දේශපාලන හෙංචයියන් බස්වලින් කප්පම් ගන්න හැටි

2015-06-24 09:48:00       812
feature-top
වේලාව හරියටම 10.30 යි. අපි ගුණසිිංහපුර බස් නැවතුමේ නතර වුණෙමු. බෑග් මලූ එල්ලාගත් මගීහු ඔවුනොවුන්ට අදාළ බස්නැවතුම්පළවල් සොයා ගමන්ගනී. ඔවුන්ගේ මුහුණු විඩාබරය. සූර්ය කිරණත් දැඩිය. අපද කතරගම දක්වා ගමන්ගන්නා බස් රථයකට ගොඩවුණෙමු. එය අර්ධ සුඛෝපභෝගී බස්රථයකි. එහෙත් බසයේ සිටි ප‍්‍රමාණය ඉක්මවා යන තරමට මගීහු සිටිති. මොහොතකින් බස්රථය පණගැන්වුණි. බස් රථය ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙකු බස්රථය දෙසට දුව එනු පෙනුනි. රියදුරු මහතාගේ අතේ මොනර කොළ කීපයකි. ඔහු එය පැමිණි මිනිසා අත තබා ඔහුගේ ගමන ආරම්භ කළේය.

 

අපගේ සිත් තුළ කුතුහලය වැඩිවිය. කවුද ඒ මොකටද සල්ලි දුන්නේ. එයා රජයේ සේවකයෙක්ද? ඒ මුදල් රජයට යනවාද ගැටලූ සමූහයකි. අප අසල වාඩිවී සිටි මැදිවයස් පුද්ගලයාට කතා කළෙමි. ඒ පිළිබඳ තොරතුරු විමසුවෙමු.


ඒ අයට කියන්නේ රනර්ලා කියලා.  ඕක අද ඊයේ ඉඳලා වෙන දෙයක් නෙවෙයි. කාලෙක පටන්ම සිද්ධවෙන දෙයක්. ඔය දේශපාලන පක්ෂවල හෙංචයියොනෙ. ඔහුගේ පිළිතුර කෙටිවිය. ඒත් ඒ පිළිතුර බොහෝදේ සොයා යාමට පූර්වාදර්ශ විය.


අපේ රටේ බස් සේවාව ආකාර කීපයකින්ම ක‍්‍රියාත්මක වෙයි. එනම් එය ප‍්‍රධාන වශයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ලෙස බෙදාදක්වයි. පෞද්ගලික බස් සේවාව තවත් කොටස් තුනක් යටතේ වර්ග වේ. එනම් අධි සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා සාමාන්‍ය බස් සේවාව ලෙස එය ක‍්‍රියාත්මක වෙයි.


මේ සියලූ බස් සේවාවන් ක‍්‍රියාත්මක කරවීමේදී වැදගත් කරුණු රාශියක් වෙයි. එනම් ඉන් පළමුවැන්න මිලදීගත් බසයට (රූට් පර්මිට් එකක්) මාර්ග බලපත‍්‍රයක් ලබාගැනීමයි. ඒ සඳහා රාජ්‍ය නීති රෙගුලාසි මාලාවක් ඇත. එය ටෙන්ඩර් කැඳවීමක් තුළින් සිදුවෙයි.


එහෙත් අද වනවිට මෙම ටෙන්ඩර් බලපත‍්‍ර ක‍්‍රමය දේශපාලනීකරණය වී ඇති බව දක්නට ලැබේ. එනම් බලපත‍්‍ර ලබාදීමේදී දේශපාලන හිතවත්කම් සහ දේශපාලන බ්‍රෝකර්වරු මාර්ගයෙන් බලපත‍්‍ර විකිණීම අද බහුලව සිදුවන අක‍්‍රමිකතාවයකි. එය හයිවේ රෝඞ් බලපත‍්‍ර සඳහා විශාල බලපෑමක් සිදුකර ඇත.
ඒ සම්බන්ධ කළ විමසුමකදී සොයාගත හැකිවූ තොරතුරු රාශියකි. එනම් අධිවේගී මාර්ගයේ දුරසේවා බලපත‍්‍රයක වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. මෙම බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් ක‍්‍රමයක් අනුගමනය කළ යුතුය. එනම් එම ක‍්‍රියාවලිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව සිදුකරනු ලබයි. පසුගිය වසරේදී අධිවේගී මාර්ග බලපත‍්‍ර 107 ක් නිකුත්වී ඇත. ඉන් 102 ක් ව්‍යාජ බලපත‍්‍ර වූ අතර මේ වනවිට ඒ සම්බන්ධව අධිකරණයේ නඩු පවරා ඇත. කරුණු සලකා බැලීමකින් පසු උසාවි තීන්දුවක් මගින් එසේ ධාවනය වූ බස් රථ 107 න් 52 ක් නවතා ඇත. ඒත් තවමත් අධිවේගයේ බස්රථ 45 ක් ධාවනය වෙමින් පවතී.


මෙසේ අධිවේගී මාර්ගයේ ධාවනය වන දුර ගමන් බලපත‍්‍රයක වටිනාකම කෝටි තුනක් පමණවේ. නීතිවිරෝධී ලෙස මාර්ගස්ථ බලපත් භාවිතය නිසා බස්නාහිර මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියට ලැබිය යුතු රුපියල් කෝටි දෙකක මුදලක් අහිමිවී ඇත. එනම් මෙම අක‍්‍රමිකතාවය සඳහා බස් රථ 33 ක ප‍්‍රමාණයක් සම්බන්ධ වී ඇති බව දැනගත හැකිවිය.


මෙසේ මාර්ග ප‍්‍රවාහන බලපත‍්‍ර සම්බන්ධ අක‍්‍රමිකතා සිදුවන්නේ දේශපාලන අධිකාරියේ මැදිහත්භාවය නිසා බව සමාජගත මත විමසුමේ දී පෙනීයයි. එනම් දේශපාලන ප‍්‍රබලයන්ට හේත්තුවී සිටින බ්‍රෝකර්ස්ලා හරහා මෙම මගී ප‍්‍රවාහන බලපත් මාෆියාව සිදුවෙන බව සොයාගත හැකිවිය. එම බ්‍රෝකර්ලා මාර්ගයෙන් ලක්ෂ 15 ලක්ෂ 20 වැනි මූල්‍යමය ලාභයක් උදෙසා පර්මිට් විකිණීම සිදුකරයි. මේ පිරිස මාර්ග බලපත‍්‍ර ජාවාරම්කාරයෝ ලෙස හඳුන්වති.
මෙසේ නීතියෙන් බැහැර වී කරන බලපත් විකිණීමේ මාෆියාව නිසා ජාතික ගමනාගමන මණ්ඩලයට 2014 වසරේ අහිමිවූ ආදායම හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වේ.


මේ ආකාරයට බස්රථ මාර්ග බලපත් ලබාගැනීමේ ක‍්‍රියාවලිය කූට ලෙස සිදුවන අතර බස්වලින් කප්පම් ගැනීමේ සිදුවීම් දාමයද නොකඩවා සිදුවනු ලබයි. එනම් මෙම කප්පම් ගැනීම් නිසා 2014 වසරේ පමණක් බස් රථ හිමියන්ට වසරකට කෝටි 180 ක අලාභයක් සිදුවී ඇත.


මේ පිළිබඳ කළ විමසුමේදී අනාවරණය වූ කරුණු රාශියකි.


එනම් කප්පම් ගැනීම ක‍්‍රමවේදයන් හතරක් යටතේ ක‍්‍රියාත්මකවනු ලබයි. ඉන් පළමු ක‍්‍රමය බස් නැවතුම්පලවල සිටින වේලා සටහන්කරුවන්ට ගෙවන මුදලය.


බස්රථ ගමනාගමනය පරිපාලනය වන්නේ පළාත් සභාවෙනි. එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තහවුරු කර ඇත. ඊට අනුකූලව වේලා සටහන්කරුවන්ගේ වෘත්තිය ක‍්‍රියාත්මක වේ. එනම් බස් නැවතුමේ තිබෙන සෑම බසයකටම පිටත්වීමේ වේලාව ලබාදෙන්නේ ඔවුන්ය. ඔවුන්ට ඒ සඳහා දෛනික මුදලක් ගෙවිය යුතුය. ලංකාව පුරා මෙම ක‍්‍රියාවලිය ව්‍යාප්තව ඇත. මොවුන්ගේ මාසික ආදායම රුපියල් 25,000 ඉක්මවන අතර එය යන්නේ බස් හිමියන්ගේ සාක්කුවෙන්ය.


බස්වලින් කප්පම් ගන්නා දෙවන ක‍්‍රමය වන්නේ රනර්ලාගේ ක‍්‍රියාවලියය. මෙම රනර්ලා ආණ්ඩු වෙනස්වීමත් සමග වෙනස්වේ. එනම් පසුගිය වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට හිතවත්ව ක‍්‍රියාකළ අය රනර්ලාගේ ක‍්‍රියාවලිය සිදුකර ඇති අතර ආණ්ඩු මාරුවීමෙන් පසු වර්තමාන ආණ්ඩුවේ රනර්ලා ක‍්‍රියාකාරීවී ඇත. කුරුණෑගල, කැකිරාව, නුවර ආදී බොහෝ පළාත්වල මෙම රනර්ලාගේ ක‍්‍රියා ප‍්‍රසිද්ධය.


එනම් බස් නැවතුම්පල ආක‍්‍රමණය කරන මෙම රනර්ලා එක් එක් ප‍්‍රදේශ කරා ධාවනය වන බස්වලින් රුපියල් 300 සිට 1500 දක්වා මුදල් අයකරනු ලබයි. ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමද භයානකය. එනම් කප්පම් ගැනීම යනු ඇප දිය හැකි වරදකි. රනර්ගේ පාර්ට් එක කරන්නේ දේශපාලන පක්ෂයේ හිතවතෙකි. ඔහුට විරුද්ධව පැමිණිලි කළද ඔහු ඇප මත නිදහස්වී පැමිණෙයි. යළිත් පෙර පරිදිම කප්පම් ගැනීම සිදුකරයි. ඉන් නොනවතින ඔහු පැමිණිලි කළ බස් හිමියන්ට තර්ජන ගර්ජන කරයි. මේ සම්බන්ධ අපරාධ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති පැමිණිලි ප‍්‍රමාණයද විශාලය.


රනර්ගෙන් පසු කප්පම් ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන්නේ බස් සමාගම්ය. එනම් එය බස්රථ හිමියෝ එකතුවී නිර්මාණය කරගත්තක්ය. එම බස් සමාගම් හිමියෝ බස්වලින් මුදල් එකතුකිරීම් සිදුකරයි. මාතර බස් සමාගමේ එක් ගමන් වාරයකට ගන්නා මුදල රුපියල් 100 කි. බදුල්ල බස් සමාගමේ දිනකට බසයකින් අයකරන මුදල රු. 350කි. පොළොන්නරුව බස් සමාගම මාසිකව අයකරන මුදල රුපියල් 1500 කි. මෙවැනි බස් සමාගමක් නුවරඑළියෙත් ඇත. මෙය දිවයින පුරා ක‍්‍රියාත්මක වන්නකි.


මේ ක‍්‍රමවේදය හැර බස්නැවතුම්පළවල ලොග් සීට් සඳහා මුදල් අයකරන ක‍්‍රමයක්ද ඇත. එනම් ඒ සඳහා නගර සභාවලින් පිරිස් එවන අතර ලොග් සීට් සඳහා රු. 1250 ක මුදලක් අයකරයි. මේ ක‍්‍රමවේදය හැරුණුකොට තැරැුව්කාරයෝ ලෙස කෑගසා රු. 10, 20 බස්වලින් ඉල්ලාගන්නා පිරිස්ද සිටිති.


මේ කප්පම් ක‍්‍රියාවලියට අමතරව කප්පම් ගන්නා චන්ඩින් පිරිසක්ද ඇත. ඒ සඳහා ගුණසිංහපුර ප‍්‍රසිද්ධය. පොලිසියේ පැමිණිලි කළද, අත්අඩංගුවට ගත්තද යළිත් ඇපපිට පැමිණ එම ක‍්‍රියාවලියම සිදුකරයි. ඔහු බස් රථයකින් දවසකට ගන්නා මුදල රුපියල් 500 කි. මීට අමතරව තවත් ආගමික සංස්ථාවක සම්බන්ධ අයෙකුදු යම් යම් වරප‍්‍රසාද දෙන බව පවසමින් ලියුම් ඉදිරිපත් කරමින් බස්නැවතුම්වලින් රුපියල් 25 බැගින් එකතු කර ඇත. ඒ සම්බන්ධ ලිඛිත සාක්ෂි නීතියට යොමු කර ඇත.


මේ සියලූ දේ සේම බස් ස්ථානවල ගැවසෙන පොලියට දෙන්නෝද බස් හිමියන්ට තර්ජනයක්ව ඇත. ඔවුන් දවසේ ඉල්ලන්නේ කොපමණ ගානක්ද එය බස්රථ රියදුරුට හෝ කොන්දොස්තරවරයාට දෙනු ලබයි. එය රුපියල් පනස් දාහක් හෝ ලක්ෂය විය හැකිය.


මේ මුදල දිනපතා ගෙවීමට මුදල් ලබාගන්නා පුද්ගලයා කටයුතු කළ යුතුය. එනම් ඔවුනට මාසික ආදායම ලැබෙනවා සේම ගන්නා පොලී මුදල පියවා ගැනීමට බසයේ දෛනික ආදායමෙන් කොටසක් දීම සිදුකරයි.


මේ ආකාරයට මාසිකව දාස් ගානක පාඩු ලබන පෞද්ගලික බස් හිමියෝ වාර්ෂිකව ලක්ෂ ගාණක පාඩු ලබන බව නොරහසකි. එනම් මෙම කප්පම් මාෆියාවත් නීතියේ ඇති දුර්වලතාවයත් නිසා අද බස් රථ හිමියෝ ගැටලූ රාශියකට මුහුණපා ඇත. එබැවින් මේ මාෆියාව තුරන් කිරීම හා බස්රථ හිමියන්ගේ හෙට දවස වෙනුවෙන් කළයුත්තේ කුමක්දැයි විමසීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සම්බන්ධ කරගත්තෙමු.
අද වෙනකොට ලංකාව පුරා බස්රථ 21,000 ක් පමණ ධාවනය වෙනවා. මේ බස් රථ හිමියන්ට කප්පම් නිසා වාර්ෂිකව අහිමිවෙන මුදල රුපියල් කෝටි 180 ක්.


මේ කප්පම් ගැනීම නැතිකරන්න බැරිවෙන්නේ කප්පම් ගැනීම ඇපදිය හැකි වරදක් වීම නිසා. කප්පම් ගන්නා අයට දේශපාලන හයියක් තියෙනවා.


කොන්දොස්තර අතේ සල්ලි නිතරම ගැවසෙනවා. ඒ නිසා ප‍්‍රශ්නයක් ආගමන් සල්ලි ඇදලා දෙන්න එයාලා පැකිලෙන්නේ නැහැ. මේ කප්පම් නතරකිරීමේ ක‍්‍රමවේදයක් විදියට පහුගිය කාලේ ට‍්‍රැවල් කාඞ් ක‍්‍රමය හඳුන්වලා දුන්නා. එය මුදල් ගනුදෙනුවක් නොමැතිව බස් එකේ ගමන් කළහැකි ක‍්‍රමයක්. මැෂින් එකෙන් ක‍්‍රියාත්මක වෙන්නේ. ඒත් ඒකට හොඳ රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබුණේ නැහැ.


ඒ වගේම පහුගිය කාලේ ලංගම බස්රථ 2000 ක් ගෙනාවා. ඒකත් පෞද්ගලික බස්රථ හිමියන්ට මුහුණදෙන්නට වූ විශාල ගැටලූවක්. ඒ නිසා පුද්ගලික බස් සේවාවෙන් මගීන් 1500 ක් ඉවත්වුණා. මීට අමතරව කොළඹ තදාසන්න ප‍්‍රදේශවල මාර්ග තදබදය අධිකයි. පැය බාගේ ගමනට පැයක් විතර යනවා. සාමාන්‍යයෙන් බස් එකක ධාවන කාලය පැය 8 යි. ඒත් මාර්ග තදබදය නිසා කාලය ප‍්‍රමාදවෙනවා. ඒ නිසා මිනිසුන් කාලය ඉතුරු කරගැනීමට මෝටර්සයිකල් සහ ත‍්‍රීවිල් භාවිතයට හුරුවෙලා. අවුරුද්දකට මෝටර් සයිකල් ලක්ෂ තුනක් ගේනවා. ත‍්‍රීවිල් ලක්ෂයක් ගේනවා. මේ විදියට ගියොත් තව අවුරුදු තුනකින් විතර බස් කර්මාන්තය සියයට 50 න් පමණ අඩාල වෙයි.


දේශපාලන බලපෑම්, අක‍්‍රමවත්වදෙන රූට් පර්මිට්, කප්පම් ගැනීම්, පොලීකාරයෝ යන හැම බාධකයක් එක්ක තමයි බස් සේවාව ක‍්‍රියාත්මක කරන්නේ. මේ අක‍්‍රමිකතාවයන් මැඩපැවැත්වීමට නීති සකස්වීම, රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යයි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »