ගාමන්ට් ආ චූටි කෙල්ල දැන් කැරොකෙ එකක නටනවා

2015-07-03 09:19:00       812
feature-top
විනාශය එන්නේ ආශිර්වාදයක් වාගේ වෙස්වලාගෙන. ගින්දරට  පිච්චෙන බව දැන හිටියට හීතලට ගල්වෙන බව නොතේරුම්කම නිසාම මග වරදවා ගන්න එපා නගෝ. ආදරේ කියන හරුපෙට මුවාවෙලා කෝලම් කරපු තාලම්කාරයන්ට අහුවුණු කිරිල්ලියෝ ආං අර නගර බැම්මේ හැපිලා බිම ඇද වැටුණා. දැන් උන් සිහි මුර්ජා වුණ ගානයි. ඒ දිහා බලලාවත් හිතට ගනින් අඬන්නේ නැතිව හිනාවෙන්න.

 


ඇය වයස අවුරුදු විසි පහක පමණ තරුණියක්. කර්මාන්ත පුරේ සේවය කළාට ඇයගෙන් දිස්වුණේ ජේත්තුකාර පෙනුමක්.


තරමක් ඉංග‍්‍රීසි හුරුවකින් වචන හසුරුවන ඇය කියූ විදිහට ඇය කොළඹට ඇවිත් අවුරුද්දයි. තඹුත්තේගම ප‍්‍රදේශයේ ගොවි පවුලක උපන් ඇයට අපි අනෝමා යයි කියමු.


අනෝමා සොහොයුරියෝ දෙන්නෙක් ඉන්න පවුලේ වැඩිමහල් අක්කා. ගෙළ ප‍්‍රදේශයට මදක් පහළට වෙන්න කොටට කැපූ කොණ්ඩය ඇයගේ මුව මඩලට ගෙනාවේ විසිතුරු සුන්දරත්වයක්.


කොහොමද නංගී, ඔයාට?


වරදක් නෑ අක්කි... දුකට කාලා සැපට ඉන්නවා
ඇය තරමක කටකාරියක්. මට හිතුනේ එහෙමයි.


කොහොමද ගාමන්ට් ජීවිතේ...?


අපෝ කතා කරලා වැඩක් නෑ අක්කි. ලැබෙන පඩිය මදි බෝඩිංවලටයි මගේ වියදනුයි ගියාම ගෙදරට අරින්න මොනවත් ඉතුරු නෑ.
ඉතිං... අනෝමට  ඕ.ටී. කරන්න පුළුවන්නේ.


මොන  ඕ.ටී. ද අක්කි. ඊට වඩා හොඳයි මම කරන පාට් ටයිම් ජොබ් එක


උදේ ඉඳලා ගාමන්ට් එකේ වැඩ කළාම ඔයාට තව වෙලාවක් තියෙනවද පාට් ටයිම් ජොබ් එකක් කරන්න
උත්තර දෙනවා වෙනුවට ඇය හිනා වුණා. කට කොනකින් හිනාවෙලා අහසට විරිත්තන ඇය ලස්සනයි.


පාට් ටයිම් ජොබ් එකක් මං කරනවා අක්කි


හ්ම්... මම දන්නවා


කොහොමද අක්කි දන්නේ


දැං ඔයා කිව්වානේ...


අහන්නේ නැද්ද ඒ ජොබ් එක මොකක්ද කියලා, කොහේද කියලා


අහගෙන ඉන්නේ, නංගී කියන්න


ඇය නැවතත් මා දෙස බලා ඉන්නවා. මහා ලොකු හුස්මක් ගත්තු ඇය ආයෙත් මා දිහාට හැරුණා.


මම කැරොකෙ එහෙක ජොබ් එක කරනවා අක්කි


මම ඇයට ඉඩදීලා අහගෙන හිටියා.


මුල් දවස්වල මේ ජීවිතේට හුරුවෙන්න මට ටිකක් ලජ්ජා හිතුණා. අමාරු හිතුනා. ඒත් දැං ගානක් නෑ.


ගෙදර අය දන්නවාද මේ ගැන. මම කිව්වේ අම්මා තාත්තා


නෑ... එයාලා හිතන් ඉන්නේ මම ගාමන්ට් එකේ වැඩකරනවා කියලා. කැරොකෙ එකෙන් ලැබෙන සල්ලි මට මගේ වැඩවලට ඇති වුණත් මම ගාමන්ට් එකෙන් අයින් නොවෙන්නේ ඒකයි.


මම මෙහෙම වුණාට මගේ අම්මා තාත්තා නංගිලා ලජ්ජාවට හැදුණ උදවිය. මම කොළඹ ගිහින් රස්සාවක් කරන්න  ඕනෑ කියලා මුරණ්ඩු වුණ නිසාම කොළඹ ආවම අම්මා තාත්තා කරබාගෙන හිටියට එයාලා මං කොළඹ ආවට කැමති නෑ.


මගේ තාත්තා අදටත් කියන්නේ මට කන්න අඳින්න දෙන්න පුළුවන් කියලා.


වෙලාවකට මටත් හිතෙනවා ගමේම හිටියා නම් හොඳයි කියලා. ඒත් දැන් මම කොළඹට පුරුදු වෙලා ඉවරයි.


යන්න  ඕනෑ වුණත් යන්න බෑ.


ඉතින් කියන්නකෝ කොහොමද කැරොකෙ සමාජ ශාලාවට ඔයා යොමුවුණේ, කවුද ඔයාව ඒකට යොමු කළේ
මම කොළඹ ආවේ මගේ හිතුමනාපෙට අම්මා තත්තා නම් කැමති වුණේම නෑ. ගෙදරදී මම ටිකක් හිතුවක්කාරයි. අම්මා තාත්තා එක්ක කටින් ගහලා දිනන්න මට පුළුවන්.


මගේ අම්මා විතරක් නොවේ තාත්තාත් බොහොම අහිංසක මිනිස්සු. මගේ තාත්තා රස්සාවකට කියලා කළේ කුඹුරු වැඩ.


එහෙමට කියලා විශාල ආදායමක් අපට නැතිවුණාට අපි කාලා ඇඳලා ජීවත් වුණා. මම අපොස සාමාන්‍ය පෙළ වෙනකන් ඉගෙන ගත්තා. මට හීනයක් තිබුණා. ඒ තමයි කොහොම හරි කොළඹ ඇවිත් හොඳ රස්සාවක් කරලා කොළඹින් කසාදයක් කරගෙන ජීවත් වෙන්න.


මම කොළඹ ආවේ මං දන්නා අඳුරන අක්කි කෙනෙකුගේ මාර්ගයෙන්.


මං වැඩ කරන ගාමන්ට් එකේ සුපවයිසර් එයා. මට වැඩ අල්ලගන්න අමාරු වුණේ නෑ. හෙල්ප කෙනෙක් විදිහට වැඩට ගිය මම පස්සේ සුජාතා අක්කාගේ උනන්දු කිරීම නිසාම මැෂින් වැඩට පුරුදු වුණා.එත් ලැබුණ පඩිය නම් මාසේ ගෙවා ගන්න මදි. බෝඩිමට ගාණක් ගිහින් කෑම බීමට ගියාම ඉතුරු වෙන දෙයක් තිබුණේ නෑ. මම නැවතිලා හිටියේ අයිරා කියලා අක්කා කෙනෙකුගේ ගෙදර. එක කාමරේ බූරු ඇඳන් වගේ පුංචි ඇඳන් දහයක් දාලා තිබුණා. බිත්තියට හයිකළ ලෑල්ල උඩ තමයි අපේ හැමදේම තියාගන්න තැනකට තිබුණේ.


බෑග් එක ලොක් කරනවා තමයි. ඒත් ඒකේ බඩු  ඕනෑ තරම් නැති වෙනවා. මේවයේ ඇවිල්ලා කෙල්ලෝ විඳින්නේ සැපක් නොවේ. පරිප්පු ඇට ගැනලා උයන්නේ නැති ටික විතරයි.


ලැබෙන පඩියත් එක්ක හැමදේම ගානට මිම්මට කරනවා. බෝඩිං අක්කාගෙන් කෑම ගන්න අවස්ථාත් තිබුණා. ඒත් මාසේ බිල බේරනකොට උයාගෙන කන එක සැපක් කියලා හිතෙනවා.


කොළඹ ඇවිත් මාසයක් විතර යනකොට මට ප‍්‍රදීප් මුණ ගැහුණා.


එයා මම නැවතිලා හිිටිය බෝඩිමේ අක්කගේ පොඩි මල්ලි. එයා මං ගැන උනන්දු වෙනවා කියලා බෝඩිමේ කෙල්ලෝ මට කිව්වා. ඒත් මට කොල්ලෙක් එක්ක යාළුවෙලා දඟලන්න වුවමනා වුණේ නෑ. මට  ඕනෑ උනේ හොඳ ජීවිතයක් ගෙවන්න. ඒත් ප‍්‍රදීප් මම හිතුවේ නැති තරමට මට හිතවත් වෙන්න උත්සාහ කළා.


මම හිතුවා බෝඩිමේ අක්කා මාව ගහලා පන්නයි කියලා. ඒ නිසාම ප‍්‍රදීප් එක්ක වැඩිය ඇයි හොඳැයියක් නැතුව ඉන්න මම උත්සාහ කළා. මම ප‍්‍රදීප් මග ඇරියා.


ඒත් දවසක් බෝඩිමේ අක්කා මට කිව්වා අනෝමා, අපේ මල්ලි ඔයා ගැන අදහසක් තියන් ඉන්නවා කියලා.


ගහලා පන්නාවි කියලා හිතාපු අයිරක්කම තමුන්ගේ මල්ලි ගැන මෙහෙම කතා කරනකොට මට  පුදුමත් හිතුණා. කොහොමින් කොහොම හරි ප‍්‍රදීප් මගේ ජීවිතේට ආවා. එයාට ත‍්‍රීවිලර් එකක් තිබුණා. මාව ගාමන්ට් එකට ඇරලවන්න එයා හැම උදේම බෝඩිමට ත‍්‍රීවීල් එකෙන් ආවා.


කාත් කවුරුවත් නැති, කොළඹ මට මගේ කියලා කෙනෙක් මුණ ගැහුණා.


ප‍්‍රදීප් මට ගොඩක් ළංවුණා. කොයිතරම් ළං වුණාද කිව්වොත් මම ගෑනියෙක් වුණේ එයා අතින්. ඉඩ ලැබෙන හැම වෙලාවෙම එයා මාව හෝටල්වලට එක්ක ගියා.


මටත් එයා නැතුව බැරි වුණා. ඇත්තටම මට එයා නැතිව බැරි වුණා.


මම එයාට ආදරේ කළා. ගරු කළා. ජීවිතේ මැරෙනකන්ම එයා එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තු වුණා. හීන මැව්වා. මගේ කියන වටිනාම දේවල් එයාට දුන්නට පස්සේ මම එයාට කිව්වා මගේ අම්මා තාත්තා මුණ ගැහෙන්න ගමේ යමු කියලා. ඒත් එයා ගමේ යන්න කැමති වුණේ නෑ.


ඒ වෙනුවට එයා මට වෙන දිහාවක යන්න කතා කළා. නයිට් ක්ලබ් එකකට මම මුලින්ම ගියේ ප‍්‍රදීප් එක්ක.


ඇත්තටම එදා මටත් නයිට් ක්ලබ් එක පෙනුනේ ඉහළ පැලැන්තියේ නෝනලා මහත්තුරු යන එන නිතර ගැවසෙන මාලිගාවක් කියලා.


කැරොකෙවල හිටියේ මං වගේම ගමෙන් ආව කෙල්ලෝ. ප‍්‍රදීප් මට කිව්වා කසාද බැන්දම දරුවෝ ලැබුණම අතේ සල්ලි තියෙන්න  ඕනෑ.


අදම හම්බකරගන්නේ නැත්නම් ලැබෙන දරුවොත් දුක් විඳිනවා. ඒ නිසා අපි දෙන්නම එකතුවෙලා ඉස්සෙල්ලා හොඳ ගානක් ඉතිරිකර ගනිමු කිව්වා. එහෙම කරලා අපේ ගෙදර ගිිහින් එයාලා කැමති නම් ඉක්මනට වෙඩින් එක ගමු කිව්වා. මම එයාව විශ්වාස කළා. අවිශ්වාස කරන්න හේතුවක් තිබුණේ නෑ.

සැකයක් ඇතිවෙන්න කිසිම අවස්ථාවක් තිබුණේ නෑ.


ඒත් ලජ්ජාවට බයට හැදුණු මට කැරොකෙවලට පුරුදු වෙන්න ලේසි වුණේ නෑ. ක්ලබ් එකට එන මේ සල්ලිකාරයින්ව බීමට ඇබ්බැහි කරගෙන අතේ සතේට යනකන් වියදම් කරවන එක ලෙහෙසි වුණේ නෑ.


ඒත් මම ඒ හැමදේටම පුරුදු වුණා. මට මගේ අම්මා තාත්තා නංගිලා මතක් වුණා.


අසාධාරණ විදිහට සල්ලි හොයන්න එපා ලොකු පුතේ කියපු තාත්තාව මතක් වුණා. ඒත් ප‍්‍රදීප් මට හැමදේම අමතක කරන්න ලොකු හයියක් වුණා.
ප‍්‍රදීප් කියපු වචන මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව වුණා. ඒත් ඒ හැම බලාපොරොත්තුවක්ම විනාශ වෙලා ගිය දවසක් තිබුණා.


මං වැඩ කළ ක්ලබ් එකේ වැඩ කළ කෙල්ලෝ අතරේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා. එයාලා ප‍්‍රදීප් එක්ක පුදුම තරහකින් හිටියා. ඒත් ඒ ඇයි කියලා මම මුලදී දැනගෙන හිිටියේ නෑ. නමුත් දවසක් එයාලා එක්ක හිතවත් වෙලා කතා කරන්න මට අවස්ථාවක් ලැබුණා.


ඒ දෙන්නත් හිටියේ ගිලෙන්න යන මගේම බෝට්ටුවේ.


ප‍්‍රදීප් මට වගේම එයාලට ආදරේ කරලා, මට වගේම බලාපොරොත්තු දීලා, මාව වගේම රවට්ටලා. ඒ කෙල්ලෝ දැන් ක්ලබ් ජීවිතේට වගේම වෙන වෙන ඒවාටත් යොමුවෙලා.


එදා මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. ප‍්‍රදීප්ව හමුවෙලා මම හොඳටම ඇඬුවා. එයා ඒ වෙලාවේ කිව්වා අනිත් වට්ටි අම්මලාට වගේ නෙවෙයි මම ඔයාට ඇත්තටම ආදරේ කළා කියලා.


ඒත් මම දන්නවා එයා කියන එක බොරුවක් වහන්න තව බොරු කියනවා කියලා. තමන් ආදරේ කරන කෙල්ලව නයිට් ක්ලබ් එහෙක කැරොකෙ ගර්ල් කෙනෙක් කරන්නේ නෑ අක්කි, හරි ආදරයක් තියෙන කොල්ලෙක්.


දැන් මට සල්ලි තියෙනවා. ගෙදරට සල්ලිත් මම යවනවා. ඒ මොනවා වුණත් ප‍්‍රදීප් වගේ නරුමයෙකුට මම අහුවුණා.


දැන් එයා මං එක්ක වැඩි ඇයි හොඳයියක් නෑ. ඒත් එයා පුරුදු කළ රස්සාවෙන් මට අයින් වෙන්නත් බෑ. මොකද සැප පහසුකම් එක්ක මම ජීවත් වෙන්නේ මේ රස්සාව නිසා.


මම දැන් වෙනම ඇනෙක්ස් එකක ජීවත් වෙනවා. ගාමන්ට් ජොබ් එකක් කලා කියලා ඒ හැටි දෙයක් නෑ. ඒත් සුජාතා අක්කා මගේ ගෙවල් ළඟ. හැමදේම කරන්න වෙන්නේ එයාටත් හොරෙන්. ඒ නිසා අමාරුවෙන් හරි ගාමන්ට් රස්සාවට යනවා.


මොකද මට නැතිවෙන ඒවා නැති වෙලා ඉවරයි. ඒත් මගේ ගෙදර අයට කිසිම දෙයක් නැතිවෙන්න බෑ.


සැප විඳින්න කැරොකෙ ජොබ් එක වගේම අම්මා තාත්තා නංගිලා වෙනුවෙන් ගාමන්ට් රස්සාව මට කරන්න වුවමනායි.


මම ජීවිතේ ගැන මහා ලොකුවට හිතන්නේ නෑ. එත් ජීවත් වෙනවා. වරදින්නෙත් හරියන්නෙත් මිනිස්සුන්ට. හරි විදිහට නැති වුණත් මමත් අද ලස්සනට ජීවත් වෙනවා.


නංගියේ... නුඹ ලස්සනයි කියන්නේ කැරොකෙ ශාලාවේ කැරකෙන බඹරුන්ගේ සාක්කුවට සුදදේ දාලා සැප විඳින එකට නම්, නුඹ ගැන හිතාගන්න කියාගන්න වචන නෑ මට.


ඒත් නුඹ ලස්සනට ජීවත් වීම කියන්නේ දුක යටපත් කරගෙන ජීවත් වෙන්න නුඹ ගන්න උත්සාහයට නම් ඒ ගැනත් කියන්න වචන නෑ. දුක හිතෙනවා මට.
එත් හිතාපන් නගේ, ලජ්ජාව බය ඇතුව ජීවත් වෙනවා වගේ නොවෙයි ලජ්ජාව බය නැතිකරගත්තු ගෑනියෙකුට. අන්තිමට ඉතිරි වෙන්නේ ඉහමොළ කන්න ළං වුණ හිවල් ?නක් විතරයි. හැරෙන්න වගේම නවතින්නත් තාමත් කාලය තියෙනවා. වසන්තය තවම තරුණයි. නගේ අබ්බගාතයෙක් නොවී කිහිලිකරුවකට හරි මාරුවෙලා නැගිටින්න දහිරිය ගනින්...


(නම් ගම් මනඃකල්පිත බව සලකන්න)


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »