ආවේණික මිරිදිය මසුන් අතර වර්ණලාභියා
අපනයන ඉල්ලුම වැඩි හල්මල් දණ්ඩියා

2015-08-14 09:30:00       833
feature-top
අධ්‍යාපනය දෙවැදෑරුම් ය. ඉන් එක් අවස්ථාවක දී එය අපට ජීවනෝපායක් උගන්වයි. අනෙක් අවස්ථාවේ දී එය අපට උගන්වන්නේ ජීවත් විය යුතු ආකාරය යි. අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ පරමාර්ථය දැනුම නොව ක්‍රියාව යි.

- හර්බට් ස්පෙන්සර්

සල්මලක තැඹිලි පැහැයෙන් යුතු වූ හෙයින් මොහු සල්මල් දණ්ඩියා යැයි නම් ලබන්නට ඇත. පසුව ව්‍යවහාරයේදී හ කාර ආදේශයෙන් හල්මල් දණ්ඩියා ලෙසින් හඳුනා ගන්නේ අර සල්මල් දණ්ඩියා මය. මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ 86 ක් මේ වන විටත් හඳුනාගෙන ඇත. හල්මල් දණ්ඩියා ද ඒ අතරින් එකෙකි. තව ද සුරතල් මසුන් යන වර්ගීකරණය යටතේ බහුලව අපනයනය කෙරෙන මිරිදිය මත්ස්‍යයන් අතර මොහු ද සිටින්නේ ඉදිරියෙන්මය. ඒ නිසා ම මෙරටට ආවේණික මිරිදිය මත්ස්‍යයන් අතරින් වඳ වී යෑමේ තර්ජනයට ලක් ව සිටින මසුන් ලැයිස්තුවේ ද ඉහළින්ම සිටීමට හල්මල් දණ්ඩියාට සිදු ව තිබේ.

පරිසරවේදී සජීව චාමිකර හල්මල් දණ්ඩියා පිළිබඳ ප්‍රමාණවත් අන්දමින් තොරතුරු රැස් කරගත් අයෙකි. සිය විෂය ක්ෂේත්‍රයට අමතරව ස්වභාව විද්‍යාඥයෙකු ලෙසින් ද කීර්තියක් අත් කරගෙන සිටින ආචාර්ය පී. ඊ. පී. දැරණියගල වර්ෂ 1930 දී Spolia Zeylonica නම් සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් හල්මල් දණ්ඩියාව විද්‍යා ලොවට හඳුන්වා දුන්නේ Rasbora Vaterifloris යන විද්‍යා නාමයෙනි.

ආචාර්ය දැරණියගල මතය

Cypriniformes ගෝත්‍රයේ Cypriniade කුලය ගැන සලකා හල්මල් දණ්ඩියා Rasbora ගණයට ඇතුළත් කොට තිබුණ ද 90 දශකයේ දී මොහුව Rasboroides නම් ගණයට ඇතුළත් කෙරෙන්නේ ඔවුන්ගේ ව්‍යුහ විද්‍යාත්මක නිරීක්ෂණයන් සැලකිල්ලට ගැනීමෙනි. එමෙන් ම ආචාර්ය දැරණියගල Horadandiya alukorali ලෙසින් හඳුන්වා දුන් පොදුවේ හොර දණ්ඩියා ලෙසින් හැඳින්වෙන මිරිදිය මත්ස්‍යයාව ද හල්මල් දණ්ඩියා හා සමානව ගෙන Rasboroides නම් ගණයටම ඇතුළත් කොට ඇත. ඒ හැරුණු කල සල්මලෙහි පැහැය ගත් මේ මත්ස්‍යයා Raboroides vaterifloris යන විද්‍යාත්මක නමින් ද ඉංග්‍රීසියෙන් Vateria Flower Rasbora වශයෙන් ද තවත් ග්‍රන්ථවල Golden Rasbora යනුවෙනුත් හැඳින්වේ. කෙසේ වෙතත් හල්මල් දණ්ඩියා යන නමින් සිංහල ව්‍යවහාරයට එක් වූ මේ මත්ස්‍යයාව ආචාර්ය දැරණියගල සිය Colored Atlas of Some Vertebrates from Ceylon - Volume one Fishes (1952) ග්‍රන්ථයෙන් හඳුන්වා දී ඇත්තේ හල්මල් තිත්තයා යන නමිනි.

ආචාර්ය දැරණියගල විසින් නම් තැබූ මේ මත්ස්‍යයා ගේ පළමු නිදර්ශකය හමු වී ඇත්තේ ගිලීමලේ මාර්ගයේ යන විට හමුවන ඉලුක්වත්ත නම් ප්‍රදේශය හරහා ගලා යන කළු ගංගාවෙනි. ඔහු පෙන්වා දී ඇති ආකාරයට මේ මත්ස්‍ය විශේෂය රත්නපුර දිස්ත්‍රික්කයේ දිය පහරවල දී දැකිය හැකි ය. එහෙත් මෑත කාලයේ පරිසරවේදීන් නිරීක්ෂණය කොට ඇති ආකාරයට හල්මල් දණ්ඩියා යනු පහතරට තෙත් කලාපයේදී හමුවන මත්ස්‍ය විශේෂයකි.

පතුලෙහි වැලි සහිත සෙමෙන් ගලා බසින සෙවණ ඇති කුඩා දිය දහරාවල ජල පෘෂ්ඨයට ආසන්නව හල්මල් දණ්ඩින් රංචු වශයෙන් සැරිසරනු දැකිය හැකි ය. මේ මත්ස්‍යයන්ගේ මුඛය ඉහළට නැඹුරුව පිහිටා තිබේ. ඒ නිසා මේ මත්ස්‍යයෝ ජල පෘෂ්ඨය මතුපිට සැරිසරන්නෝ වෙති. එමෙන් ම කෙකටිය, අති උඪයන්, කෙටල වැනි ජලජ ශාක ගැවසෙන ජල පරිසරයන්හී ද මේ මසුන් රංචු වශයෙන් දැකිය හැකි බව නිරීක්ෂණය කොට තිබේ.

හල්මල් දණ්ඩියාට විශේෂයෙන් ම ගොදුරු කරගන්නා මාංස භක්ෂක මත්සයෙකු වන යොනා ද මොවුන් වෙසෙන කලාපයන්හි වෙසෙති. යොනා ද ජල පෘෂ්ඨය ආසන්නයේ ජීවත් වන්නෙකි. කෙසේ වෙතත් හල්මල් දණ්ඩීන් වෙසෙන සෑම ජල පරිසරයකම මේ විලෝපිතයා හෙවත් දඩයක්කරුවා ද වෙසෙතැයි ඉන් අදහස් නොවේ.

වැඩිම වර්ණ විවිධත්වයක්

පරිසර වාර්තා පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ වෙසෙන මත්ස්‍ය වි‍ශේෂ අතරින් වැඩිම වර්ණ විවිධත්වයක් ඇති මත්ස්‍යයා වශයෙන් හල්මල් දණ්ඩියා ඉදිරියෙන් සිටී. ඒ අනුව මොවුන් දීප්තිමත් ප්‍රධාන වර්ණ ආකාර තුනකින් දැකිය හැකි ය. කහ, නිල් යන වර්ණ ඒ අතර වේ. මෙයින් තරමක් සුලබව දැකිය හැක්කේ තැඹිලි පැහැයයි. සෙසු වර්ණවලට අයත් මසුන් දුලබ වන්නේ වනාන්තර කිහිපයකට පමණක් ඔවුන්ගේ ගහනය සීමා වන හෙයිනි. එමෙන් ම බොහෝ විට දියමංවලදී අපට හමුවන්නේ වර්ණ දීප්තියෙන් අඩු මේ වර්ගයේ මත්ස්‍යයන් ය.

තැඹිලි පැහැ මත්ස්‍යයා ගේ පෘෂ්ඨීය පෙදෙස ළා තැඹිලි පැහැය හා මුසු වූ දුඹුරු පැහැයකින් ද දැකිය හැක. ශරීරයේ සෙසු කොටස් සහ වරල් දීප්තිමත් තැඹිලි පැහැයක් ගනියි. පරිසර විද්‍යාවේදී පෞච්ඡ වරල ලෙසින් හැඳින්වෙන වල්ගා වරල විනිවිද පෙනෙන එකකි. ඇසේ ඉහළ කොටස තද තැඹිලි පැහැයෙන් දැකිය හැකිය.

කහ පැහැයෙන් යුත් හල්මල් දණ්ඩීන් ගේ පෘෂ්ඨීය පෙදෙස ළා දුඹුරු පැහැයක් මුසු වූ කහ පැහැයක් ගනියි. සෙසු ශරීර කොටස් හා වරල්වල දී කහ පැහැය ළා කොළ පැහැයක් හා මුසු වෙයි.

එසේ ම නිල් පැහැ මත්ස්‍යයාගේ ඒ නිල් වර්ණය ළා දම් පැහැයක් හා මුසුව පවතී. එය ශරීරයේ සෙසු කොටස් හා වරල් කරා ද විහිද යයි. එහෙත් වල්ගා වරල ළා දම් පැහැයෙන් දැකිය හැකි ය.

හල්මල් දණ්ඩියා ඒ ආකාර වූ දීප්තිමත් වර්ණ වලින් පමණක් නොව, සෙසු මසුන්ට සාපේක්ෂව ක්‍රියාශීලී සහ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වන හෙයින් විශේෂ මත්ස්‍ය කාණ්ඩයක් වශයෙන් හඳුනා ගැනෙයි. එහෙත් එවැනි දීප්තිමත් වර්ණයෙන් යුතු මසුන් පොදුවේ සෑම තැනකම මත්ස්‍ය රංචු අතරේ දකින්න නො ලැබීම ද විශේෂත්වයකි. ඒ අනුව බොහෝ විට දැකිය හැකි වන්නේ අඳුරු හරිත වර්ණයක් සහිත වරල් අග්ගිස්සේ තැඹිලි පැහැයක් දකින්න ලැබෙන මත්ස්‍යයන් ය. එමෙන් ම ශරීරයේ අපර ප්‍රදේශයේ විසිර ගිය තැඹිලි වර්ණයක් සහිත මසුන් ය. ඒ හැරුණු කල වර්ණයේ මෙන් ම වර්ණ රටාවන්හි වෙනස්කම් සහිත මත්ස්‍යයන් ද නිතර හමුවන අතර ඔවුන් ශරීර ප්‍රමාණයෙන් සහ උසින් ද අඩු ය. වෙන එකක් තබා මේ විශේෂයේ පිරිමි මසුන්ගේ හිසට පිටුපසින් ඉහළට නැඟුණු මොල්ලියක් වැනි පිහිටීම ද මොවුන්ට නැත. සිරුරේ ස්වභාවය ද අනාකූල හැඩයක් ගනියි.

අපනයනය නිසා වඳ වීම

අපනයනය කිරීම සඳහා කිසිදු වග විභාගයකින් තොරව මේ මසුන් වෙසෙන ජල පරිසරවලින් දීප්තිමත් වර්ණ ඇත්තවුන්ව අල්ලා ගැනීම නිසා ද මේ මත්ස්‍ය රංචු හිඟ යැයි පරිසරවේදීහු පවසති. අනිත් වැදගත් කාරණය වන්නේ එවැනි දීප්තිමත් වර්ණ ඇති මසුන් උන් වෙසෙන පරිසර කලාපවලින් සීමාවකින් තොරව ඉවත් කිරීම නිසා දීප්තිමත් වර්ණය උපදවන විශේෂ ජාන සංසරණය අඩාළ වී යෑම යි. මෙය එවැනි වර්ණ සහිත මසුන් අදාළ පරිසර කලාපයන්හි හිඟ වීමට පැහැදිලිවම හේතු වී තිබේ.

පරිසරවේදී චාමිකර පෙන්වා දෙන අන්දමට මෑතක දී තමන් සිදු කළ අධ්‍යයනයකින් පැහැදිලි වන අන්දමට ශ්‍රී ලංකාවේ තෙත් වනාන්තර අතරින් කිහිපයකම මේ මසුන් නැත්තට ම නැති වන ආකාරයෙන් වඳ වී ගොස් ඔවුන් ගේ ගහනයේ බරපතළ අඩු වීමක් දැකිය හැකි වෙයි. එමෙන් ම තවත් තෙත් වනාන්තරවල මේ වන විට දැකිය හැකි වන්නේ වර්ණ දීප්තියෙන් අඩු මත්ස්‍යයෝ වෙති. ඊට හොඳම උදාහරණය ලෙසින් කොළඹ දිස්ත්‍රික්කයට අයත් ඉඳිකඩ මූකළාන වනය පෙන්වා දිය හැකිය. ඒ ආසන්නයෙන් ගලා යන පුවක්පිටිය දොළ පහරේ අද වන විට දැක ගත හැක්කේ අඳුරු පැහැයෙන් යුතු හල්මල් දණ්ඩීන්ය.

ඉංගිරියේ මඩකඩ මූකළාන

මීට වසර කිහිපයකට පෙර මඩකඩ මූකළාන (ඉංගිරිය) මේ මත්ස්‍යයන් සුලබව විසු වන පෙතකි. නමුත් අද වන විට කලාතුරකින්වත් දැකිය නො හැකි තරමින්. ඒ පරිසර කලාපයේ විසූ හල්මල් දණ්ඩීන් වඳ වී ගොස් තිබේ. ඒ සඳහා මුලින් කී හේතුවට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ද දිය පහරවල ස්වභාවය සහ ජලයේ ගුණාත්මක බව වෙනස් වීම මත ද මේ මත්ස්‍යයන් වඳ වී ගොස් ඇතැයි යන නිරීක්ෂණය ද ඉදිරිපත් කොට තිබේ. පරිසරවේදී චාමිකර තමන් සිදු කළ ඒ අධ්‍යයනය ගැන තවදුරටත් කරුණු හෙළිදරව් කොට ඇත්තේ පහත ආකාරයෙනි.

අප විසින් සිදු කර ඇති අධ්‍යයනයන්ට අනුව තෙත් වනාන්තර කිහිපයක පමණක් අද වන විට දීප්තිමත් වර්ණ දරන මත්ස්‍යයෝ ජීවත් වෙති. එහෙත් ඒ පිළිබඳව විස්තරාත්මක තොරතුරු මේ ලිපියට ඇතුළත් නො කරනුයේ අපනයනකරුවන්ගෙන් තවදුරටත් ඒ සතුන්ගේ පැවැත්මට එල්ල විය හැකි බලපෑම හේතුවෙනි.

එතැනදී ඔහු තවත් වැදගත් කරුණක් ද හෙළි කරයි. ඒ විසිතුරු මත්ස්‍යයකු ලෙස හල්මල් දණ්ඩියාට අපනයන ඉල්ලුමක් පැවැතිය ද ඒ කෘත්‍රිම පරිසරයට හොඳින් අනුවර්තනය වීමේ හැකියාවක් මේ මසුන්ට නැති බව යි. ඒ නිසා අපනයනයේ දී මත්ස්‍යයන් වැඩි වශයෙන් මිය යෑම නො වැළැක්විය හැකි කරුණක් ව තිබේ. අපනයනකරුවන් ම පෙන්වා දෙන අන්දමට එසේ මිය යන සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් සියයට පනහකි. මේ අපරාධකාරී පාඩුව තමන්ගෙන් මඟ හරවා ගැනීමට අපනයන කරුවන් කරන්නේ, එසේ මිය යන ප්‍රතිශතය ද ඇතුළත් වන ආකාරයට තවත් කිහිප ගුණයකින් වැඩි සංඛ්‍යාවක් ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගැනීමට කටයුතු කිරීම යි.

අනිත් අතට එසේ අල්ලා ගන්නේ ද දීප්තිමත් ම වර්ණයක් ඇති පිරිමි මසුන් ය. (ගැහැනු සතුන් වර්ණ දීප්තියෙන් අඩු ය.) එවැනි පසුබිමක සිය වර්ගයා බෝ කිරීමට සිටින වර්ණ දීප්තියෙන් අනූන පිරිමි සුතන් විශාල වශයෙන් ස්වාභාවික පරිසර කලාපවලින් ඉවත් වීම දිගින් දිගට ම සිදු වේ. මෙය කොතරම් සාපරාධි පාරිසරික අපරාධයක් දැයි සිතා බලනු වටී.

දීප්තියෙන් අඩු ගැහැනු මසුන්

තේ වගාව ක්‍රමයෙන් ව්‍යාප්ත වීම තුළ ද බොහෝ විට විනාශයට පත් වන්නේ තෙත් වනාන්තර යි. විශේෂයෙන් ම මේ තත්ත්වය බලපා ඇත්තේ රක්ෂිත වනපෙත්වලින් බැහැර ව සිටින හල්මල් දණ්ඩියන්ට ය. වනාන්තර එළි කිරීමෙන් උග්‍ර වන පාංශු ඛාදනය හමුවේ මේ මසුන් ගේ ක්ෂුද්‍ර වාසස්ථාන විනාශයට පත් වීම නවතා ගැනීමට නො හැකි තත්ත්වයක් ද මේ වන විට නිර්මාණය වී තිබේ. අධික ලෙසින් මඩ සහ රොන්මඩවලින් ඒ ජල පරිසර වැසී යාම ඉතා පැහැදිලිවම මේ මත්ස්‍යයන්ගේ පැවැත්ම තර්ජනයට ලක් කරන කරුණක් බවට පත් ව තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය ගත් කල ඉහතින් කී ව්‍යසනයට අමතරව යාන්ත්‍රික මෙන් ම ශිල්පීය වශයෙන් මැණික් ගැරීම ද හල්මල් දණ්ඩින් ගේ විනාශයට හේතු වී තිබේ. මේ අනුව අධික ලෙස රොන් මඩ දියමංවලට ගලා ඒම, ජලජ ශාක සුළුවෙන් නොව විශාල වශයෙන් විනාශ වීම දියමං හෑරී අනවශ්‍ය ලෙසින් ගැඹුරු වීම, ඉවුරු කඩා වැටීම යන මේ හේතු හමුවේ හල්මල් දණ්ඩියා නම් ඒ අපූර්ව වර්ණ සමාහිත මත්ස්‍යයා අද සිටින්නේ කිව නොහැකි තරමේ ඛේදජනක ඉරණමකය.

රතු දත්ත ලේඛනයට යයි

IUCN රතු දත්ත ලේඛන (1999 සහ 2007) ඉතා පැහැදිලිවම හල්මල් දණ්ඩියා වඳ වීමේ තර්ජනයට ලක් වූ (Endangered) විශේෂයක් ලෙස නම් කොට තිබේ. එහෙත් එසේ තිබියදීත් මේ වන විට ස්වාභාවික පරිසරයේ සිටින අවසාන ම මත්ස්‍යයා දක්වා අල්ලා අපනයනය කිරීමේ සාපරාධි පාරිසරික අපරාධය නවත්වන්නට අප අසමත් වන්නේ මන් ද යන්න සොයා බැලිය යුතු ව තිබේ. ඊට අදාළ නීති ප්‍රමාණවත් නොවේ නම් ඒවා ශක්තිමත් කිරිම අවශ්‍යය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »