දේශපාලන හයියෙන් වැනසෙන විල්පත්තුව

2015-05-23 10:50:00       812
feature-top
විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ පුවත් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රචාරය වෙමින් තිබේ. විල්පත්තුව මෙතරම්ම අවධානයට යොමු වූයේ ඇයි? එසේ අවධානයට යොමු වීමට පාදක වූයේ කුමන කරුණක්ද? ඒ සදහා බලධාරීන් දැක්වූ අවධානය කෙබඳුද? එය මාධ්‍යට නිරතුරු සොයා බැලීමට  අවධානයෙන් සිටින්නට වු කරුණු කාරණා විය.

 


විල්පත්තුව උතුරු අභය භූමිය ආක‍්‍රමණය කරන්නට පුත්තලමේ අවතැන් වූවන් පසු ගිය 2014 වසරේ පෙබරවාරි අවසානයේ කටයුතු කර තිබුණි. එම ආක‍්‍රමණය පිළිබඳව ඉරිදා ලංකාදීපය නිරතුරුව අවධානය යොමුකරමින් සියලූ තොරතුරු හෙළි කළේය.


ඒ සමගම උතුරු අභය භූමියට යාබදව පිහිටි වන රක්ෂිත කලාප බරපතළ 1ලෙස වනසා දමමින් සිදු කෙරුණු නැවත පදිංචි කිරීමද, හෙළි කිරීමටද ඉරිදා ලංකාදීපය නොබියව කටයුතු කෙරුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2014 වසරේදීද මේ පිළිබඳව බරපතළ අවදානමකට යොමු වූ කාරණාවක් විය.


නමුත් එහි දී මතු වූ ප‍්‍රධාන ගැටලූව වූයේ එකල පැවැති රජයේ අමාත්‍ය ධුරයක් දැරූ ප‍්‍රබලයෙකු මෙම වන සංහාරයට උඩ ගෙඩි දෙමින් ඔහුගේ නීති රීතිවලට අනුව නිලධාරීන්ට උපදෙස් දෙමින් කටයුතු කිරීමය. එහිදී මන්නාරම් දිස්ත‍්‍රික්කයේ ඇතැම් රාජ්‍ය ආයතන නිලධාරීන් මෙම ප‍්‍රබල ඇමතිවරයාගේ කීමට අවනතව සුවච කීකරු යටහත් සේවකයින් සේ හා සර්, යර්ස් සර් චවන වලට සීමා වී සිදු කළ විනාශය සුළු පටු නැත. ඔවුන් කිසිදු අණ පනතක් සොයා නොබලා ප‍්‍රබල ඇමතිවරයාගේ උවමනාව ඉටුකළා මිස සිදු වන විනාශය තුට්ටුවකටවත් මායිම් කළේ නැත. එසේම මේ විනාශ වෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හදවත  බව ඔවුන්ට තේරුම් නොයාමද කරුමයකි.


එවැනි නිලධාරීන් නමවත් එම පුටුවල මන්නාරම් දිස්ත‍්‍රික්කයේ රැුඳී සිටින්නේ තම පුටුව තම නිලය රැක ගැනීම නිසා මිස රටක දායාදයක් වන් පරිසර සම්පත රැුකීමට නොවන බව හෙළිවී හමාරය.


යුද සමයේ ඛේදජනක අත්දැකීම්වලට මුහුණ දුන් විල්පත්තුවට 2010 වසරේ පෙබරවාරි 27 වන දින නැවත සංචාරකයින්ගේ සිත් සතන් පිනවීම සඳහා වන කොමළිය මහ ජනයාට විවෘත වන්නට කටයුතු කිරීමට බලධාරීන්ට හැකිව තිබුණේ පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලන සමයේ දී ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කිරීම විල්පත්තුවටද සතුටු දනවන කරුණක් වන්නට විය.
මෙවන් බිහිසුණු අත්දැකීම් රැුසකට මුහුණ දුන් විල්පත්තුව ඉතිහාසයේ තවත් දරුණුතම ඛේදනීය ඉරණමකට ලක්ව හඬා වැටෙමින් සිටින දුක් මුසු කතාව සැබැවින්ම රටට කියා පාන්නට අපට සිදුව තිබේ.


ලෙයින් දහදියෙන් තෙත්ව ගිය විල්පත්තු වනෝද්‍යානය ආරක්ෂාවට තිබූ වන රක්ෂිත රැුසක විශාල භූමි ප‍්‍රදේශයක් මේ වන විට අවතැන් වූවන් සඳහා  යැයි පවසමින්   වනසා දමන්නේ පසුගිය රජයේ සේම මෙම රජයේද අමාත්‍ය ධුරයක් හොබවන අසූව දශකය අවසානයේ එල්.ටී.ටී.ඊ ක‍්‍රියා හේතුවෙන් පුත්තලමට පැමිණ ජීවත් වූ මුස්ලිම් සරණාගතයින් දහස් ගණනක් සමග සිටි රිෂාඞ් බදුර්දීන් මහතාගේ මැදිහත් වීම බරපතළ කරුණක්ව තිබේ.

 



මුස්ලිම් සරණාගතයින් සඳහා පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැුසක ස්ථීර නිවාස ඇතුළු සියලූ යටිතල පහසුකම් නොඅඩුව තිබිය දී. විල්පත්තුව ආශ‍්‍රිත රක්ෂිත ප‍්‍රදේශ අවතැන් වූවන්ගේ ගම්මාන ලෙස විනාශ කිරීම කොතරම් නම් සුදුසු කාර්යක් දැයි සිතා බැලිය යුතුමය.


2004 වසරේ ආරම්භ වූ විල්පත්තුව ආශ‍්‍රිත වන සංහාරය මේවන විට බරපතළව විසිරී යමින් තිබේ. එය අපි පසු ගිය ඉරිදා ලංකාදීපය හෙළි කළෙමු. විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාවට වැට කොටු බඳිමින් පවුරක් සේ සැදී තිබූ කල්ආරු ඇතුළු අනෙකුත් වන රක්ෂිත ඩෝසර් යන්ත‍්‍ර යොදා ගනිමින් වනසා දමා ඇත්තේ වසර සිය ගණනක පැරණි පලූ, බුරුත, වීර, කළුවර ඇතුළු වටිනා ගස් කොළන් බිම හෙළා එයද ජාවාරමක් ලෙස යොදා ගනිමිනි.


සියල්ල එසේ වෙද්දී කල්ආරු රක්ෂිතය තුළ මේ වන විට ඉදිව ඇති තාවකාලික තහඩු කූඩාරම් ප‍්‍රමාණය දහසකට ආසන්නය. එම කූඩාරම් ඉදිකිරීම සඳහා ඇමති රිෂාඞ් බදුර්දීන් මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන බව එම ඉදිකිරීම් වල යෙදී සිටි මුස්ලිම් ජාතිකයින් අපට කළ ප‍්‍රකාශවල සඳහන් වෙයි.


කල්ආරු ආශ‍්‍රිතව ඉදිවන අලූත් ගම්මානය හේතුවෙන් ඉදිරියේ දී උග‍්‍ර අලි-මිනිස් ගැටුමක් හට ගැනීමේ වට පිටාව මේ වන විට නිර්මාණය වී අවසන්ය. මේ සියල්ල මෙසේ වෙද්දී විල්පත්තුවට සිදු වන හානිය සොයා බලන්නට රටේ බොහෝ  දේශපාලන පක්ෂ කටයුතු කිරීම පිළිබඳව අපි ඔවුන්ට ස්තුතිවන්ත වන්නෙමු. එසේම පරිසරයට ඇලූම්කරන්නෝ මේ වන විට විල්පත්තුවට සිදුවන විනාශය පිළිබඳව දැඩි ලෙස හෙළා දකිමින් සිටිති. ඔවුන්ගේ හඬද මේ වන විට මතුවෙමින් තිබෙන තත්ත්වය සතුටු දායකය.

 




එසේම පරිසර සංවිධාන රැුසක් දක්වන අවධානයද ඉතා වැදගත්ය. සියල්ල එසේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඇස මෙම වන සංහාරය හෙළා දැකීමට ඉදිරිපත් වීම    පිළිබඳ අපි ඔවුන්ට  ස්තුතිය පළකරන්නෙමු.


පසුගිය 9 වැනි දින ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා හා උතුරු මැද පළාත නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන වසන්ත සමරසිංහ මහතාත් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතාත් අදාළ වන සංහාරය සිදුවන ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුණි. එහිදී ඔවුන් අදාළ ප‍්‍රදේශ දැඩි උවමනාවෙන් අවධානයට යොමු කිරීම ඉතා වැදගත් විය. මෙහිදී පරිසර වේදියකු වන පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා මෙම ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින්ට දැඩි විග‍්‍රහයක් කරමින් සිදුව ඇති වනසංහාරය පිළිබඳව කරුණු ගෙන හැර දක්වමින් පැහැදිලි කරන්නට විය.


එසේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටිය දී අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් පැමිණීම විශේෂ සිද්ධියක් විය. තම නිල රථයෙන් බැස සිනා මුසු මුහුණින් පැමිණි ඇමතිවරයා සුහදශීලී ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැළඳ ගනිමින් කතා බහක නිරත වන්නට විය.


නමුත් ඇමති රිෂාඞ් බදුර්දීන් පැමිණ සිටියේ තනිව නොවීම අනෙක් කරුණය. ඔහු පැමිණ සිටියේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන රාජ්‍ය නිලධාරියා ලෙස සැලකෙන මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් එම්.වයි.එස්. දේශප‍්‍රිය මහතා හා පරිසර රාජ්‍ය අමාත්‍යාශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා හා මුසලි ප‍්‍රාදේශීය ලේකම්වරයාද කැටුවය.


එම නිලධාරීන් සියල්ලම ඇමති රිෂාඞ්ගේ ලෙන්ගතු සමීපමතයන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එය තහවුරු කරමින් මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයා හැසුරුණු ආකාරය පුදුමය දනවන්නක්ව තිබේ. මෙම වන විනාශය සුළු කොට තකමින් ඒ පිළිබඳව කිසිදු ලජ්ජාවක් නොමැතිව දිස්ත‍්‍රික් ලේකම්වරයා හැසිරීම මාධ්‍යවේදීන්ගේ විශේෂ අවධානයට යොමු වූ කරුණක් විය.


මෙහිදී මාධ්‍යවේදීන් දිගින් දිගටම දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ප‍්‍රශ්න වැලක් අසන්නට විය. එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතැම් ප‍්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිව සිටිය දී ඇමති රිෂාඞ් බදුර්දීන් ඒ සඳහා සහය වීමද මිත‍්‍රත්වයේ අපූර්වත්වය මැනවින් පෙන්නුම් කරන්නට විය. මෙහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඇසූ ප‍්‍රශ්න අතර විශේෂතම ප‍්‍රශ්නය වූයේ, මෙම විල්පත්තුව ආශ‍්‍රිතව පිහිටි කල්ලාරු ඇතුළු වන රක්ෂිත නිදහස් කිරීම සඳහා ගත් නීතිමය පසුබිම කුමක්ද යන්නය. එහිදී ඔහු පවසා සිටියේ,


මේ ඉඩම් නිදහස් කරලා දැන් සෑහෙන කාලයක්. ඒ සඳහා විල්පත්තුවට අයිති ඉඩම් ලබා ගෙන නෑ. ලබා ගෙන තියෙන්නෙ මේ කල්ආරු වන රක්ෂිත ප‍්‍රදේශ. ඒ ප‍්‍රදේශ යුද්ධයට කලින් මේ මුස්ලිම් ජනතාව පදිංචි වෙලා හිටියා කියලා තොරතුරු තියෙනවා. ඒ නිසා මෙම ඉඩම් නිදහස් කරන්න ලොකු ගැටලූ ගොඩක් මතු වුණේ නෑ.




මේ ඉඩම් නිදහස් කරන්න අරන් තියෙන නීතිමය තත්ත්වය කුමක්ද? මාධ්‍යවේදීන් විමසන්නට විය.


එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසා සිටියේ ඒකනෙ මම කිව්වෙ. නැවත පදිංචි කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡුාවක් තියලා. එහිදී කිසි කෙනෙකුගෙන් බාධා එල්ල වුණේ නෑ. ඒ අනුව තමා මේ ඉඩම් නිදහස් කරලා අවතැන් මුස්ලිම්වරුන් සඳහා ලබා දුන්නෙ.


නෑ. ඔබ තුමා මේ ප‍්‍රශ්නෙන් මග හරිනවා. අපිට පැහැදිලිව කියන්න මේ ඉඩම් නිදහස් කිරීමේ දී පැහැදිලි වශයෙන් ගැසට් කිරීමක් සිද්ධ වුණාද? එසේ පරිසර ඇගයිම් වාර්තාවක් සිදු වූවාද? යන්න පැහැදිලි වශයෙන් කියන්න. මාධ්‍යවේදීන් නැවත තර්ක කරන්නට විය.


නෑ... ඔය....කියන හ්ම් කාරණා නම් සිද්ධ වෙලා නෑ.... ගැසට් කිරීමක් සිදු වෙලා නෑ.....පරිසර ඇගයීම් වාර්තාවක් සිදු වෙල....ත් නෑ.... නමුත් මේ අවශ්‍යතාවය තිබුණ නිසා ඉඩම් නිදහස් කර ගැනීම සිද්ධ වුණා.


එසේ නම් ගැසට් කිරීමකුත් නොමැතිව පරිසර ඇගයීම් වාර්තාවකුත් නොගෙන මේ ඉඩම් ලබා දෙන්න ඔබ තුමාට හැකියාවක් තියෙනවද? ඔබ තුමා කාගෙ හරි බලපෑමකට යටත් වෙලා මේ දේ කෙරුවද?


නෑ..නෑ..නෑ.. කිසිම කෙනෙකුගෙ බලපෑම මට තිබුණෙ නෑ. මගෙ රාජකාරිය මම ඉටුකළා.


මෙම කල්ආරු රක්ෂිතයේ වන ජීවි අධ්‍යක්ෂකගෙ නමින් පුවරු සවිකරලා තියෙනවා ඒ ප‍්‍රදේශ වන සතුන් ගැවසෙන ප‍්‍රදේශ කියලා. ඒ ප‍්‍රදේශවල කිසිදු ආකාරයෙන් ඉදිකිරීම් කරන්න බෑ. සතුන් දඩයම් කරන්න බෑ. වැලි ගොඩ දාන්න බෑ. කැලෑ එළිපෙහෙලි කිරීම, ගිනි තැබීම, අනවසරෙන් පදිංචි වීම සම්පූර්ණයෙන් තහනම් කියලා. නමුත් ඔය කියන සියල්ලම ඒ පුවරු ආසන්නයේ මීටර් දහයකටත් අඩු දුරකින් සිද්ධ වෙනවා. මේක බරපතළ තත්ත්වයක් නේද? මාධ්‍යවේදීහු දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් විමසන්නට වූහ.


නෑ..නෑ ඔය කියන පුවරු අපි සවි කෙරුවෙ මිනිස්සු ඔය ප‍්‍රදේශයේ පදිංචි වෙයි කියලා මිනිස්සු රවට්ටන්න හිතලා අපි නිකං බෝඞ් සවි කෙරුවා.
රජයේ වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔබ තුමා ඔය කරන ප‍්‍රකාශය නිකං ජොලියට කරන එකක් වගේ අපිට පේන්නෙ. ඔය කරන ප‍්‍රකාශයෙන් රජයට බරපතළ ප‍්‍රශ්නයක් මතු වෙලා. ඔබ තුමා කටයුතු කරන ආකාරය අපිට බරපතළ ප‍්‍රශ්නයක්. කියමින් නැවත මාධ්‍යවේදීහු තර්ක කරන්නට විය.
මාධ්‍යවේදීන් අසන ප‍්‍රශ්නවලින් දිස්ත‍්‍රික් ලේකම්වරයා පත්ව ඇති අපහසුතාවය පිළිබඳ තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඞී. ලාල් කාන්ත මන්ත‍්‍රීවරයා මැදට පනින්ට විය. මේ හැම කෙනෙක්ම දැන ගන්න  ඕනෑ. මේ කාටද කතා කරන්නෙ කියලා. මේ මන්නාරම දිසාපති යනුවෙන් ඔහු පවසන්නට විය.


මෙහිදී මෙම ස්ථානයේ සිටි පරිසර රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාට මාධ්‍යවේදීහු ප‍්‍රශ්න වැලක් එල්ල කළහ.


ඔබ තුමා පරිසර රාජ්‍ය අමාත්‍යශයේ ලේකම්වරයා හැටියට මේ වන විට අරන් තියෙන ක‍්‍රියා මාර්ග මොනවාද?


අපි මේ පිළිබඳව සොයා බලන්නට තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.


දැන්ද? ඔබ තුමාලාට මේ වන විනාශය පේන්නෙ. කලින් ඇයි සොයා බැලූවෙ නැත්තෙ? මාධ්‍යවේදීහු නැවත ප‍්‍රශ්න කරන්නට වූහ.


අපි දැන ගත්තා. දැන ගෙන අපි දැන් මේ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නෙ.


ඉන් අනතුරුව ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා මාධ්‍යවේදීන් හමුවේ කතා කළේය. සියලූම කැමරා ඔහු දෙසට එල්ල කරන්නට විය. කතාව ආරම්භ කළේ රූපවාහිනි නාලිකාවකට දැඩි චෝදනාවක් එල්ල කරමිනි. එසේ එල්ල කිරීමට හේතුව තිබුණේ එම රූපවාහිනිය මගින් දිගින් දිගටම විල්පත්තු හා මන්නාරම වන සංහාරය නොකඩවා රටට හෙළි කිරීම හේතුවෙනි.


ඇත්තටම මම එකක් කියන්න කැමතියි. 1990වේ මේ බලන්න මෙතන මරිච්චිකට්ටිය පල්ලියක් තියෙනවා. අවුරුදු 100ටත් වැඩි ඒ වගේම මේ ජනතාව ජීවත් වෙච්ච ප‍්‍රදේශයක් මේක. මරිච්චිකට්ටි, පාලකුලි, කරඩිකුලි, මුල්ලිකුලම් ගම්මානවල කතෝලික දෙමළ ජනතාව වගේම මුස්ලිම් මිනිස්සු ජීවත් වෙච්ච ප‍්‍රදේශ. ලොකු නාවික හමුදා කඳවුරක් හදලා ඒ ඉඩම් ටික ඔක්කොම අල්ල ගත්තා. ඒ මිනිස්සුන්ට අපි අලූත් ගම්මානයක් මෙතන හදලා දීලා තියෙනවා. ඊට අමතරව තවත් සිංහල පවුල් 80ක් විතර පදිංචි කරලා තියෙනවා. මේ ඔක්කොම මේ පළාතේ ජීවත් වෙච්ච සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු. එක්කෙනෙක්වත් පිටින් ඇවිල්ලා පදිංචි වෙලා නෑ. ඒ විතරක් නෙමෙයි මේ මිනිස්සු මේ කැලෑ කපලා තාවකාලිකව හෝ ස්ථීරව නිවාස හදලා තියෙන්නෙ තමන්ට අයිති ඉඩම්වල ඔප්පුව ළඟ තියාගෙන.


ලක්ෂ තුනක් දෙමළ සහෝදරයො අනාථ වෙලා සිටියා මැනික් ෆාම්වල. ඒ ඔක්කොම පිළිවෙලක් අනුව අපි කෙරුවා. මම තමයි ඒ කාලේ නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා. පිළිවෙළක් කෙරුවා. බිම් බෝම්බ ඉවත් කෙරුවා. තාවකාලික නිවාස දුන්නා. පාර හදලා දුන්නා. පාසල් දුන්නා සෞඛ්‍ය ශාලා දුන්නා. විදුලිය දුන්නා. ආරම්භයේ දී රුපියල් 25,000ක් දුන්නා. තව 25,000ක් වෙනම දුන්නා. ඒ වගේම ජීවන උපායටත් මම උදව් කළා.


නමුත් මේ ලක්ෂයක් මුස්ලිම් ජනතාවට ඉඩමක් විතරයි දීලා තියෙන්නෙ. සමහර අයට ඒකත් නෑ. තාවකාලික නිවසක් මේ ළඟදි දුන්නා හැර වෙන එකක්වත් දීලා නෑ. මට කියන්න පුළුවන්  ඕනැනම් ඔප්පු කරන්නත් පුළුවන්. ඒ වගේම මේ දිසාපතිතුමා කියපු ආකාරයට ලඟදි පවුල් 1050කට මේ දෙසැම්බර් මාසයේ තාවකාලික නිවාස දුන්නා. ඒ ජනතාව මෙහි පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම සිංහල ජනතාවත් හිටියා එක එක තැන් වල හිටියා. එයාලට තාම පිළිවෙළක් නෑ.


මේ පදිංචි කිරීමට ඒ ගැන ගිය ආණ්ඩුව එක්කත් අපි කතා කෙරුවා. එයාලට ඒක කරන්න බැරි වුණා. අනෙක තමා ඔබ තුමාලා කියනවා. මෙතන ලොකු ප‍්‍රශ්නයක් වුණා කියලා. මෙතන එහෙම ප‍්‍රශ්නයක් වෙලා නෑ. මොකද? තමුන්ගෙ ඉඩම එල්.ටී.ටී.ඊයෙන් අල්ලල එයාලව එළවලා. අත් පත් කරගෙන තිබුණු ඉඩම් රටට සාමය උදාවුනාට පස්සෙ මෙයාල එව්වගෙ පදිංචි වෙලා ඉන්නවා.


ආණ්ඩුව, දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් එහෙම නැත්නම් ඉඩම් කොමසාරිස්තුමා ඔක්කොම එකතු වෙලා ඉඩම් කච්චේරියෙ තියලා එයාලට ඉඩමක් දුන්නට පස්සෙ අවුරුදු දෙක තුනක් ගිහින් එයාලට ආදායමක් ඇවිල්ලා ආධාරයක් කරලා ගෙයක් හදනඑක ලොකු ප‍්‍රශ්නයක් නෙමෙයි.


මම සන්තෝසෙන් කියනවා. මේ එක මාධ්‍යක් මොකක්ද හරි යට ලොකු ෆිල්ම් වාගේ පෙන්නනවා. දිගටම පෙන්නනවා. එයාලා ඒකෙන් කරන්නෙ ජාතිවාදී ප‍්‍රශ්නය&#

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »