තිරප්පනේ වැව් පත්ලෙන් මතුවන භූතයා සොයා ගිය ගමන...

2015-05-27 10:13:00       812
feature-top

වැවේ සැරිසරන භූතයා කන් අඩි පැලෙන තරම් හයියෙන් දිය බුං ගහන ශබ්ද ඇසෙනවා.


වැව ඉස්මත්තේ තියන කළුගලක් මත කොණ්ඩය කඩාගත් අවතාරයක් දිස්වෙනවා.


කළු තඩි බල්ලෙකුගේ අවතාරයක් වැව් බැම්මේ සැරිසරනවා.


ඇඟ කිලිපොලා යන මේ කතා අපට අසන්නට ලැබුණේ තිරප්පනේ වැවේ සිදුවනවා යැයි ප‍්‍රදේශයේ ඇතමුන් පවසන අද්භූත සිදුවීම් ගැන සොයා බැලීමට එවැනි අද්භූත සිදුවීම් සම්බන්ධයෙන් ගවේශනය කිරීමේ නිරතව සිටින විද්වතෙකු වන මහනුවර ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා සමඟ පසුගිය සඳුදා රාත‍්‍රියේ ගිය අවස්ථාවේදීය.


? දහවල් කියා වෙනසක් නොමැතිව සිදුවනවා යැයි කියන මේ අද්භූත සිදුවීම් මාලාව නිසා මාස 1 1/2ක පමණ කාලයක් තිස්සේ සිට ගමේ බොහෝ දෙනෙකු වැවේ නෑමට යාමද අතහැර දමා ඇති බව එහිදී හමුවූ ඇතැම් ගම්මු අප සමඟ පැවසූහ.


ඒ විතරක් නොවේ. වැවේ වේල්ල මතින් ගමන් බිමන් යාමද සමහර උදවිය නතරකර දමා විකල්ප මාර්ග භාවිතා කරන්නේ මේ අද්භූත සිදුවීම් වලට ඇති බිය නිසාය.


තිරප්පනේ වැවේ නෑමට ගිය ඇතමුන් දුටුවා යැයි කියන අද්භූත සිදුවීම් නිසා ගම්මුන් බොහෝ දෙනෙක් බියට පත්ව සිටින බව අප සමඟ කීවේ ගල්කුලම ලංකාදීප ප‍්‍රාදේශීය මාධ්‍යවේදී කුමාර ගමගේය.

වැවේ සිදුවනවා යැයි කියන මේ අද්භූත සිද්ධීන් ගැන සොයා බැලීමට අවශ්‍ය බව තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්. රේණුකා කුමාරි හේරත් මහත්මියට අප දැනුම් දීමෙන් පසු ඇය විසින් අවශ්‍ය සියලූ පහසුකම් අපට සලසා දෙනු ලැබීය.


ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අප යනවිටත් රාති‍්‍ර 11.00ට ආසන්න වී තිබූ අතර කුමාරි හේරත් මහත්මිය අප එනතෙක් බලා සිටියේ ගමේ තරුණයන් හා වැඩහිටියන් 30කට ආසන්න පිරිසක්ද සමඟය.


තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරී අනිල් සමරසේකර මහතාද ඒ අතර විය.


ප‍්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මිය ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටලූ හා විවිධ අවශ්‍යතාවන් ගැන නිතර උනන්දුවෙන් සොයා බලන නිලධාරිනියකි.
ගමේ ඇතැමුන් තුළ පවතින බිය හා සැක සංකා දුරුකිරීමේ සැබෑ උවමනාවක් ප‍්‍රාදේශීය ලේකම්වරිය තුළ තිබුණු බව අපට පැහැදිලිව පෙනී ගිය කරුණක් විය.


ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේද අද්භූත දේවල් සිදුවනවා යැයි කියන වැව ආසන්නයේමය.


ප‍්‍රාදේශීය ලේකම්වරිය පදිංචිව සිටින්නේද එහි පිහිටි නිල නිවසේය.


මටත් පහුගිය කාලය පුරාවට රෑට වැව පැත්තෙන් අමුතු ශබ්ද ඇසුණු අවස්ථා  ඕනෑ තරම් තිබුණා. හැබැයි ඒ සමහර ශබ්ද ගම්මුන් විශ්වාස කරන අන්දමේ හොල්මන් අවතාරවල ශබ්ද එහෙම නොවේ යැයි කියමින් ප‍්‍රාදේශීය ලේකම් කුමාරි හේරත් මහත්මිය අප සමඟ කතාබහට මුල පුරමින් කීවාය.
එහෙම නම් මොනවාද ඒ රෑට ඇසෙන අමුතු ශබ්ද කියා අපට ඇතිවූයේ දැඩි කුහුලකි. ඒ නිසාම ඒ ශබ්ද මොනවාද කියා අපි ඇයගෙන් විමසා සිටියෙමු.
වැව පැත්තෙන් රෑට රෑට අමුතු ශබ්ද ඇසෙන හැම අවස්ථාවකම මම ඒ බව ටෙලිෆෝන් කරලා කියනවා. පොලිසිය ඇවිත් වැටලීම් කරලා භූතයන් අවතාර අල්ලාගෙන යනවා. ඒ භූතයෝ වෙන කවුරුවත් නොවේ, මිනිස්සුම තමා. සමහරු රෑට ඇවිත් වැවෙන් වැලි ගොඩ දානවා. එහෙමත් නැත්නම් හොරෙන් වැව් ඉස්මත්තේ තියන ගස් කපනවා. එහෙම අය තමා පොලිසියෙන් ඇවිත් අත්අඩංගුවට අරගන්නේ.


වැවේ භූතයෝ අවතාර නැහැ. මේක බොරු කතාවක්. භූතයෝ අවතාර වැවේ ඉන්නවා කියා කතා පතුරුවා හරින්නේ දැව ජාවාරම්කාරයෝ, වැලි ජාවාරම්කාරයෝ කියා තමා සැකකරන්නෙ. අවතාර භූතයෝ ඉන්නවා කියා හුඟක් මිනිස්සු හොඳටම බය වෙලා ඉන්න බව ඇත්ත. හැබැයි ඒක බොරු බියක්. අවතාරවලට භූතයන්ට බයේ හුඟ දෙනෙක් නාන්න වැවට යන්නෙත් නැහැ.


ප‍්‍රාදේශීය ලේකම්වරිය හැටියට මේවා ගැන සොයා බලන්න මටත් වගකීමක් තිබෙන නිසා මේ ළඟදී දවසක රෑක මම වැව ළඟට ගියා බලන්න. මමනම් ඔය කියන කිසිම අවතාරයක් භූතයෙක් දැක්කේ නැහැ. වැවෙන් කණ්අඩි පැලෙන තරමේ විශාල හඬවල් ඇසෙන බව සමහර ගම්මුන් කීවත් මටනම් මේ වෙනකම් ඒ වගේ හඬවල් ඇහිලා නැහැ. කොහොම වුනත් දොස්තර මහත්තයෙක් එක්ක ඉරිදා ලංකාදීප පත්තරෙන් මේ ගැන සොයා බලා ජනතාව දැනුම්වත් කරන්න ආපු එක ගැන මා සතුටුවෙනවා යැයි කුමාරි හේරත් මහත්මිය පවසන්නීය.


ප‍්‍රාදේශීය ලේකම්වරියගේ අදහස් දැනගැනීමෙන් පසු ගම්මුන් පිරිසක් සමඟ ඒ රාත‍්‍රියේම අප ගියේ වැව ළඟටය ඒ වන විට මධ්‍යම රාත‍්‍රී 12.00 හෝරාවට ආසන්න වෙමින් තිබිණි.


අද්භූත සිදුවීම් වෙනවා යැයි කියන වැවේ වේල්ල දිගේ කිලෝ මීටර් 1 1/2ක පමණ දුරක් මා තනියම ගමන් කළේ විදුලි පන්දමක ආධාරයෙනි.


මා ඒ ගමන ගොස් එනතෙක් ගම්මුන් වේල්ල පටන්ගන්නා ස්ථානයට වී බලා සිටි අතර මම කිසිම අවතාරයක්, භූතයෙක්, අසාමන්‍ය ශබ්දයක් හෝ වෙනයම් අද්භූත දෙයක් නොදැක ආපසු පැමිණියෙමි.


මා එවැන්නක් කළේ එතැන සිටි ගම්මුන්ගේ සිත් තුළ තිබෙන බිය සැක දුරු කිරීම සඳහාය.


වැව ඉස්මත්තේ තිබෙන ගස් වල ලැග සිටින බස්සෙකුගේ මූසල හඬ, රැහැයියන්ගේ නාදය පරිසරයට එක්කර තිබුණේ අමුතුම ගුප්ත බවකි.
ඉඳහිට කෑ ගසාගෙන ඉගිළ යන කිරලෙකුගේ හඬ පරිසරයේ ඇති නිහඬතාවය බිඳ හෙළීය.


ඒ විනා වෙනත් කිසිම අද්භූත දෙයක් දැක්කෙවත් අද්භූත හඬවල් ඇසුණේවත් නොමැති බව මම රැස්ව සිටි පිරිසට පැහැදිලි කර දුන්නෙමි.


අපත් සමඟ පැමිණ සිටි ගම්මුන් අතරේ සිටි අයෙක් එක්වරම වැවට පැන පිහිනා යන්නට පටන් ගත්තේ එහි සිටි අයගේ කීම මායිම් නොකරමිනි.
කට ගොන්නක් කසිප්පු පානය කර වෙරිමර ගාතේ සිටි මේ පුද්ගලයා දිගටම පිහිනා ගිය අතර කණ්ඩායම් කිිහිපයකට බෙදී ගම්මුන් ඔහු සොයන්නට පටන්ගත්තත් සොයා ගැනීමට නොහැකිවිය.


ගම්මුන් කිහිප දෙනෙක් ගෙදරට ගොස් සොයා බැලූවත් ඔහු ගෙදරට පැමිණ තිබුණේද නැත.


වැවට පැන පිහිනා යද්දී ඔහු දියේ ගිලෙන්නට ඇතැයි සමහරුන් තර්ක කළත් පසුදා අපට දැන ගැනීමට ලැබුණේ ඔහු ජීවතුන් අතර සිටින බවය.
පසුවදා උදේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාත් මමත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ කලින් දවසේ රාත‍්‍රියේ අපත් සමඟ ගත කළ ගම්මුන් කිහිප දෙනෙක් කීවේ හරිම අපූරු කතාවකි.


භූතයා දැක බිය වී ගමේ කෙනෙක් වැවට පැනලා කියාය. අනෙක් කතාව කොළඹින් කට්ටඩි දෙන්නෙක් ඇවිත් තෝත්තරයක් කර වැවේ හිටිය භූතයන් පලවා හැර ගොස් ඇති බවය.


කොළඹින් පැමිණි කට්ටඩින් කියා ඇත්තේ අපට බව පසුව දැන ගැනීමට ලැබිණි.


වැවේ නාන්න ගිය කාන්තාවන් ඇතුළු හත් අටදෙනෙක් විතර මීට වසර 10කට පෙර වැවේ ගිලී වරින්වර මිය ගොස් තිබෙනවා. මේ අයගෙන් කිහිප දෙනෙක් භූතයන් අවතාරවෙලා මේ විදිහට වැවේ ඉන්නවා කියා සමහරුන් තුළ විශ්වාසයක් පවතින බව අප සමඟ කිවුවේ තිරප්පනේ පදිංචි ආර්. අජිත් මහතාය.
වැව් බන්ට් එක දිගේ රෑට යද්දී කළුපාට තඩි බල්ලෙකු දැකපු අය කන් දෙක දෙදරවන තරමේ මහා හයියෙන් වැවේ බැස දිය බුම් ගහමින් නාන අවතාර, භූතයො දැකපු අය කිහිප දෙනෙක්ම ගමේ ඉන්නවා. අපි ඒ අයට එන්න කීවත් ලැජ්ජාවට ආවේ නැහැ යැයි අපි සමඟ කියා සිටියේ සඳුන් ජයසේකර තරුණයාය.


එච්.එම්. විමලසේන (56) මහතා අප සමඟ තොරතුරු හෙළිකරමින් මෙසේ කීය.
මම තිරප්පනේ වැවෙන් පොඩිකාලේ ඉඳලා අදටත් දවල්ට විතරක් නොවෙයි රෑටත් ගිහින් නානවා. ඒත් ඔය කියන භූතයින් අවතාර දැකලා නැහැ. අද්භූත හඬවල් ඇහිලත් නැහැ. මේක බොරුවක්. එහෙම නම් මමත් ඔය කියන අවතාර දකින්න  ඕනැ. ගමේ සමහරුන් කටකතා වලට රැවටිලා කියා තමා මට කියන්න තියෙන්නේ.


මම උදේ 10.00ට විතර වැව් කණ්ඩිය ළඟින් යන්න යද්දී වැව ඉස්මත්තේ තියන කළුගල් තලාව මත කොණ්ඩය කඩාගත් ගැහැනු කෙනෙක් වාඩි වෙලා හිටියා දැක්කා. මම ළඟට යද්දී ඒ ගැහැනු කෙනා ටිකෙන් ටික පුංචි වේගෙන යනවා දැනුණා. මේ ඉන්නේ වැවේ ගිලිලා මැරුණු කාන්තාවකගේ අවතාරයක් යැයි සිතා මම හොඳටම බයවුණා. එතැනින් පැනලා දිවුවා කියා කිවුවේ නම හෙළිකිරීමට අකමැති වූ තරුණයෙකි.


කේ. සිරියාවතී (58) මහත්මිය අපට හමුවුණේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය. ඇය අපට මුණගැස්සවීමට සැලසුවේ ප‍්‍රාදේශීය ලේකම්වරියයි.
තිරප්පනේ තිත්තයාගම සිරියාවතී මහත්මිය මුහුණ පෑ බව කියන සිද්ධියක් අප හමුවේ හෙළිකරමින් මෙසේ කීවාය.


මම උදේ 10.00ට විතර නාන්න තිරප්පනේ වැවට ගියා. මමයි මගේ මහත්තයයි තවත් දෙන්නෙකුයි නාමින් හිටියා. මම දෙවරක් ගිලිලා උඩට ඇවිත් තුන්වැනි පාර ගිලිලා උඩට එනකොටම වතුර යට හිටිය කෙනෙක් මහා හයියෙන් අල්ලා බදාගන්නවා වගේ තේරුණා. මම හොඳටම බය වුණා. වතුර යට ඉඳලා මාව බදාගත්තු කෙනා මාව වතුරට ඇදගෙන යන්න උත්සාහ කරන බව තේරුම් ගියා. මම කොහොම හරි වැවෙන් ගොඩට ආවා. කොච්චර බය වුනාද කිවුවොත් මම අදටත් වැවට නාන්න යන්නේ නැහැ. මේ සිද්ධිය වෙලා දැන් සතියක් විතර වෙනවා. ගෙදර තියන ටැප් එකෙන් තමා එදා ඉඳලා නාගන්නේ. වැවේ ඉන්නා භූතයන්ට බය වූ අය තවත් ඉන්නවා. ඒත් ලැජ්ජාව නිසා ඔවුන් විස්තර කියන්න ඔය මහත්තුරු හම්බවෙන්න ආවේ නැහැ. ඉස්සර කාලේ මේ වැවේ නාන්න ගිය සමහරු දියේ ගිලී මියගොස් තිබෙනවා. හැම අවුරුද්දකට වතාවත් බිල්ලක් ගන්නවා. ඒත් දැන් අවුරුදු ගාණකින් බිල්ලක් අරන් නැහැ. ගමේ අය කියන්නේ බිල්ලක් ගන්න තමා ඔය උත්සාහ කරන්නේ කියා.



 


මම අවුරුදු ගාණක ඉඳලා මේ වැවෙන් තමා නාන්නේ. ඒත් මුල් වරට තමා කවුදෝ කෙනෙක් මාව බදාගෙන දියඹට ඇදගෙන යන්න හැදුවේ. වතුර යට හිටිය නිසා ඒ කවුද කියා මා දැක්කේ නැහැ. භූතයකුගේ වැඩක් කියා තමා විශ්වාස කරන්නේ යැයි සිරියාවතී මහත්මිය කියා සිටියේ වෛද්‍ය ජනක ජයසූරිය මහතා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එක්ක වැවේ වේල්ල දිගේ තිරප්පනේ නගරයට යමින් සිටියදී අපට හමුවූ ඞී.සී. සිරියලතා (60) මහත්මිය මෙසේ කීවාය.
මමනම් අදටත් වැවෙන් නානවා. ගමේ සමහරුන් කියන භූතයෙක් හෝ කාන්තා අවතාරයක් අද වෙනකම් මම දැක නැහැ.  ඕවා බොරු කට කතා. වැව පතුලේ ඉන්නවා කියන භූතයෝ කවමදාවත් මාව ඇදගෙන යන්න ගිහින් නැහැ.


අනුරාධපුරයේ වන්දනාවේ යන නඩ බස් නවත්වා තිරප්පනේ මේ වැවෙන් නාගෙන යනවා. කවදාවත් ඒ අය භූතයන් අවතාර දැකලා බය වෙලා නැහැ. අද්භූත හඬවල් ඇහිලත් නැහැ කියා ලක්‍ෂ්මන් කුමාර මහතා පවසද්දී එතැන හිටිය කිහිප දෙනෙක්ම කියා සිටියේ මේ අවතාර පෙනෙන්නේ ගමේ අයට පමණක් බවය.


අද (19) උදේ වැඩට යන්න එද්දි කළුපාට ටීෂර්ට් ඇඳගත්තු දෙන්නෙක් බන්ට් එක උඩ හිටියා. ලඟට යද්දී නොපෙනී ගියා හැම තැනම හෙව්වත් හමුවුණේ නැති බව කියා සිටියේ අසංක කැලූම් සෙනෙවිරත්න මහතාය. ඔහු හිටපු නාවික හමුදා භටයෙකි.





 


පෙර දින රාත‍්‍රියෙත් තමා තනියම හොල්මන් අවතාර පෙනේද කියා බලන්න වැව අසල රාත‍්‍රිය ගත කළ බවත් කිසිදු අද්භූත දෙයක් සිදු නොවූ බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.


තිරප්පනේ ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ අධිපති ඇහැලියගොඩ ශාන්තසිරි නාහිමියන් සමඟද මේ ගැන කතා බහ කිරීමට අපි අමතක නොකළෙමු.
ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේද වැව ඉස්මත්තේය.


මම මේ විහාරස්ථානයට ඇවිත් අවුරුදු 9ක් විතර වෙනවා. එදා ඉඳන් අද වෙනකම් කිසිම කෙනෙක් වැවේ ගිලී මිය ගිහින් නැහැ. වැව ළඟම පන්සල තියෙන්නේ. ඔය කියන භූතයන් අවතාර මටවත් පන්සලේ වැඩ ඉන්න අනෙක් භික්‍ෂූන්වහන්සේලාටවත් මේ වනතෙක් පෙනිලා නැහැ. අද්භූත ශබ්ද ඇහිලත් නැහැ.


අපේ පන්සලේ සුනඛයෙක් හුරතලයට ඇතිකරනවා. ඌ බුරද්දී නම් ලොකු හඬක් ඇහෙනවා. සමහරු ඒ හඬට එහෙම බය වෙලා තියනවාද කියා කියන්න බැහැ යැයි ශාන්තසිරි හිමියෝ අවසන් වශයෙන් පැවසූහ.


වසර ගණනාවක් මුළුල්ලේ ඉඳලා ගමේ කරමින් ආ වත් පිළිවෙත් කිහිපයක් වසර ගණනකින් ඉටු කරලා නැහැ. ඒ හින්දා මේ වගේ අද්භූත දේවල් සිදුවන බවට කතාවක් ගමේ සමහරුන් තුළ තිබෙන බව කියා සිටියේ තිරප්පනේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති යූ.බී. කිරි බණ්ඩා මහතාය.


වෛද්‍ය ජනක ජයසූරිය මහතා පැවසුවේ පවතින බිය සැක සංකා දුරු කිරීම සඳහා බොහොම සරලව ඔවුන්ට කරුණු කාරණා පහදා දුන් අතර ඒ ගැන වෙනම පළ කර ඇත.

 

හොල්මන්වලට බියවීම අනුවණකමක්

 

SLTK_6.qxd
අනවශ්‍ය ලෙස බියට පත්වීමක් මිනිසා විසින්ම නිර්මාණයකරගනු ලබන දෙවිවරුන් හොල්මන් අවතාර, භූතාත්ම ආදි වූ අදෘශ්‍යමාන බලවේග ලෙස හඳුන්වන මේ මනඃකල්පිත නිර්මාණවලට මිනිසා බියවූයේ අනාදිමත් කාලයක පටන්ය. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන මේ විශ්වාසයන් හෝ කල්පිත එකවර බැහැර කිරීමේ අපහසුකමක් ඇති බව පැහැදිලියි.


තිරප්පනේ ප‍්‍රදේශයේ අප කළ මේ සංචාරයේදී අප හා කතා කළ ඇතැමකු ද මේ හොල්මන් අවතාර කතා විශ්වාස නොකළත්, ඒවා එකවර ප‍්‍රතික්ෂේප කිරීමේ අපහසුතාවයෙන් පෙළෙන බව අප දුටුවා. මියගිය අයකුට කවර හෝ වේශයකින් මෙලොවට පැමිණිය හැකි යැයි සිතීම මිථ්‍යාවක්. එහෙත් මේ විශ්වාසයන් කරපින්නාගෙන සිටීම නිසා මේ ගම්මුන්ද අනියත බියකට පත්වී සිටිනවා. වසර දහයකටත් එපිට මියගිය අයට බියවීම අපගේ බුද්ධියට කරන නිගාවක් බව මා ඒ ගම්වැසියන්ට පහදා දුන්නා.


ගඟක් හෝ වැවක් හෝ කිසිවිටකත් ජීවිතයක් -බිලි ගන්නේ නැහැ. සිදුවන්නේ ඇතැමුන් අමනෝඥ ලෙස ක‍්‍රියා කිරීම නිසා දියේ ගිලී මියයාමයි. සංචාරකයන් වැඩිපුර ගැවසෙන ප‍්‍රදේශවල මේ තත්ත්වය වඩාත් බහුලයි. එසේම දියේ පිහිනමින් සිටිය දී අපස්මාරය හෝ හෘදයාබාධ හෝ හටගැනීම වැනි රෝගාබාධයක් නිසාද කෙනෙකු මියයන්න පුළුවන්. මේවා අහඹු සිදුවීම් විනා ඒ වැව ඊට වගකිව යුතු නැත.


බාහිර පරිසරයේ උත්තේජනයක් නොමැතිව අපට විවිධ රූප පෙනීම, ශබ්ද ඇසීම හෝ ගඳ සුවඳ දැනීම සිදුවෙන්න පුළුවන්. ඒවා සිදුවන්නේ මොළය තුළ සිදුවන උත්තේජනයක් නිසයි. මනෝභ‍්‍රාන්ත ලෙස හඳුන්වන මේවා අත්විඳින්නට රෝගියකු වීම අවශ්‍ය නැහැ. මේවා පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා පැරැුන්නන් ඒවා අදෘශ්‍යමාන බලවේග ලෙස නම් කළත්, අප ඒවාට බියවීම අනුවණ කමක්. නොඑසේ නම් අපේ විද්‍යාත්මක දැනුමට කරන නින්දාවක්. එහෙත් අන්ධභක්තියෙන් වසඟයට පත්වීම නිසා මේ දෙවිවරුන්, හොල්මන්, අවතාර ආදිය තරයේම විශ්වාස කරන විද්‍යාවේදීන් ද සිටීම කනගාටුවට කරුණක්.


මේ වැවේ නාමින් සිටිය දී කවුදෝ තමන්ව දියට අදින්නට හැදූ බව සිරියාවතී මහත්මිය කීවා. සීතල දියේ සිටියදී සිදුවූ මස්පිඩුවල ගැස්මක් දිය පහරක් වැදීම හෝ වැවේ සිටින

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »