබඳ ඔවුන්ගේ පැහැදිලි කිරීම් සියල්ල පටලැවිලිසහගත බව මතක් කළ යුතුවම තිබේ. මහ දවල් සිදුවූ මේ වෙඩි තැබීමට සම්බන්ධ සාහසිකයින් තවමත් නිදැල්ලේය. වෙඩි තැබුවන් පිළිබඳව පමණක් නොව තුවාලකරුවන් පිළිබඳව පවා තොරතුරු වසන් කරමින් තිබේ. ටී. 56 ගිනි අවි සහිතව මහ දවල් පුද්ගලයන් පිරිසකට වෙඩි තැබීමට තරම් මේ පාතාල සාමාජිකයන් නිර්භීත වූයේ කෙසේදැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත.


බැලූ බැල්මට පෙනී යන්නේ මේ වෙඩි තැබීමෙන් පසු තමන්ගේ රැුකවරණය පිළිබඳ විශ්වාසයක් ඔවුන්ට තිබුණු බවකි. අභූත චෝදනා නගමින්, කටකතා නිර්මාණය කරමින්, පසුගිය රජයට චෝදනා කරමින්, සිටින වර්තමාන පාලකයින්ගේ පාලකයින්ට පරම යුතුකමක් තිබේ. එනම් තමන්ගේ යහපාලන යුගය තුළ සිදුවූ මේ අතිබිහිසුණු සිද්ධිය පිළිබඳ සත්‍යය රටට අනාවරණය කිරීම සහ වැරැුදිකරුවන්ට දඬුවම් කිරීමයි. එකී අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් සිය ආණ්ඩුවේ පළමු හයමාසය තුළ තහවුරු කර ගැනීමට නොහැකි වුවහොත් එය වර්තමාන ආණ්ඩුව ලබන නින්දාසහගත පරාජයකි. බ්ලූමැන්ඩල් වෙඩි පිටියේ ඇත්ත කතාව අනාවරණය කරන ලෙස අභියෝගයක් නොව සහෝදරාත්මක ආරාධනයක් කරන්නට අපි කැමැත්තෙමු. කටු අකුලක පැටලූණු සරුංගලයක් මුදා ගන්නා සේ අසීරු ප‍්‍රයන්තයකින් ඉතා පරිස්සම්සහගතව බේරාගත් මේ රට යළි එළිමහන් වෙඩි පිටියක් බවට පත්වීමට ඉඩ දිය නොහැක. පාතාලය හා දේශපාලනය අතර කසාදයේ සාක්ෂිකරුවන් වන්නට මේ රටේ ජනතාව නැවත සූදානම් නැත.


මේ වසරේ ගතවී ගිය මාස 07 තුළ එකවර මතු වූ අපරාධ රැුල්ල පිළිබඳ පුළුල් අවධානයක් යොමු විය යුතුය. උතුරේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කළ සිද්ධියේ කම්පනයෙන් මුළු රට තවමත් ප‍්‍රකම්පිතය. පසුගිය දිනවල කොළඹ ඇළ මාර්ග හා බෝක්කු යටින් හමුවූ අත පය පිළිබඳ අප තවමත් කිසිවක් දන්නේ නැත. කබරයින් විසින් මනුස්සකම ඇදගෙන ගිය යුගයට යළි යන්නට තබා ඒ ගැන සිතන්නටවත් අපේ හදවත සූදානම් නැත. මහවැලි, කැලණි, කළු, වලවේ පමණක් නොව නිල්වලා ගඟ දිගේද පාවුණු තරුණ ජීවිත පිළිබඳ කඳුළු බොමින් සුසුම් හෙලන අහිංසක දෙමාපියන්ගේ හිත් යළි රිදවන්නට ඉඩ තැබිය නොහැක.


බ්ලූමැන්ඩල් වෙඩිපිටිය සැකසූ නාඳුනන තුවක්කුකරුවන්ට අපේ මවුබිමේ සමාජ සුරක්ෂිතතාවය බිඳ හෙලීමට කිිසිසේත් ඉඩදිය නොහැක. පොදු සමාජය නාඳුනන මෙම තුවක්කුකරුවන් සමහර දේශපාලනඥයින් ඉතා හොඳින් දන්නා හඳුනන අය බව ඉතා පැහැදිලිය. එය තහවුරු වූ සත්‍යයක් මිස චෝදනාවක් නොවේ. පාරක් පාරක් ගානේ මිනී මරණ රටක පාරට බහින්න බයේ ජීවත් වූ මිනිස්සුන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීම සඳහා නිර්මාණය කර ඇති සමාජය සුරක්ෂිත කිරීමට පුරවැසි සමාජය සිය ඡන්ද බලය අතැතිව පෙරට ආ යුතුය. ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් වෙනුවෙන් යුද වදින්නට සැවොම පෙරට ආ යුතුය. පුංචි ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ 20 වැනි සංශෝධනය සඳහා උත්සාහ කිරීමෙන් පමණක් පිවිතුරු හෙටක් හෝ සාධාරණ සමාජයක් නිර්මාණය නොවන බව සියල්ලෝම ස්වකීය බුද්ධියෙන් හා හදවතින් තේරුම් ගත යුතුව ඇත.


ඇමෙරිකාවේ තාප්පයක මෙසේ ලියා තිබුණි.
Obama is The Solution එය දුටු පුද්ගලයෙකු ඊට යටින් What is The Problem යනුවෙන් ලියා තිබුණි. අපද පිළිතුර ගැන කතා කිරීමට පෙර ප‍්‍රශ්නය තේරුම් ගත යුතුව ඇත.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »