එකට බැඳුණු අක්ක නගා වෙන්කළ සැත්කම

2015-05-28 09:30:00       813
feature-top

දරුවකු ඉපදීම මහා මංගල්‍යයකි. පිරිමි දරුවන් තිදෙනකු සිටින මවක හා පියකුට ගැහැනු දරුවකු උපත ලැබීම තරම් සම්පතක් තවත් නැත. මේ එවැනි කතාවකි. එසේ වුවද එය මහා මංගල්‍යයක් වූයේ නැත.

 


ගාල්ලේ අක්මීමන කුරුඳුවත්තේ පිහිටි චීන මිත‍්‍රත්ව ගම්මානයට මේ යුවළ පදිංචියට යන්නේ සුනාමියට සිය නිවාස අහිමිවීමෙනි. ඒ.පී. ක‍්‍රිෂාන්ත (36) සැමියාත් ආශා දමයන්ති ජයසූරිය (30) බිරිඳත් තම දරු තිදෙනා සමග සතුටින් එහි දිවි ගෙවූහ.


ආශා යළි ගැබ් ගැනීම ක‍්‍රිෂාන්තට මහත් සතුටක් ගෙන දෙන්නක් විය. ඒ ඔවුන්ගේ පැතුම දියණියක වූ බැවිනි. දරු ගැබ ටිකෙන් ටික මෝරද්දී වෛද්‍යවරු කීවේ දරුවන් එක්කෙනෙකු නොව නිවුන් දරුවන් කුස තුළ වැඩෙමින් සිටින බවයි. ඒ දෙදෙනා ගැහැණු දරුවන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද වෛද්‍යවරු කීහ.


දින සති මාස බවට පෙරැළී ගියේය. ආශාගේ සිරුරේ ඇතිවූ අසාමාන්‍යතා හේතුවෙන් ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ උපත ලැබීමට සිටින දරුවන් දෙදෙනා එකිනෙක බද්ධවී ඇති බවයි. මෙය අනපේක්ෂිත තත්ත්වයකි.


අසාමාන්‍ය දරු උපතට දෙමාපියන්ට පමණක් නොව වෛද්‍යවරුන්ට ද සූදානම්වන්නට සිදුවිය. සියල්ල සූදානම් කිරීමෙන් අනතුරුව මාර්තු මස 11 දා දරු උපත සිදුකැරිණි. උපත ලැබූ වහාම දෙබිඩි දරුවන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කැරිණි.


දරුවන් පරීක්ෂා කළ වෛද්‍යවරු කීවේ මේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකු අනෙක් දරුවා මත යැපෙන බවයි. දෙදෙනාම ගැහැණු දරුවන් වූහ.
දරුවන් දෙදෙනාගෙන් මුලින් මෙළොව එළිය දුටු දියණිය තිලෝකි සඳමිණි ලෙසත් නැගණිය තිවංකි දෙව්මිණි ලෙසත් නම් කැරිණි. නිවුන් දරුවන් වුවද මේ දෙදෙනා හඳුනාගැනීම අපහසු නොවුණි.


වෛද්‍යවරු කීවේ තිලෝකි අක්කා තිවංකි නැගණිය මත යැපෙන බවයි. තිලෝකි ජීවත්වූයේ තිවංකිගේ හදවතෙනි. අක්කාගේ හෘද වස්තුවේ ක‍්‍රියාකාරීත්වය ඉතා මද වශයෙන් තිබිණි. පෙනහළු ක‍්‍රියාත්මක වූයේ ද ඉතා මඳ වශයෙනි. ඒ නිසා ඇය තනිකරම යැපුණේ සිය නැගණිය මතය. මේ දෙදෙනා එකිනෙක බද්ධවී සිටියේ උකුල් ඇටවලිනි. උකුල් ඇට හතර එකිනෙක බද්ධව තිබූ බැවින් ඔවුන් වෙන්කිරීම සංකීර්ණ සැත්කමකි. පාද තිබුණේ තුනකි. හොඳින් සිටින ළමයාගේ පාදයක්, මියයමින් සිටින අක්කාගේ පාදයක් හා අනෙක් පාද දෙකම ඇලී එක් පාදයක් සෑදී තිබිණි.


වකුගඩු හතරක් තිබුණු අතර බඩවැල් තිබුණේ එක් ළමයකුට පමණි. විශාල ගැටලූවක් වූයේ දරුවන් දෙදෙනාට මුත‍්‍රාශ දෙකක් තිබුණ ද ගුද මාර්ග තිබුණේ එකක් පමණි. අක්මා එකට ඇලී තිබීමත් රුධිර නාළ සංකීර්ණ ලෙස පැවතීමත් තවත් ගැටලූවක්වී තිබිණි.

මෙවැනි දෙබිඩි දරුවෝ ලොව බොහෝ රටවල බිහිවී ඇතත් ඔවුන් වෙන්කිරීමේ සැත්කම් කරන්නේ වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය. එසේ වුවද මේ දරු දෙදෙනා බද්ධවී සිටින ආකාරය අනුව සැත්කම ඉක්මණින් සිදුකිරීම අවශ්‍යව තිබිණි.


වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ නැගණිය බේරාගැනීමට නම් ඇය මත යැපෙන අක්කා වෙන්කළ යුතු බවයි. අක්කා යම් පමණකින් ජීවත්වුවද සැබැවින්ම ඉපදෙන විටත් මියගිය කෙනෙකු වැනි වූ බව ද වෛද්‍යවරු කියති. සංකීර්ණ සැත්කමකින් සිදුකෙරෙන මේ වෙන්කිරීමේදී අක්කාගේ ජීවිතය අහිමිවන බවද වෛද්‍යවරු දැන සිටියහ. එක් දරුවකුගේ ජීවිතය අහිමිවෙද්දී සැත්කමක් කිරීම වෛද්‍ය ක‍්‍රමවේදය නොවුණ ද සැත්කම නොකරන්නේ නම් දෙදෙනාගේම ජීවිත අහිමිවීමේ දැඩි අවදානමක් තිබිණි. මේ හේතුවෙන් මාපියන් සමග කරන ලද දීර්ඝ සාකච්ඡුාවලින් පසු සැත්කම සිදුකිරීමට තීරණය කැරිණි.


භයානකම දෙය වූයේ හොඳින් ජීවත්වන දරුවාගේ හෘදයද ක‍්‍රමයෙන් දුර්වල වෙමින් පැවතීමයි. එම හෘදයෙන් සිරුරු දෙකක රුධිර සංසරණ ක‍්‍රියාවලිය සිදුකිරීමට වීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උදාවී තිබිණි.


වෛද්‍යවරු රැසක් මෙය සැලසුම් කළහ. සති ගණන් සාකච්ඡුා කරමින් දරුවන් පරීක්ෂා කරමින් සැලසුම් සකස් කරමින් ඔවුහු සැත්කමට සූදානම් වූහ. දරු දෙදෙනා උපත ලබා මාස දෙකකුත් දින දහයක් ගතවූ දින සැත්කම සිදුකැරිණ.


මැයි මස 19 වැනි දින කරාපිටිය රෝහලේ සුළු සේවකයෝ වැඩ වර්ජනයක් කළ ද ඔවුන් මේ සැත්කමට බාධාවක් නොවන ලෙස සැත්කම සිදුකරන ස්ථානයට සිය සේවය නොපිරිහෙළා සැපයීමට වග බලාගෙන තිබිණි.


උදෑසන 8.00 ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක දී ඇරඹුණු සැත්කම සවස 4.15 පමණ වනවිට අවසන් කැරිණි. වෛද්‍යවරු කලින් පැවසූ ආකාරයටම නැගණිය මත යැපුණු අක්කා මියගිය ද දරුවන් දෙදෙනා වෙන්කැර එක් දැරියකගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බැවින් සැත්කම සාර්ථකය.
එක් දරුවකු මත යැපෙමින් ජීවත් වූ අසම්පූර්ණ දරුවා ඉවත් කිරීමේ ඉතා සංකීර්ණ සැත්කමකින් පසු එක් දරුවකු බේරාගැනීමට අපට හැකිවුණා. නංගීගේ සිරුරේ එල්ලී සිටිමින් නංගීගෙන් ජීවත් වූ අක්කා, නංගී වෙනුවෙන් දිවි පිදුවා යැයි ගාල්ල කරාපිටිය රෝහලේ දී දෙබිඩි දරුවන් වෙන්කිරීමේ සැත්කම සිදුකළ විශේෂඥ ළමා රෝග ශල්‍ය වෛද්‍ය එස්. කස්තුරි මහතා කීවේය.


හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.


මේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අක්කා ලෙසත් අනෙක් දරුවා නංගී ලෙසත් හඳුනාගෙන සිටියා. කෙසේ වෙතත් අක්කා මුළුමනින්ම යැපුණේ නංගී මත. මේ නිසා නංගීගේ ජීවිතය බේරාගැනීමට ඉක්මන් සැත්කමක් අවශ්‍ය වුණා. අපේ අරමුණ වුණේ පරපෝෂිතයෙක් ලෙස තම නංගීගේ සිරුරට බද්ධවී එයින් යැපෙමින් සිටි අක්කාව වෙන්කරලා නංගී ජීවත්කරවීම. අපි දැන සිටියා මේ දෙදෙනාම බේරාගැනීමට නොහැකි බව. එක් අයකු පමණයි බේරාගැනීමට හැකියාව තිබුණේ. දෙදෙනාටම තිබුණේ එක් හදවතයි. නංගීගේ හදවතෙන් තමයි අක්කා ජීවත් වුණේ. බේරාගැනීමට හැකියාව ලැබුණේ එක් දරුවකු පමණක් වුවත් මේ සැත්කම සාර්ථකයි.


මේ සැත්කම සඳහා වෛද්‍යවරු රැසක්, හෙද හෙදියයෝ රැසක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරී නිලධාරිනියෝ රැසක් දායක වූහ. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා නිරන්තරවම මේ ගැන සොයා බැලූහ.
වෛද්‍යවරු පවසන්නේ පරපෝෂිතයකු ලෙස සිටි දරුවාගේ මොළයේ දියර පිරී තිබුණු බවයි. තම නැගණියගේ හෘදය වස්තුවේ උපකාරයෙන් ජීවත් වූ ඇගේ ස්නායු මියගොස් තිබුණු බවත් වෛද්‍යවරු කියති.

 විශේෂඥ වෛද්‍ය කස්තුරි මෙසේ ද කීවේය.
මේ දරුවන්ට වකුගඩු හතරක් හා මුත‍්‍රාශ දෙකක් වෙන වෙනම තිබුණා. නමුත් මියගිය අක්කාගේ වකුගඩුවක් නංගීගේ මුත‍්‍රාශයට සම්බන්ධ වෙලා තිබුණේ.
මේ දෙදෙනාගේ බඩවැල් ද එකිනෙක සම්බන්ධ වෙලා තිබූ නිසා ඒවා නිසි පරිදි වෙන්කිරීමට සිදුවුණා. ඒ වගේම අක්මාවත් වෙන් කළා. අපිට මේ දරුවන් දෙදෙනා වෙන්කරලා දැන් එක්කෙනෙක් ජීවත්කරවන්න හැකිවුණා. තවමත් යන්ත‍්‍ර උපකාරයෙන් ජීවත්වෙන්නේ. මේ ආකාරයෙන් ඇය සති දෙකක් පමණ සිටිය යුතුයි.

 


රුධිරවාහිනී බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මෙසේ කීවේය.
මෙය ඉතා සංකීර්ණ සැත්කමක්. දරුවන් දෙදෙනා එක හදවතකින් ජීවත් වුණේ. ඒ නිසා අප දැන සිටියා පරපෝෂිත ආකාරයෙන් ජීවත් වූ දරුවා ඒකාන්තයෙන්ම මියයන බව. සැත්කමට පෙරත් ඇගේ ස්නායු වැඩි කොටසක් මියගොස් තිබුණා. ඒ නිසා අපිට සිදුවුණා අනෙක් දරුවා බේරාගැනීමට මේ සැත්කම සිදුකිරීමට. දරුවන් දෙදෙනාගේ අක්මාවේ ගැටලූවක් තිබුණා. ඒවා එකට ඇලී තිබුණේ. දරුවන් දෙදෙනාගේ මුත‍්‍රවාහිනි පද්ධති පවා වෙන්කරන්න සිදුවුණා. ඒ වගේම ස්ත‍්‍රී ලිංගික අවයව පද්ධතියට අවශ්‍ය ආකාරයේ අභ්‍යන්තර සැකසුම් කරන්න සිදුවුණා. අපිට ඉදිරියේදී දරුවාගේ ස්නායු පද්ධතිය ගැනත් සොයා බලන්න සිදුවෙනවා. ඒ ගැන නිශ්චිතව දැනගන්න පුළුවන් වෙන්නේ ලේ නහර හොඳින් ක‍්‍රියාත්මක වීමත් සමග. කෙසේ වෙතත් මෙය ඉතා බරපතළ සැත්කමක්.

 


විකලාංග ශල්‍ය වෛද්‍ය කේ. උපමාති මහතා පවසන්නේ
දරුවන් දෙදෙනාට තිබූ පාද තුනෙන් එකක් ඉවත් කළ බවයි. නමුත් දරුවා නැගිටින කාලය වෙනවිට පාද සැකසීමේ සැත්කමක් හා ඇගේ කොඳු ඇට පෙළ සැකසීමට යළි සැත්කමක් කිරීමට සිදුවන බව ද වෛද්‍ය උපමාති මහතා පවසයි.  සැත්කමේ ප‍්‍රධානියා ලෙස විශේෂඥ ළමා රෝග ශල්‍ය වෛද්‍ය එස්. කස්තුරි මහතා කටයුතු කළ අතර විශේෂඥ රුධිරවාහිනී බද්ධ කිරීමේ සහ වකුගඩු රෝග වෛද්‍ය රංජුක උබේසිරි මහතා,  විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය කේ. උපමාති මහතා, නොමේරු ළදරු ඒකකය භාර විශේෂඥ ළමා රෝග වෛද්‍ය කපිලානි විතානආරච්චි මහත්මිය, විශේෂඥ ප්ලාස්ටික් සැත්කම් ශල්‍ය වෛද්‍ය සමන් විජයමාන්න, විශේෂඥ ළමා රෝග ශල්‍ය වෛද්‍ය පුෂ්පකුමාර ජයවර්ධන, විශේෂඥ නිර්වින්දන වෛද්‍ය පෙෂාන් කුරේ, කේසිරි ද සිල්වා, නලීන් නානායක්කාර, විශේෂඥ ළමා හෘද ශල්‍ය වෛද්‍ය මංගල ගුණතිලක, සුබෝධිනී ඉන්ද්‍රපාල, පත්මිනී කොළඹගේ, එස්.ටී. ලියනගේ යන විශේෂඥ වෛද්‍යවරුද මහනුවර මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පුෂ්පකුමාර ජයවර්ධන මහතා ද මේ සැත්කමට එක්වූහ.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »