අගනුවර මහ මැදුරක් පිනට දුන් වෙස්සන්තර දොස්තර

2015-05-22 09:28:00       817
feature-top
 
පැළ ඉනි වැටට, බිම් අඟලට ඇණ කොටා ගනිමින්, මිනීමරා ගන්නා යුගයක තමා සතු පර්චස් පනස් හතක ඉඩම සහ කාමර දහයකින් යුතු විශාල නිවාසය, ආගමික, ශාසනික සහ සමාජීය පුනර්ජීවය වෙනුවෙන් යොදවා ගැනීමට කොළඹ තරුණ බෞද්ධ සංගමයට පරිත්‍යාග කළ වෙස්සන්තර වෙදදුරෙකු ගැන අපි තොරතුරු සොයාගියෙමු.

 



නමට පමණක් බෞද්ධ නොවුණු සැබෑ මහත්මා ගතිවලින් හෙබි ආදර්ශමත් මිනිසකු වූ වෛද්‍ය ආටිගල මහතා තමා වෙතට ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි කිසිම ආගමික පූජ්‍ය පක්ෂයේ අයෙකුගෙන් මුදල් අය කිරීමක් කළේ නැත. කෑදරකමින් මුදල් රැස්නොකර රෝගීන් උකසට තැබූ වෛද්‍යවරයකු නොවුණ ඔහු ආර්ථික අපහසුතා ඇති නැති බැරි අයගෙන් කිසිඳු මුදලක් අය නොකර ප‍්‍රතිකාර කළේය. 1916 වසරේ මැයි මස 22 දින ගාල්ලේදී උපත ලැබූ දොන් ජිනදාස ආටිගල, නම් වන ඔහු පසුව වඩාත් ප‍්‍රසිද්ධ වූයේ ඞී.ජේ. ආටිගල නමිනි. මිතුරන් අතර ජින් යන සුරතල් නාමයෙන්ද ඔහු හැඳින්විය.


කොළඹ විශාකා විද්‍යාලයෙන් (එවකට) මූලික අධ්‍යාපනය හැදෑරු වෛද්‍ය ආටිගල මහතා ද්විතික සහ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ය.


කොළඹ විශ්වවිද්‍යාලයේ රෝග විනිශ්චය පිළිබඳ මහාචාර්යවරියක වූ ඩැෆ්නි කනකරත්න සමග විවාහ වූ විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා, මිය යන තෙක්ම දිවියේ වැඩි කොටසක් කැපකර ඇත්තේ අන් අයගේ යහපත සහ රෝගීන්ගේ සුභසෙත වෙනුවෙනි. රෝග විනිශ්චය සම්බන්ධයෙන් අති විශිෂ්ට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ ඞී. ජේ. ආටිගල මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ යාවජීව සාමාජිකත්වය ලබන්නේ 1975 වසරේදීය. එතැන් සිට මිය යන තෙක්ම සාමාජිකත්වය දැරූ ඔහු කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් නිහඬව සිදුකරනා සමාජ සත්කාරයන් වෙනුවෙන් ඉටුකරනා සේවාවන්ට සක‍්‍රීයව දායක වූවේය.


ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමටත්, දාන, සීල, භාවනා ආදී පුද්ගල අධ්‍යාත්මය පෝෂණය කරනා ආගමික කටයුතු සඳහාත්, වැඩිහිටි නිවාස, පුස්තකාල, ළමා සංවර්ධන මධ්‍යස්ථාන, විශ‍්‍රාමශාලා, බෞද්ධ නායකත්ව පුහුණු පාඨමාලා ආදිය පවත්වමින්, නඩත්තු කරමින්, කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරනා ජාතික සහ ආගමික කර්තව්‍යය පිළිබඳව නිබඳව අගය කළ ඞී. ජේ. ආටිගල වෛද්‍යතුමා ජීවත්ව සිටියදී උපරිමයෙන්ම තම ශ‍්‍රමය සහ ධනය ඒ සමාජ සත්කාරයන් වෙනුවෙන් යෙදවීය.


අවසානයේ සිය අන්තිම කැමැති පත‍්‍රයෙන් කොන්දේසි විරහිතව තමා නමට බොරැුල්ලේ පිහිටි නිවෙස කොළඹ තරුණ බෞද්ධ සංගමයට පවරා ඇත්තේ නිහඬව සිදුකරනා සමාජ සත්කාරයන්ට පණ පෙවීමක් ලෙසය. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරි මේජර් ජනරාල් ජන්මික ලියනගේ සහ සහකාර සාමාන්‍යාධිකාරි (පාලන) ජේ. එම්. පී ජයසිංහ මහතාගෙන් වෛද්‍යවරයාගෙන් ලද පරිත්‍යාගය, සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් යොදා ඇත්තේ කෙසේද යන්න විමසා සිටියෙමි.


වෛද්‍යවරයාගේ ඇවෑමෙන් පසු කොළඹ තරුණ බෞද්ධ සංගමය සතු වූ නිවාසය, මුලින්ම පෙර පාසලක් සඳහා භාවිතා කරනු ලැබුවත්, පසුව එය ප‍්‍රතිපත්තිමය හේතුවක් මත නතර කර දැමීමට සිදුව තිබෙනවා. පිරිමි දරුවන් සඳහාම වෙන්වුණ පෞද්ගලික පාසලක් - පන්සලක් වෙනුවෙන් එම ඉඩ වෙන්කර ගැනීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය කටයුතු කරනු ලැබුවත් එයත් සාර්ථක වුණේ නැහැ. පසුව එම ඉඩම සහ නිවෙස අලූත්වැඩියා කර මූල්‍ය සමාගමකට කුලීපදනම මත ලබාදී තිබෙනවා.


වාර්ෂිකව ඉන් ලැබෙන මිලියන 6ක ආදායමින් මිලියන 1.5 මුදලක් වැලිඔය සම්පත්නුවර මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා යොදවනවා. වකුගඩු රෝගය උත්සන්න එම ප‍්‍රදේශයේ මිනිසුන්නට බොන්න පිරිසිඳු වතුර නැහැ. ඒ තත්ත්වයට පිළියමක් ලෙසට නළ ලිං මාර්ගයෙන් ජලය ලබාගෙන පිරිපහදු කර පුද්ගල ප‍්‍රයෝජනයට ලබාදීමට වෛද්‍ය ආටිගල මැතිතුමාගේ අරමුදලින් අපට හැකිව තිබෙනවා.


ජීවත්ව සිටියදී ජීවිතය ගැන සැබෑ අවබෝධයකින් ජීවත් වූ වෛද්‍යවරයා දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට හැකි සෑම වෙලාවකදීම උපකාර කරනු ලැබුවා. ඒ කාර්යය අද ඔහුගේ අරමුදලින් නොකඩවා කොළඹ තරුණ බෞද්ධ සංගමය කරගෙන යනු ලබනවා. මේ වසරේදී අඩු ආදායම් ලාභි විශ්වවිද්‍යාල දරුවන් එකසිය අනූපස්දෙනෙකුටත් (195) උසස් පෙළ හදාරණ අඩු ආදායම් ලාභී දරුවන් හැත්තෑපස්දෙනෙකුටත් (75) ශිෂ්‍යත්ව පිරිනමනු ලැබුවා. ඊට අමතරව ඞී. ජේ. ආටිගල අරමුදලින් වාර්ෂිකව තරුණ බෞද්ධ සංගමයෙන් සිදුකරන දාන, සීල, භාවනා වැඩසටහන් වලට දායකත්වය ලබාගනු ලබනවා.


වෛද්‍යවරයාගේ තොරතුරු සොයායාමේදී ඔහුගේ ඥාතීන් කිසිවෙකු සොයාගැනීමට නොහැකි වූයේ ඔවුන් බොහෝ පිරිසක් දැනට විදෙස්ගතව සිටින බැවිනි. එම නිසාම අපි ඞී.ජේ. ආටිගල වෛද්‍යතුමා සමග වැඩිකාලයක් සේවය කළ කායික රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාගෙන්ද ඔහු ගැන විමසීමක් කළෙමු.


දැනට විශ‍්‍රාමිකව සිටින මා තමයි ලංකාවේ පළමු වකුගඩු ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා.


ඞී. ජේ. ආටිගල වෛද්‍යතුමා මට මුලින්ම මුණ ගැසෙන්නේ ගුරුවරයෙක් ලෙසට එවකට මා සිටියේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ. ඔහු දක්ෂ ගුරුවරයෙක්. ඔහු වෙතින් ගුරුහරුකම් ලැබීමේදී මට හැඟී ගියා ඔහු යහපත් මානව හිතවාදියෙක් බව. කොළඹ ජාතික රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසට 43 වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා රාජකාරි කරද්දී මමත් ඊට යාබද වාට්ටුවක වෘත්තීය රාජකාරි කරනු ලැබුවා.


වෛද්‍යතුමා මිය ගියේ 1997 වසරේදී. ඒ වෙනකම් ඔහු තම නිවෙසේ රෝගීන් පරීක්ෂාකරන කටයුතු කළා. තමා විශ‍්‍රාම ගොස් සිටියදීත් ප‍්‍රතිකාර ලබාගැනීමට රෝගීන් සොයා ඒම ගැන ඔහු ඉමහත් සතුටින් හිටියේ. විශ්වාසය මත තමා සොයා දුරබැහැර සිට පැමිණෙන රෝගීන් කිසිම කෙනෙකු ඔහු තමාගේ සම්පත් දායකයන් ලෙස සිතුවේ නැහැ. ඔහු සිතුවේ ඔවුන් තමන්ට පිං රැුස්කර දෙන්නට පැමිණෙන පිරිසක් ලෙසය. මා එලෙස ප‍්‍රකාශ කිරීමට හේතුව ඔහු, රෝගීන් වැඩිවෙන තරමට තම මඩිය තරකර ගත හැකිවේ, යැයි කියා කිසිම විටෙක නොසිතූ නිසාය. සාමාන්‍යයෙන් 1970 ගණන්වල විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න රුපියල් සියයක් (රු 100/-) හෝ ඊට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුයි නමුත් විශේෂඥ වෛද්‍ය ආටිගල මහතා රෝගී පරීක්ෂාව වෙනුවෙන් අය කරනු ලැබුවේ රුපියල් 20 රුපියල් 25 වැනි මුදලක් පමණි.


එයත් රෝගියා ගෙවිය යුත්තේ එකවරයි.


එවකට අගමැතිවරයාගේද පෞද්ගලික වෛද්‍යවරයෙකු වූ ඔහු, කිසිම විටෙක තනතුරු තාන්නමාන්න, බලය බලාපොරොත්තුවෙන් වෘත්තිය ගෞරවය පවාදුන්නේ නැත. ප‍්‍රයිවෙට් කාසි මුදලින් දෑත සරුකරගන්නා, වත්මන් ඇතැම් වෛද්‍යවරුන් හමුවේ, වෛද්‍ය ආටිගල වෙදදුරුතුමණි සැබෑවටම ඔබ නොමිනිසුන් අතර ඉපදුන දෙවියෙකි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »